7. අන්‍යසමාන චෛතසික සම්ප්‍රයෝගය

චෛතසික සම්ප්‍රයෝගය පහසුවෙන් තේරුම් ගත හැකි වීමට, ධ්‍යාන භේදයෙන් හා වේදනා භේදයෙන් සිත් බෙදන හැටි, නැවතත් සිහි කර ගත යුතු ය. අහේතුක අකුශල විපාකවල චක්ඛු විඤ්ඤාණාදි වශයෙන් විඤ්ඤාණ නාමයෙන් කියැවුණු සිත් පසක් ඇත්තේ ය. කුශල විපාකවල ද පසක් ඇත්තේ ය. ඒ සිත් දශයට ද්විපඤ්ච විඥාන යන නාමය ව්‍යවහාර කරන බව ද මතක තබා ගත යුතු ය.

දෙපනස් චෛතසිකයන් අතුරෙන්, සර්ව චිත්ත සාධාරණ චෛතසික සත විශේෂයක් නැති ව, සියලු ම සිත් හා සම්ප්‍රයෝග වන බව දත යුතු ය. ප්‍ර‍කීර්ණක චෛතසිකයන් අතුරෙන් විතර්කය ද්විපඤ්ච විඤ්ඤාණ දශය හැර, ඉතිරි කාමාවචර සිත් සතළිස් සතරය, ප්‍ර‍ථම ධ්‍යාන සිත් එකොළොසය යන සිත් පනස් පසෙහි යෙදේ. ඉතිරි සිත් සැට සයෙහි නො යෙදේ.

විචාරය විතර්කය යෙදෙන සිත් පනස්පස ය, ද්විතීය ධ්‍යාන සිත් එකොළොසය යන සිත් සැට සයෙහි යෙදේ. ඉතිරි සිත් පනස් පසෙහි නො යෙදේ.

අධිමෝක්ෂය ද්විපඤ්චවිඤ්ඤාණයෝය, විචිකිච්ඡා සහගත සිතය යන සිත් එකොළොස හැර, ඉතිරි සිත් සැත්තෑ අටෙහි යෙදේ. නො යෙදෙන සිත් එකොළොසෙකි.

වීර්‍ය්‍යය පඤ්චද්වාරාවජ්ජනය, ද්විපඤ්චවිඤ්ඤාණයෝ ය. සම්පටිද්ධන දෙක ය, සන්තීරණ තුන ය යන සිත් දහසය හැර, ඉතිරි සිත් හැත්තෑ තුනෙහි යෙදේ. සිත් දහසයක නො යෙදේ.

ප්‍රීතිය දෝමනස්ස සහගත් සිත් දෙක ය, උපේක්ෂා සහගත සිත් පනස් පහය, කාය විඤ්ඤාණ දෙකය, චතුර්ථ ධ්‍යාන සිත් එකොළොසය යන සිත් සැත්තෑව හැර ඉතිරිසිත් පනස් එකෙහි යෙදේ. නො යෙදෙන සිත් සැත්තෑවකි.

ඡන්දය අහේතුක දහ අට ය, මෝහ මූල දෙක ය යන සිත් විස්ස හැර, ඉතිරි සිත් හැර නවයෙහි යෙදේ. නො යෙදෙන සිත් විස්සෙකි.

විශේෂ කරුණු:

රූපාදි ආරම්මණයන් චක්ෂුරාදි වස්තූන්හි ගැටීමේ හේතුවෙන් උපදනා ද්විපඤ්ච විඤ්ඤාණයන්ට, අරමුණට යෑමට විතර්කයේ උපකාරයක් වුවමනා නැත. එබැවින් ඒ සිත්වල විතර්කය නො යෙදේ. විතර්කය නැති ව අරමුණට යා හැකි වන පරිදි භාවනාවෙන් දියුණු කර ඇති බැවින් ද්විතීය ධ්‍යානාදි සිත්වලටත් විතර්කය වුවමනා නැත.

ද්විපඤ්ච විඤ්ඤාණයන් දුර්වල සිත් කොටසක් බැවින් ඒවායේ ප්‍ර‍කීර්ණක චෛතසික එකකුදු නො යෙදේ. ද්විතීය ධ්‍යානාදි සිත්වල විතර්කය නො යෙදෙන්නේ ද භාවනා බලයෙන් ප්‍ර‍හාණය කරන ලද බැවිනි.

අධිමෝක්ෂය විනිශ්චය කරන ස්වභාවය ඇති චෛතසිකයක් බැවින් විචිකිච්චා සහගත සිතෙහි නො යෙදේ. පඤ්චද්වාරාවජ්ජනාදි සිත්වල විරිය චෛතසිකය නො යෙදෙන්නේ ද ඒ සිත් දුබල බැවිනි.

දෝමනස්ස - උපේක්ඛා වේදනා, ප්‍රීතියට පටහැණි බැවින් දෝමනස්ස - උපේක්ඛා සහගත සිත්වල ප්‍රීතිය නො යෙදේ. කාය විඤ්ඤාණය සුඛ සහගත වුව ද දුබල බැවින් එහි ප්‍රීතිය නො යෙදේ. සෝමනස්ස සහගත වූ චතුර්ථ ධ්‍යාන චිත්තයෙහි භාවනා බලයෙන් ප්‍ර‍හීණ බැවින් ප්‍රීතිය නූපදී. අහේතුක සිත් හා මෝහ මූල සිත් යම් කිසිවක් සිදු කිරීමේ කැමැත්තෙන් තොර, දුබල සිත් කොටසක් බැවින් ඒවායේ ඡන්දය නො යෙදේ.

සිත්වල යෙදෙන චෛතසික ගණන් සෙවීමේ දී නිතර ම පැටලෙන්නේ මේ ප්‍ර‍කීර්ණක චෛතසික සය ය. එබැවින් ඒ චෛතසිකයන් ගේ සම්ප්‍රයෝගය හොඳින් ප්‍ර‍ගුණ කර ගත යුතු ය. ප්‍ර‍කීර්ණක චෛතසික එකකුදු නො යෙදෙන සිත් ඇත්තේ පඤ්චවිඤ්ඤාණ සිත් දශය පමණකි. ලෝභ මූල සෝමනස්ස සහගත සතර ය. කාමාවචර ශෝභන සෝමනස්ස සහගත සිත් දොළොස ය, ප්‍ර‍ථම ධ්‍යාන සිත් එකොළොස ය යන මේ සිත් විසි සතෙහි ප්‍ර‍කීර්ණක චෛතසික සියල්ල යෙදේ. ඉතිරි සිත්වල සුදුසු පරිදි යෙදේ. සියලු ම සිත්වල යෙදෙන බැවින් සර්වචිත්ත සාධාරණ චෛතසික ගැන අමුතුවෙන් සොයන්න දෙයක් නැත. සෝමනස්ස සහගත දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිතේ පටන් සිත් එක සිය විසි එකේ ම යෙදෙන ප්‍ර‍කීර්ණක චෛතසික සොයනු. ඉක්මනින් කියහැකි වන තෙක් එය ප්‍ර‍ගුණ කරනු.

ප්‍ර‍ශ්න

  1. විතර්කය යෙදෙන සිත් කොතෙක් ද? නො යෙදෙන සිත් කොතෙක් ද? විචාරාදිය ගැනත් එසේ සොයනු.
  2. දෙපස් විඤ්ඤාණයන්හි විතර්කය නො යෙදෙන්නේ කුමක් නිසා ද?
  3. විචාරය තෘතීය ධ්‍යානාදියෙහි නො යෙදෙන්නේ කුමක් නිසා ද?
  4. ප්‍රීතිය සෝමනස්ස සහගත වූ චතුර්ථ ධ්‍යාන සිත් වල නොයෙදෙන්නේ කුමක් නිසා ද?
  5. ප්‍ර‍කීර්ණක චෛතසික නො යෙදෙන සිත් කවරහු ද?
  6. ප්‍ර‍කීර්ණක චෛතසික සියල්ලම යෙදෙන සිත් කවරහු ද?
  7. දෝමනස්ස සහගත සිත්වල යෙදෙන ප්‍ර‍කීර්ණක චෛතසික කවරහු ද?
  8. විචිකිච්ඡා සහගත සිතේ යෙදෙන ප්‍ර‍කීර්ණක චෛතසික කවරහු ද?