9. ශෝභන චෛතසික සම්ප්‍රයෝගය

ශෝභන චෛතසිකයන් අතුරෙන් ශෝභන සාධාරණ චෛතසික දහනවය: කෙටි ක්‍ර‍මයෙන් පනස් නවයක් වූද, විස්තාර ක්‍ර‍මයෙන් අනූ එකක් වූ ද සියලු ම ශෝභන සිත්වල වෙනසක් නැති ව යෙදේ.

විරති චෛතසික තුන ලෝකෝත්තර සිත්වල සැම කල්හි ම එකට ම යෙදේ. ලෞකික සිත්වලින් කාමාවචර කුසල් සිත් අටෙහි සමහර අවස්ථාවලදී වෙන වෙන ම යෙදේ. කාමාවචර කුශලයෙහි එක වරකට යෙදෙන්නේ විරතිවලින් එක් චෛතසිකයක් පමණෙකි.

අප්‍ර‍මාණ්‍ය චෛතසික දෙක ප්‍ර‍ථම - ද්විතීය - තෘතීය - චතුර්ථ ධ්‍යාන රූපාවචර සිත් දොළොස ය, කාමාවචර කුසල් අට ය, සහේතුක කාමාවචර ක්‍රියා අට ය යන සිත් විසි අටෙහි සමහර අවස්ථාවල දී වෙන් වශයෙන් යෙදේ. කරුණා - මුදිතා දෙක එක් සිතක එකවරකට නො යෙදේ. “සෝමනස්ස සහගත සිත්වල මිස උපේක්ෂා සහගත සිත්වල කරුණා - මුදිතා නො යෙදෙති ය” යන ආචාර්‍ය්‍ය මතයක් ද ඇත්තේ ය. ඒ මතයේ සැටියට කරුණා - මුදිතා යෙදෙන සිත් විස්සෙකි.

ප්‍ර‍ඥා චෛතසිකය ඥාන සම්ප්‍ර‍යුක්ත කාමාවචර සිත් දොළොස ය, රූපාවචර සිත් පසළොස ය, අරූපාවචර සිත් දොළොස ය, ලෝකෝත්තර සිත් අට ය යන සිත් සතළිස් සතෙහි යෙදේ.

සෝභන සාධාරණ දහනවය සිත් පනස් නවයකුත්, විරති තුන සිත් දහසයකත්, අප්‍ර‍මාණ්‍ය දෙක සිත් විසි අටකත්, ප්‍ර‍ඥා චෛතසිකය සිත් සතළිස් සතකත් යෙදේ.

දැන් එක් එක් ශෝභන සිතක් කොතෙක් ශෝභන චෛතසික යෙදෙනවා ද කියා සිත් පිළිවෙළින් සොයා බලන්න. ශෝභන සාධාරණ දහනවය සියලු ම ශෝභන සිත්වල යෙදෙන නිසා ඒවා ගැන අමුතුවෙන් සොයන්නට දෙයක් නැත. සමහර සිත් සමග පමණක් යෙදෙන ශෝභන චෛතසික ඇත්තේ සයක් පමණෙකි. එබැවින් චෛතසික ගණන සෙවීම අපහසු නැත.

විශේෂ කරුණු

කාමාවචර කුශල චිත්තයෙහි විරති චෛතසික යෙදීම සම්බන්ධයෙන් සමහර විටෙක යෙදීම ය, යෙදෙන කල්හිත් සියල්ල ම එකවර නොයෙදී වෙන වෙන ම යෙදීම ය යන මේ කරුණු දෙක විශේෂයෙන් සැලකිය යුතුය. දන් දීම් - වැඳුම් පිදුම් කිරීම් - බණ කීම් - බණ ඇසීම් - ආදිය සිදු කරන කාමාවචර කුශල චිත්තයෙහි විරති චෛතසික නො යෙදේ. ඒවා යෙදෙන්නේ, කාමාවචර කුශල චිත්තයෙන් දුශ්චරිතයෙන් වැළකීම් වශයෙන් ශීලය සම්පූර්ණ කරන අවස්ථාවලදී පමණකි. සියලු ම දුශ්චරිතයන්ගෙන් වැළකීම එකවර සිදු කළ හැකි නො වේ. වාක් දුශ්චරිතයෙන් වැළකීම කරන අවස්ථාවේදී කාය දුශ්චරිතයෙන් වැළකීමක් සිදු නො වේ. කාය දුශ්චරිතයෙන් වළක්නා අවස්ථාවේ දී වාක් දුශ්චරිතයෙන් වැළකීමක් සිදු නොවේ. සම්මා වාචා චෛතසිකයෙන් බොරු කීමෙන් වළක්නා අවස්ථාවේ දී බොරු කීමෙන් වැළකීම මිස, කේලාම් කීම ආදියෙන් වැළකීමක් නො වේ. කේලාම් කීමෙන් වැළකෙන අවස්ථාවේ දී ද බොරු කීම් ආදියෙන් වැළකීමක් නො වේ. කරුණු මෙසේ හෙයින් කාමාවචර කුශලයෙහි එක වරකට එක් විරති චෛතසිකයක් මිස දෙක තුනක් නො යෙදේ. රූපාවචර අරූපාවචර සිත් දුශ්චරිතයෙන් වැළකීම් වශයෙන් උපදනා සිත් නො වන බැවින් ඒවායේ විරති චෛතසික නො යෙදේ.

සත්ත්වයන් අතින් පව් කම් කෙරෙන්නේ කෙලෙසුන් නිසා ය. ලෝකෝත්තර මාර්ග චිත්තයෙන් පව්කම්වලට හේතු වන කෙලෙස් නසනු ලැබේ. කෙලෙස් නැසීම අනුව පව් කම්වලින් වැළකීම සිදු වන බැවින් සැම කල්හි ම ලෝකෝත්තර සිත් සමග විරති චෛතසික තුන ම යෙදේ.

කාමාවචර සිත්වල අප්‍ර‍මාණ්‍ය යෙදෙන්නේ ද දුඃඛිත සත්ත්වයනට අනුකම්පා කරන, සුඛිතයන් ගැන සතුටු වන අවස්ථාවල පමණකි. අනුකම්පා කිරීම ය, සුඛිතයන් ගැන සතුටුවීම ය යන මේ දෙක එකිනෙකට වෙනස් වැඩ දෙකක් නිසා, එකවර එක් සිතක අප්‍ර‍මාණ්‍ය චෛතසික දෙක ම නො යෙදේ. කසිණාදිය අරමුණු කරන රූපාවචර සිත්වල අප්‍ර‍මාණ්‍ය නො යෙදේ. ඒවා යෙදෙන්නේ කරුණාව හෝ මුදිතාව වඩා උපදවා ගත් රූපාවචර ධ්‍යාන සිත්වල පමණකි.

දෙපනස් චෛතසිකයන් අතුරෙන් ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, මාන, ථීන, මිද්ධ යන චෛතසික එකොළොස නියමිත සිත්වල සමහර විටෙක පමණක් යෙදෙන්නේ ය. එබැවින් ඒවාට ‘අනියතයෝගීය’ යි කියනු ලැබේ. නියම වශයෙන් ම ඒ ඒ සිත්වල යෙදෙන බැවින් ඉතිරි චෛතසික සතළිස් එකට ‘නියතයෝගීය’ යි කියනු ලැබේ.

ප්‍ර‍ශ්න

  1. විරති චෛතසික සැම කල්හි ම යෙදෙන්නේ කවර සිත්වල ද?
  2. මහග්ගත සිත්වල විරති නො යෙදෙන්නේ කුමක් නිසා ද?
  3. කාමාවචර කුශලයෙහි විරති-අප්‍ර‍මාණ්‍ය යෙදෙන්නේ කවර අවස්ථාවල ද?
  4. අනියතයෝගී චෛතසික කොතෙක් ද?