චක්ෂුර්ද්වාර වීථි - ශ්‍රෝත්‍රද්වාර වීථි - ඝ්‍රාණද්වාර වීථි - ජිහ්වාද්වාර වීථි - කායද්වාර වීථි - මනෝද්වාර වීථි වශයෙන් මරණාසන්න වීථිය සවැදෑරුම් වේ. එයින් චක්ෂුර්ද්වාර මරණාසන්න වීථි ද ජවනයට අනතුරු ව ච්‍යුතිය වන වීථිය ය, ජවන භවාංගයට අනතුරු ව ච්‍යුතිය වන වීථිය ය, තදාරම්මණයට අනතුරුව ච්‍යුතිය වන වීථිය ය, තදාරම්මණ භවාඞ්ගයට අනතුරු ව ච්‍යුතිය වන වීථිය ය කියා සිවු වැදෑරුම් වේ. මරණාසන්නයේ දී වැටහෙන දේවලින් කර්මය වැටහෙන්නේ මනෝද්වාරයට ම ය. සමහර විට මරණාසන්නයේ දී ඇස ඉදිරිපිට ඇති දෙයක් ම කර්ම නිමිත්ත විය හැකි ය. චක්ෂුර්ද්වාරික මරණාසන්න වීථිය ඇති වන්නේ එවැනි අවස්ථාවක ය. කලාතුරකින් කෙනකුට ගති නිමිත්ත ද ඇසට පෙනිය හැකිය. එබඳු අවස්ථාවලදී ගති නිමිත්ත අරමුණු කරන චක්ෂුර්ද්වාරික මරණාසන්න වීථි ද ඇති විය හැකි ය.
ජවනයට අනතුරු ව ච්‍යුතිය වන චක්ෂුර්ද්වාරික මරණාසන්න වීථිය මෙසේ ය:-
කර්ම නිමිත්ත වන රූපාරම්මණයක් මරණාසන්නයේදී චක්ෂුර්ද්වාරයට එළඹ සිටිය හොත් අතීත භවාඞ්ගය - භවාඞ්ග චලනය - භවාඞ්ගුපච්ඡේදය - පඤ්චද්වාරාවජ්ජනය - චක්ඛු විඤ්ඤාණය - සම්පටිච්ඡනය - සන්තීරණය - වොත්ථපනය යන මේ සිත් පිළිවෙළින් ඉපද නිරුද්ධ වීමෙන් පසු, යම් කිසි කාමාවචර ජවනයක් පස්වරක් පිළිවෙළින් ඉපද නිරුද්ධ වීමෙන් පසු වර්තමාන භවයේ අවසාන සිත වන ච්‍යුති චිත්තය ඉපද නිරුද්ධ වේ. එයට අනතුරුව යම් කිසි කාමාවචර ප්රතිසන්ධි චිත්තයක් ඉපද නිරුද්ධ වේ. එයට අනතුරු ව අභිනව භවයේ දී ඒ ප්රතිසන්ධි චිත්තය ම භවාඞ්ග කෘත්‍යයෙන් පසළොස් වරක් හෝ සොළොස් වරක් ඉපද නිරුද්ධ වීමෙන් පසු වර්තමාන භවය අරමුණු කොට මනෝද්වාරාවජ්ජන චිත්තය ද, එයට අනතුරු ව වර්තමාන භවයට ඇලුම් කිරීම් වශයෙන් ලෝභ මූල ජවනයක් සත් වරක් ද උපදී. ඉන් පසු භවාඞ්ගපතනය වේ.
මේ මරණාසන්න වීථියේ පඤ්චද්වාරාවජ්ජනයේ පටන් පස් වන ජවනය දක්වා ඇති සිත්වලට අරමුණු වන්නේ අතීත භවාඞ්ගය හා උපන් වර්තමාන රූපය ය. අතීත භවාඞ්ගයේ පටන් පස් වන ජවනය දක්වා ඇත්තේ සිත් දහතුනෙකි. ඒ රූපයට පස්වන ජවනයෙන් පසු තවත් චිත්තක්ෂණ සතරක් ආයු ඇත්තේ ය. එබැවින් ප්රතිසන්ධි චිත්තයටත් එයට පසු ඇති වන භවාඞ්ග දෙකකටත් අරමුණු වන්නේ පඤ්චද්වාරාවජ්ජනාදි සිත්වලට අරමුණු වූ වර්තමාන රූපය ය. ප්රතිසන්ධියෙන් පසු ඇති වන දෙවන භවාඞ්ග චිත්තය සමඟ ඒ රූපාරම්මණය චිත්තක්ෂණ සතොළොස වූ ආයුෂය ගෙවා නිරුද්ධ වන්නේ ය. එබැවින් ඉන් පසු ඇති වන භවාඞ්ග සිත්වලට අරමුණ වන්නේ කර්ම නිමිත්ත වූ අතීත රූපාරම්මණයන් ය.
මේ වීථියේ අතීත භවාඞ්ග - භවාඞ්ග චලන - භවාඞ්ගුපච්ඡේදයන්ට හා ච්‍යුතියට අරමුණු වන්නේ ඉන් අතීත භවයේ මරණාසන්න ජවනවලට අරමුණු වූ කර්මාදියෙන් එකකි. ච්‍යුති චිත්තයෙන් සතළොස්වන චිත්තයාගේ උත්පාදක්ෂණයෙන් පසු මැරෙන තැනැත්තාගේ සිරුරෙහි කර්මජ රූප නූපදනා බැවින් මේ වීථියේ පඤ්චද්වාරාවජ්ජනාදි සිත්වලට නිඃශ්‍රය වන්නේ ච්‍යුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපන් හෘදය වස්තුව ය. චක්ෂුර් විඥානයට නිඃශ්‍රය වන්නේ ද ච්‍යුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපන් චක්ෂුර් වස්තුව ය. ප්රතිසන්ධිය ඇති වන කල්හි එය සමග ම ඒ සිතට නිඃශ්‍රය වන වස්තු රූපය ද ඇති වේ. ප්රතිසන්ධි චිත්තයට නිඃශ්‍රය වන්නේ ඒ සිත හා එකවර ඇතිවන වස්තු රූපය ය. ඉන් පසු ඇති වන භවාඞ්ගාදි සිත්වලට නිඃශ්‍රය වන්නේ ඒ ඒ සිතට කලින් උපන් සිත හා උපන්හෘදය වස්තු රූපය ය. මතු දැක්වෙන සටහන බලා චක්ෂුර්ද්වාරික මරණාසන්න වීථි සතරේ ම සිත් පිළිවෙළ තේරුම් ගත යුතු ය.
චක්ෂුර්ද්වාරික මරණාසන්න වීථි
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17
තී න ද ප ච සං ණ වො ජ ජ ජ ජ ජ චු ප්‍ර භ භ
තී න ද ප ච සං ණ වො ජ ජ ජ ජ ජ භ චු ප්‍ර භ
තී න ද ප ච සං ණ වො ජ ජ ජ ජ ජ ත ත චු ප්‍ර
තී න ද ප ච සං ණ වො ජ ජ ජ ජ ජ ත ත භ චු
සෝත - ඝාන - ජිව්හා - කායද්වාර මරණාසන්න වීථි ද චක්ෂුර්ද්වාරික වීථි අනුව දත යුතු ය. වෙනස චක්ෂුර්විඥානය යෙදෙන ස්ථානයන්හි ශ්‍රෝත්‍ර විඥානාදිය යෙදීම පමණෙකි. ධර්ම ශ්‍රවණය කරමින් කාලක්‍රියා කරන්නවුන්ට ශ්රෝතද්වාරික මරණාසන්න වීථි ඇති විය හැකි ය. පූජා කළ ධූපාදියෙහි ගන්ධය ආඝ්‍රාණය කරමින් කාලක්‍රියා කරන්නවුන්ට ඝානද්වාරික මරණාසන්න වීථි ඇති විය හැකි ය. මරණාසන්නයෙහි දී යම් කිසිවක් කටේ වත් කරනු ලැබූවන්ට ජිව්හාද්වාරික මරණාසන්න වීථි ද, යම් කිසිවකුගේ පහස ලබමින් කාලක්‍රියා කරන්නවුන්ට කායද්වාරික මරණාසන්න වීථි ද ඇති විය හැකි ය. මනෝද්වාරික මරණාසන්න වීථි සතර මතු දැක්වෙන සටහනින් දත යුතු ය.
න ද ම ජ ජ ජ ජ ජ චු
න ද ම ජ ජ ජ ජ ජ භ චු
න ද ම ජ ජ ජ ජ ජ ත ත චු
න ද ම ජ ජ ජ ජ ජ ත ත භ චු
කර්මය ය - කර්ම නිමිත්තය - ගති නිමිත්තය යන මේ තුනෙන් කවරක් හෝ අරමුනු වන්නේ කාමාවචර ප්රතිසන්ධියට ය. රූපාවචර අරූපාවචර ප්රතිසන්ධීන්ට අරමුණු වන්නේ කර්ම නිමිත්ත පමණෙකි. ඔවුනට කර්ම නිමිත්ත වශයෙන් අරමුණු වන්නේ ද ඔවුන් ලබා සිටින ධ්‍යානවලට අරමුණු වන කසිණ නිමිත්තාදිය ය.
අසංඥ භවයෙහි උපදනා සත්ත්වයනට ච්‍යුතියෙන් පසු ප්රතිසන්ධි චිත්තයක් ඇති නො වේ. ඔවුනට ච්‍යුතියෙන් පසු අසංඥ භවයෙහි ප්රතිසන්ධිය වශයෙන් ඇති වන්නේ ජීවිත නවක රූප කලාපයෝ ය. එබැවින් ඔවුහු රූප ප්රතිසන්ධිකයෝ ය. අරූප භූමියෙහි උපදන සත්ත්වයෝ අරූප ප්රතිසන්ධිකයෝ ය. ඉතිරි ප්රතිසන්ධි ඇති වන කල්හි ඒවා හා රූපත් ඇති වන බැවින් අසංඥ සත්ත්වයන් හා අරූපී සත්ත්වයන් හැර සෙස්සෝ රූපාරූප ප්රතිසන්ධිකයෝ ය.
අරූපාවචර චුති සතර කෙරෙන් යට යට අරූපාවචර ප්රතිසන්ධි හැර ඉතිරි අරූපාවචර ප්රතිසන්ධි හා කාම ත්‍රිහේතුක ප්රතිසන්ධි ද ඇති විය හැකිය. ඉහළ අරූප භූමියකින් ච්‍යුත වූවකුට පහළ අරූප ප්‍රතිසන්ධියක් ඇති නො වේ. අරූප භූමි සියල්ලෙන් ම ච්‍යුත වන්නවුන්ට රූපාවචර ප්රතිසන්ධි හෝ කාමාවචර අහේතුක ද්විහේතුක ප්රතිසන්ධි හෝ ඇති නො වේ. රූපාවචර චුතීන් කෙරෙන් අහේතුක ප්රතිසන්ධි හැර ඉතිරි ප්රතිසන්ධි ඇති විය හැකි ය. කාම ලෝකයේ ත්‍රිහේතුක පුද්ගලයාගේ ච්‍යුතිය කෙරෙන් සියලු ම ප්රතිසන්ධි ඇති විය හැකි ය. ද්විහේතුක අහේතුක චුතීන් කෙරෙන් ඇති විය හැක්කේ කාමාවචර ප්රතිසන්ධි පමණෙකි.
කල්ප පන්සියයක් අසංඥ භූමියෙහි වැස ච්‍යුත වන්නා වූ පුද්ගලයා හට ච්‍යුති චිත්තයක් නැත. අවසාන වරට ඔහුට ඇති වන ජීවිත නවක රූප කලාප ම ඔහුගේ ච්‍යුතිය ය. කර්ම - කර්ම නිමිති - ගති නිමිති වැටහීමක් ද ඔහුට නැත. අසංඥ භවයට පැමිණීමට පෙර ඔහු විසින් ලබා සිටි පඤ්චම ධ්‍යානයේ උපචාර චේතනාවන් විසින් මතුකර දෙන කර්මාදිය අතුරෙන් එකක් අරමුණු කොට අසංඥසත්ත්ව ච්‍යුතියෙන් පසු ඔහුට කාමාවචර ප්රතිසන්ධිය ඇති වේ.
මෙසේ භවයෙහි පිළිසිඳ ගන්නා සත්ත්වයනට ප්රතිසන්ධි චිත්තය නිරුද්ධ වීමෙන් පසු ඒ සිත ම ඒ අරමුණ ම අරමුණු කරමින් ඒ ජීවිත කාලය මුළුල්ලෙහි ම අන් සිතක් නැති සැම වේලේ ම නැවත නැවත උපදින්නේ ය. සත්ත්වයා ජීවත් වන්නේ, ඔහුගේ සිත් පරම්පරාව නො සිඳෙන්නේ, ඒ සිත නැවත නැවත උපදින නිසා ය. භවය පැවතීමට උපකාර භාවයෙන් ඇති වන්නක් නිසා ඒ සිතට භවාඞ්ගය යි කියනු ලැබේ. භවයේ අවසාන සිත වන්නේත් ඒ සිත ම ය. අවසාන සිත වශයෙන් ඇති වන කල්හි එයට ච්‍යුති චිත්තය යි කියනු ලැබේ.
මෙසේ මේ වර්තමාන භවයෙහි ප්රතිසන්ධි භවාඞ්ග සිත් හා වීති සිත් ද ච්‍යුතිය ද ඇති වන්නාක් මෙන් මතු භවවලදී ද ප්‍රතිසන්ධ්‍යාදිය ඇති වීම් වශයෙන් මේ චිත්ත පරම්පරාව නිවනට පැමිණෙන තෙක් එක් පරම්පරාවක් වශයෙන් පෙරළෙමින් පවත්නේ ය.
මෙසේ සිත් පරම්පරාව නො සිඳී පැවැත්ම නිසා නැවත නැවත මැරෙන්නට උපදින්නට සිදුවීමේ නපුර දුටු නුවණැත්තෝ සම්‍යක් ප්‍රතිපදාවෙන් මාර්ග ඵල ලබා තෘෂ්ණා බන්ධනය සිඳ මැරීමක් ඉපදීමක් නැත්තා වූ නිර්වාණයට යන්නා හ.
අභිධර්ම මාර්ගයේ පඤ්චම පරිච්ඡේදය මෙතෙකින් නිමියේ ය.