11. පුනරුත්පත්තිය

කවර ආකාරයකින් හෝ මැරෙන්නා වූ සත්ත්වයා හට වර්තමාන භවයේදී හෝ අතීත භවවලදී හෝ ඒ පුද්ගලයා විසින් කර ඇති කුශලාකුශල කර්මයන් අතුරෙන්, යම් කිසි කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහේ. කර්ම නිමිත්තය යනු කර්මයට අරමුණු වූ හෝ එය සිදු කිරීමට උපකරණ වූ හෝ වස්තූහු ය. කුශල කර්ම කළවුන්ට බෝධි-චෛත්‍ය-බුද්ධප්‍ර‍තිමා-මල්-පහන්-ආහාරපාන-වස්ත්‍රාදිය කර්ම නිමිති වශයෙන් වැටහේ. අකුශල කර්ම කළවුන්ට මරණු ලබන සතුන් - අනුන් ගේ බඩු - සතුන් මැරීමේ, සොරකම් කිරීමේ උපකරණ යනාදිය කර්ම නිමිති වශයෙන් වැටහේ.

ගති නිමිත්තය යනු මතු උපදින භවය සම්බන්ධ දේවල් ය. නරකයෙහි උපදනා සත්ත්වයනට මහ ගිනි දැල්, ලෝදිය, ගිනි අඟුරු ආදිය හා යම රාක්ෂයන් ද, නපුරු සතුන් ද වැටහේ. ඒ වැටහීම ඒ දේවල් ඒ ඒ තැන්වල ම ඇති සැටියටත් සමහර විට තමා සමීපයට ඒවා පැමිණ ඇති සැටියටත් සිදු වේ. දෙව්ලොව උපදනා අයට දිව්‍ය විමාන - රථ - උයන් - කල්ප වෘක්ෂ ආදිය ද, දෙවියන් හා දිව්‍යාඞ්ගනාවන් ද ගති නිමිත්ත වශයෙන් වැටහේ. මිනිස් ලොව උපදින්නවුන්ට මාතෘ ගර්භය ගති නිමිත්ත වශයෙන් වැටහේ. තිරිසන් යෝනියෙහි උපදින්නවුන්ට කැලෑ ආදිය වැටහේ.

කර්මාදිය වැටහීමේ දී වර්තමාන භවයෙහි කොට මතක ඇත්තා වූ කර්ම මතක් වීම් වශයෙන් මනෝද්වාරයට වැටහේ. වර්තමාන භවයේ කොට අමතක වූ කර්ම හා අතීත භවවලදී කළ කර්ම ද, කර්ම නිමිති හා ගතිනිමිති ද වැටහෙන්නේ සිහින පෙනෙන්නාක් මෙනි. මේවා බොහෝ සෙයින් වැටහෙන්නේ මනෝද්වාරයට ය. කර්ම නිමිති හා ගති නිමිති මැරෙන තැනැත්තා ඉදිරියේ ඇති අවස්ථාවල දී චක්ෂුර්ද්වාරාදියට ද වැටහෙන්නේ ය. භවයෙහි මතු නූපදින්නා වූ රහතුන්ට මරණාසන්නයේ දී කර්මාදිය වැටහීමක් සිදු නොවේ. මරණය කෙසේ සිදු වුව ද භවයෙහි උපදනා එක සත්ත්වයකුදු කර්මාදි තුනෙන් එකක් නො වැටහී නො මැරේ. මිටියකින් තළනු ලැබූ මැස්සා පවා මැරෙන්නේ කර්මාදි තුනෙන් එකක් වැටහීමෙන් පසුව ය. මරණාසන්නයේ දී මෙසේ වැටහීමෙන් කාලාන්තරයක් යට වී තුබූ පුරාණ කර්ම එකෙණෙහි ම කරන ලද ඒවා මෙන් අලුත් වේ.

කර්මාදි තුනෙන් යම් කිසිවක් වැටහුණා වූ මරණාසන්න සත්ත්වයා ගේ සිත ඒ වැටහුණු දෙයට නැමී පවත්වන්නට වන්නේ ය. එයට හේතුව භවයේ නපුර වසන අවිද්‍යාවත්, භවයට ඇලුම් කරන තණ්හාවත් අප්‍ර‍හීණ භාවයෙන් ඔහු කෙරෙහි ඇති බව ය. මේ අවස්ථාවේ දී ඔහුට ඇති වන්නේ ඒ වැටහුණු දෙය අරමුණු කරන සිත් පරම්පරාවෙකි. ඔහුට විපාක දීමට ඉදිරිපත් වී ඇති කර්මය අපායෙහි උපදවන කර්මයක් වේ නම්, මේ අවස්ථාවෙහි ඔහුට ඇති වන සිත් පරම්පරාව අකුශල ජවනයන්ගෙන් යුක්ත කිලිටි සිත් පරම්පරාවෙකි. විපාක දීමට ඉදිරිපත් වී ඇති කර්මය කුශල කර්මයක් වේ නම්, මේ අවස්ථාවෙහි ඔහුට පිරිසිදු කුශල චිත්ත පරම්පරාවක් ඇති වේ.

සත්ත්ව ශරීරයක සිත් ඇති වන්නේ සිත් ඇති වීමට ආධාර වන අතීත කර්මයෙන් හටගත් වස්තු රූප ඔහුගේ ශරීරයෙහි ඇති තෙක් පමණකි. වස්තු රූප පරම්පරාව සිඳී ගියි හොත් ඉන් පසු ඒ ශරීරයෙහි නැවත සිත් ඇති නොවේ. ශරීරයෙහි නැවත සිත් ඇති නොවන තැනට පැමිණීම මරණය ය.

සිත්වලට ආධාර වන වස්තු රූප පරම්පරාවන් සිඳී යන්නට හොඳට ම ළං වූ කල්හි මැරෙන සත්ත්වයාට ඒ අවස්ථාවේ දී වැටහී තුබූ කර්මාදියෙන් එකක් අරමුණු කොට, ඒ ශරීරයේ ඇති වන අන්තිම චිත්ත වීථිය ඇති වේ. එයට මරණාසන්න වීථිය යි කියනු ලැබේ. මේ අවස්ථාවේ දී චිත්ත වේගය ඉතා හීන බැවින් ප්‍ර‍කෘති කාලයෙහි මෙන් ඒ වීථියේ ජවන් සතක් ඇති නො වී, පසක් පමණක් ඇති වේ. පස්වන ජවනයට අනතුරු ව හෝ ජවනයෙන් පසු භවාඞ්ගයක් වී එයට අනතුරු ව හෝ තදාරම්මණයට අනතුරු ව හෝ තදාරම්මණයෙන් පසු භවාඞ්ග වී එයට අනතුරුව හෝ වර්තමාන භවයාගේ අවසාන චිත්තය වන ච්‍යුති චිත්තය උපදී. ඉන් පසු කිසි කලෙක ඒ ශරීරයේ නැවත සිත් ඇති නොවේ. ච්‍යුති චිත්තය ඇති වීම සත්ත්වයාගේ මරණය ය.

ච්‍යුතියෙන් පසු ඒ ශරීරයෙහි නැවත සිත් ඇති නො වන නමුත් සත්ත්වයාගේ සිත් පරම්පරාව නො සිඳේ. ච්‍යුති චිත්තය නිරුද්ධ වනු සමග ම මරණාසන්න ජවනන් විසින් ගන්නා ලද අරමුණ ම ගනිමින් විපාක දීමට ඉදිරිපත් ව තිබූ කර්මයාගේ විපාක වශයෙන් යම් කිසි තැනක දෙවන ජාතියේ පළමු වන සිත වූ ප්‍ර‍තිසන්ධි චිත්තය පහළ වේ. ඒ ප්‍ර‍තිසන්ධි චිත්තය පහළ වීම, මළ සත්ත්වයා ගේ නැවත ඉපදීමය. මැරෙන තැනැත්තාගේ ශරීරයෙන් කිසිවක් අනාගත භවයට නො යන්නේ ය. ප්‍ර‍තිසන්ධි චිත්තය වර්තමාන භවයෙන් එහි ගිය එකක් නොව, එහි ම අලුතෙන් පහළ වූවකි.

ප්‍ර‍තිසන්ධි චිත්තය වර්තමාන භවයෙන් අනාගත භවයට ගිය එකක් නො වතුදු වර්තමාන භවයේ පැවති සිත් පරම්පරාවට ම අයත් දෙයකි. වර්තමාන භවයට අයත් සිත් පරම්පරාව නොවී නම් ප්‍ර‍තිසන්ධි චිත්තයක් ඇති නො වේ. ච්‍යුති-ප්‍ර‍තිසන්ධි දෙක අතර දීර්ඝ කාලයක් ද නැත. ච්‍යුතියට අනතුරුව ප්‍ර‍තිසන්‍ධිය ඇති වීමට ගත වන කාලයත් ජීවත් ව ඉන්නා කාලයේ චිත්ත වීථියක එක් සිතක් නිරුද්ධ වී තව සිතක් ඇති වීමට ගත වන කාලයත් සමාන ය. මිනිසකු මැරී දෙව්ලොව පිළිසිඳ ගත් කල්හි, මේ ලෝකයෙන් දෙව්ලොවට ගිය කිසිවෙක් නැත ද, දෙවියාගේ ප්‍ර‍තිසන්ධි චිත්තය, මිය ගිය මිනිසාගේ සිත් පරම්පරාවට ම අයත් බැවින් මිය ගිය මිනිසාත් ඒ දෙවියාත් එක් පුද්ගලයකු වශයෙන් කිය යුතු ය.

ච්‍යුතියට අනතුරු ව ප්‍ර‍තිසන්ධි චිත්තය ඇති වීමේ ප්‍ර‍ධාන හේතුව විපාක දීමට එළඹ සිටි අතීත කර්මය ය. මරණාසන්නයේ දී කර්මාදියෙන් එකක් අරමුණු කරමින් පැවති කුශලාකුශල ජවන චිත්තයන් හා අවිද්‍යා තෘෂ්ණා දෙකත් ඒ ඒ ආකාරයෙන් ප්‍ර‍තිසන්ධියට හේතු වේ.