3. ප්‍ර‍තීත්‍ය සමුත්පාද පාළියේ තේරුම

2 වන පාඩම

  1. අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙති,
  2. සංස්කාරයන් හේතු කොට විඤ්ඤාණය වේ,
  3. විඤ්ඤාණය හේතු කොට නාම-රූපය වේ,
  4. නාමරූපයන් හේතු කොට ෂඩායතනය වේ,
  5. ෂඩායතනයන් හේතු කොට ඵස්සය වේ,
  6. ඵස්සය හේතු කොට වේදනාව වේ,
  7. වේදනාව හේතු කොට තණ්හාව වේ,
  8. තණ්හාව හේතු කොට උපාදානය වේ,
  9. උපාදානය හේතු කොට භවය වේ,
  10. භවය හේතු කොට ජාතිය වේ,
  11. ජාතිය හේතු කොට ජරාව මරණය ශෝකය පරිදේවය දුඃඛය දෞර්‍මනස්‍යය උපායාසය යන මේවා ඇති වේ.

මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ හට ගැනීම වේ.

මෙතැන් පටන් පටිච්ච සමුප්පාදය දක්වන මේ වගන්ති පිළිවෙළින් විස්තර කරනු ලැබේ.

අවිජ්ජා පච්චයා සඞ්ඛාරා

අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙති.

මෙහි අවිද්‍යාව යනු දුක ය, දුක්ඇති වීමේ හේතුව ය, දුක් නිවීම ය, දුක් නිවීම වූ නිවනට පැමිණීමේ මාර්ගය ය යන කරුණු සතර වසන මෝහය ය.

සංස්කාරයෝ ය යනු ලෞකික කුශලාකුශල චේතනාවෝ ය. පුඤ්ඤාභිසඞ්ඛාරය, අපුඤ්ඤාභිසඞ්ඛාරය, ආනෙඤ්ජාභිසඞ්ඛාරය කියා කුශලාකුශල චේතනා සමූහය තුන් කොටසකට බෙදා තිබේ. කාමාවචර කුශල චේතනා අට හා රූපාවචර කුශල චේතනා පස පුඤ්ඤාභිසඞ්කාර නම් වේ. අකුසල චේතනා දොළොස අපුඤ්ඤාභිසංඛාර නම් වේ. අරූපාවචර කුශල චේතනා සතර ආනෙඤ්ජාභිසඞ්ඛාර නම් වේ. බලවත් සමාධියෙන් යුක්ත වන අරූපාවචර කුශලය ලෙහෙසියෙන් නො සෙලවෙන බැවින් එයට ආනෙඤ්ජාභිසඞ්ඛාරය යි කියනු ලැබේ. කායසඞ්ඛාර - වචීසඞ්ඛාර - චිත්තසඞ්ඛාර කියා ද සඞ්ඛාරය ත්‍රිවිධවේ.

අවිද්‍යාව ඇති තැනැත්තා දුඃඛස්කන්ධයක් වූ මේ සංසාරය සැපයකැ යි වරදවා තේරුම් ගෙන, ආත්ම භාවය පවත්වා ගැනීම සඳහා ද, පිනවීම සඳහා ද, නොයෙක් පව් කම් කරන්නේ ය. මතු භවයෙහි සැප සඳහා පින් කම් කරන්නේ ය. අවිද්‍යාව නැති නම් ඒ පින් පව් නො කෙරෙන්නේ ය. එබැවින් අවිද්‍යාව හේතු කොට සංස්කාර ඇති වෙතැයි කියනු ලැබේ.

මේ පරමාර්ථ ධර්මයන් අතර එක ම හේතුවකින් ඇති වන සංස්කාරයක් නැත්තේ ය. කවරක් වුව ද ඇති වන්නේ හේතු බොහෝ ගණනකිනි. මේ පටිච්ච සමුප්පාදයෙහි සංස්කාරයන්ගේ හේතුව වශයෙන් අවිද්‍යාව නමැති එක් ධර්මයක් පමණක් දක්වා ඇත්තේ ප්‍ර‍ධාන හේතුව දැක්වීම් වශයෙනි. අනික් තැන්වල ද එක් එක් හේතුවක් ම දක්වා ඇත්තේ ප්‍ර‍ධාන හේතුව දැක්වීම් වශයෙන් ම ය.

ඒකාන්තයෙන් අකුශලයක් වන මෝහයෙන් එයට විරුද්ධ දෙයක් වන කුශලය කෙසේ ඇති විය හැකි ද? යන ප්‍ර‍ශ්නය මෙහි මතුවිය හැකිය. හේතු ඵල දෙක සමවිය යුතුය කියා නීතියක් නැත. දුගඳ වූ ද, දුර්වර්ණ වූ ද මඩින්: සුවඳ වූ ද, වර්ණවත් වූ ද පද්මය හට ගන්නේ ය. ඉතා පැහැපත් වූ ගින්නෙන් දුර්වර්ණ වූ දුම හට ගන්නේ ය. එබැවින් කුශලයට විරුද්ධ වූ අකුශලයෙන් කුසල් ද ඇති විය හැකි බව පිළිගත යුතු ය.

සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං

සංස්කාරයන් හේතු කොට විඤ්ඤාණය වේ.

ලෞකික විපාක සිත් දෙතිස සංස්කාරයන් හේතු කොට ඇති වන විඤ්ඤාණය ය. ලෝකෝත්තර විපාක මෙහි නො ගනු ලැබේ. ලෞකික විපාක ද, ප්‍ර‍තිසන්ධි විපාක - ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙ කොටසකි. සංස්කාරයන් අතුරෙන් උද්ධච්ච සහගත චේතනාව ප්‍ර‍තිසන්ධි විපාකයන්ට ප්‍ර‍ත්‍යය නො වේ. අභිඥා චේතනාව එක ම විපාක විඤ්ඤාණයකට ද ප්‍ර‍ත්‍යය නො වේ. උද්ධච්ච සහගත චේතනාව ප්‍ර‍තිසන්ධි විපාක නො දෙන බව පස්වන පරිච්ඡේදයේ කියා ඇත. අභිඥා චේතනාව ඔබට දත හැකි වන්නේ කර්මස්ථාන කාණ්ඩයෙන් ය.

සංස්කාරයන් හේතු කොට විපාක විඤ්ඤාණයන් ඇති වීම ගැඹුරු කරුණෙකි. කර්මයක් නැතිව මේ විපාක විඤ්ඤාණයන් ඇති වන්නේ නම්, හැම විපාක විඤ්ඤාණයක් ම සැම දෙනාට ම ඇති විය යුතු ය. ඒ ඒ කර්ම කළවුන්ට මිස, අන්‍යයන්ට ඒ ඒ කර්මයන් සම්බන්ධ විපාක විඤ්ඤාණ ඇති නො වේ. කර්මයක් නැතහොත් විපාක විඤ්ඤාණයක් ඇති නො වන බව එයින් තේරුම් ගත යුතු ය. කර්මය ඇති කල්හි ම විපාක විඤ්ඤාණයන් ඇති වන බැවින් කර්මය විපාක විඤ්ඤාණයන්ට ප්‍ර‍ත්‍යය වන බව දත හැකි ය.

විඤ්ඤාණ පච්චයා නාමරූපං

විඤ්ඤාණය හේතු කොට නාමරූපය වේ.

විඥාන ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා නාමයෝ නම් ඒ ඒ විඤ්ඤාණයන් හා බැඳී උපදනා චෛතසිකයෝ ය. චෛතසික දෙපනස ය, කර්මාදි ප්‍ර‍ත්‍යය සතරෙන් හට ගත් නාම රූපයෝ ය යන මේවා විඥාන ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා නාමරූපයෝ ය. ඒ ඒ විඤ්ඤාණයන් නිසා හට ගත හැකි නාම-රූප වෙන් වශයෙන් ඉහත පරිච්ඡේදවලදී කියවුණු කරුණු අනුව තේරුම් ගත යුතු ය.

සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් ඇති වන්නේ විපාක විඤ්ඤාණයන් පමණෙකි. කුශලාකුශල ක්‍රියා විඥානයෝ ද නාමරූපයන්ට ප්‍ර‍ත්‍යය වෙති. එබැවින් සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් ඇති වන විඥානය විපාක විඥානය වශයෙන් ද, නාමරූපයන්ට ප්‍ර‍ත්‍යය වන විඥානය, විපාක අවිපාක විඤ්ඤාණ සියල්ල ම බව ද දත යුතු ය.

ප්‍ර‍තිසන්ධි විඥානය ප්‍ර‍ත්‍යය වන්නේ නාමයන්ට හා කර්මජ රූපයන්ට පමණෙකි. ප්‍ර‍වෘත්ති විඥානය නාමයන්ට හා සියලු ම රූපයන්ට ප්‍ර‍ත්‍යය වේ.

විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප හට ගැනීම භව අනුව තේරුම් ගත යුතු ය. කාම-රූප භව දෙක්හි විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප දෙක ම ඇති වේ. අරූප භවයෙහි විඥාන ප්‍ර‍ත්‍යයෙන් හටගන්නේ නාම පමණෙකි. අසංඥ භවයෙහි විඥාන නැත්තේ ය. එහි අතීත භවයට අයත් කර්ම විඥානයේ බලයෙන් රූප පමණක් ඇති වේ.

විඥානය පහළ නුවුවහොත් නාම රූපයන්ගේ පහළ වීමක් නෙ ාව්නනේ ය. එයින් නාම-රූපයන්ගේ පහළ වීම විඤ්ඤාණය නිසා වන්නක් බව දත හැකි ය. ගින්න හටගන්නා කල්හි එයින් ආලෝකය ඇතිවන්නාක් මෙන් විඤ්ඤාණය හටගන්නා කල්හි එයින් නාම රූප ද ඇති වීම දත යුතු ය.

නාමරූප පච්චයා සළායතනං

නාමරූප හේතු කොට ෂඩායතනය වේ.

ආයතන දොළොසක් ඇති බව ඉහත කියා ඇත. ඒ ආයතන දොළොසින් මෙහි ගැනෙන්නේ චක්ඛායතන - සෝතායතන - ඝානායතන - ජිව්හායතන - කායායතන - මනායතන යන මේ ආයතන සය ය.

නාම යන වචනයෙන් චිත්තය - චෛතසිකය - නිර්වාණය යන පරමාර්ථ ධර්ම තුන ම කියැවේ. මෙහි නාම යනුවෙන් ගැනෙන්නේ චෛතසික දෙපනස ය. රූප යනුවෙන් ගැනෙන්නේ එක් එක් සන්තානයකට අයත් මහාභූත සතර ය-වස්තුරූප හය ය-ජීවිතින්ද්‍රිය රූපය ය යන මේ එකොළොස ය. සමහර පොතක ආහාර රූපයත් සමග රූප දොළොසක් ගෙන තිබේ.

නාම රූප ප්‍ර‍ත්‍යයෙන් ෂඩායතන ඇති වීමත් විභාග කොට දත යුත්තකි. අරූප භූමියෙහි රූප නැති බැවින් නාමය පමණක් ප්‍ර‍ත්‍යය වීමෙන් එහි මනායතනය පමණක් ැති වේ. කාම භූමියෙහි නාම - රූප දෙක ම ප්‍ර‍ත්‍යය වීමෙන් ආයතන සය ම පහළ වේ. රූප භූමියෙහි නාම - රූප දෙක ම ප්‍ර‍ත්‍යය වී චක්ඛායතන - සෝතායතන - මනායතන යන ආයතන තුන පහළ වේ. අසඥ භූමියෙහි මේ ආයතන සයෙන් එකකුදු පහළ නො වේ. ෂඩායතනයට ම අයත් වන චක්ෂුරාදි වස්තුරූප පස, මෙහි ප්‍ර‍ත්‍යය කොට්ඨාසයට ගැනෙන්නේ, වස්තු රූප නිසා මනායතනය පහළ වන බැවිනි. ෂඩායතනයන් පහළ වීම නාම රූපයන්ගේ දියුණුව ම ය. කුඩා ඇට්ටි ගෙඩියෙහි කටුවක් ද, මදයක් ද, වතුර ද නැත. එය වැඩෙන කල්හි ඒවා ඇති වේ. නාම රූපයන්ගේ ෂඩායතන ඇති වීමත් එමෙන් දත යුතු ය.

3 වන පාඩම

සළායතන පච්චයා ඵස්සෝ

ෂඩායතනය හේතු කොට ඵස්සය වේ.

මෙහි ඵස්ස යනු ඵස්ස චෛතසිකය ය. එය චක්ඛු සම්ඵස්සය - සෝත සම්ඵස්සය - ඝාන සම්ඵස්සය - ජිව්හා සම්ඵස්සය - කාය සම්ඵස්සය - මනෝ සම්ඵස්සය කියා සවැදෑරුම් වේ. ෂඩායතනය නිසා ඵස්සය ඇති වේ යි කීමෙන් ආයතන සයෙන් ම ඵස්ස සය ම ඇති වේ ය කියා හෝ එක් එක් ආයතනයකින් ඵස්ස සය බැගින් ඇති වේය කියා හෝ නො ගත යුතු ය. චක්ඛායතනයෙන් ඇති වන්නේ චක්ඛු සම්ඵස්සය පමණෙකි. සෝතාදි එක් එක් ආයතනයකින් ඇති වන්නේ ද සෝත සම්ඵස්සාදි එක් එක් ඵස්සයක් පමණකි. අරූප ලෝකයෙහි ඇති වන්නේ මනෝ සම්ඵස්සය පමණකි. රූප ලෝකයෙහි ඇති වන්නේ ඵස්ස තුනෙකි. කාම ලෝකයේ ඵස්ස සය ම ඇති වේ.

ආධ්‍යාත්මිකායතන සය ඇති කල්හි කවර කලෙක හෝ බාහිරායතනයන් හා ගැටීම් සිදුවේ. ආධ්‍යාත්මික ආයතන නැති නම් ඒ ගැටීම් කවදාවත් සිදු නො වේ. එබැවින් ආයතන සය තිබීම ඵස්සය ඇති වීමේ කාරණය වේ.

ඵස්ස පච්චයා වේදනා.

ඵස්සය හේතු කොට වේදනාව වේ.

ඵස්සය සර්වචිත්තසාධාරණ චෛතසිකයක් බැවින් සියලු ම සිත්වල ඇත්තේ ය. ඒ සියල්ල ම වේදනාවන්ට ද ප්‍ර‍ත්‍යය වන්නේ ය. එහෙත් මේ පටිච්ච සමුප්පාද කථාවෙහි ගනු ලබන්නේ දෙතිස් ලෞකික විපාක චිත්තයන්හි ඇති ඵස්සය පමණෙකි. වේදනාව ද සැම සිතක ම ඇතියක් නමුත් මෙහි ගනු ලබන්නේ ලෞකික විපාක වේදනා දෙතිස පමණෙකි.

ඵස්සයක් වුවහොත් වේදනාවක් ද ඇති වන්නේ ය. ඵස්සය නො වුව හොත් කවර කලෙකවත් වේදනාවක් ඇති නො වන්නේ ය. වේදනාවක් ඇති වීමට ඵස්සය විය යුතු ම ය. එබැවින් ඵස්සය හේතු කොට වේදනාව වේය යි කියනු ලැබේ.

වේදනා පච්චයා තණ්හා

වේදනාව හේතු කොට තණ්හාව වේ.

මෙහි තණ්හාවට හේතු වන වේදනාව වශයෙන් ලෞකික සිත එක් අසූවෙහි යෙදෙන වේදනා එක් අසූව ම ගණන් ගනු ලැබේ. වේදනා හේතුවෙන් වන තණ්හාව සාමාන්‍යයෙන් එකක් වුව ද, ආරම්මණයන් ගේ වශයෙන් රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ඵොට්ඨබ්බ තණ්හාව, ධම්ම තණ්හාව කියා සවැදෑරුම් වේ. ඒ එක් එක් තණ්හාවක් කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාවය යි තුන් තුන් ආකාර වන බැවින් තණ්හා අටළොසක් වේ. ආධ්‍යාත්මික සන්තාන, බාහ්‍ය සන්තාන දෙක්හි ම ඒවා ලැබෙන බැවින් සන්තාන වශයෙන් තණ්හා සතිසක් වේ. ඒ එක් එක් තණ්හාවක් අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යාගේ වශයෙන් තුනක් බැගින් වන බැවින් තණ්හා එකසිය අටක් වේ.

සුඛ වේදනාවට සත්ත්වයන් කැමති වන බැවින් එය ගැන තණ්හාව ඇති වීම ප්‍ර‍කට ය. දුඃඛ වේදනාව සත්ත්වයන් නො කැමති දෙයකි. නො කැමති දෙය වන දුඃඛ වේදනාව කෙසේ තණ්හාවට හේතු වන්නේ ද කියා මෙහි ප්‍ර‍ශ්නයක් ඇති වේ. සත්ත්වයන් දුඃඛ වේදනාවට නො කැමති බව සත්‍යයෙකි. දුඃඛ වේදනාවෙන් පීඩිත සත්ත්වයාට සැපත ගැන ආශාව ඇති වේ. එයට හේතුව වූයේ ඔහුට ඇති වූ දුඃඛ වේදනාව ය. එබැවින් දුඃඛ වේදනාව ද තණ්හාවට හේතු වන බව දත යුතු ය. උපේක්ෂා වේදනාව ශාන්ත බැවින් එයට ද සත්ත්වයෝ කැමැත්තෝ ය. එබැවින් වේදනා තුන ම තෘෂ්ණා හේතු භාවයෙන් ගනු ලැබේ.

තණ්හා පච්චයා උපාදානං

තෘෂ්ණාව හේතු කොට උපාදානය වේ.

උපාදාන සතරක් ඇති බව සත්වන පරිච්ඡේදයේ කියා ඇත. ධර්ම වශයෙන් ගන්නා කල්හි තෘෂ්ණාවය දෘෂ්ටිය යි උපාදාන දෙකකි. වේදනාව හේතු කොට ඇති වන තණ්හාවේ හා උපාදාන තණ්හාවේ වෙනස මෙසේ ය:- වේදනා ප්‍ර‍ත්‍යයෙන් වන තණ්හාව දුබල ය. තෘෂ්ණා ප්‍ර‍ත්‍යයෙන් වන උපාදාන තණ්හාව බලවත් ය. මැණික් ගරන්නකුට මැණික හසුවන්නට කලින් ඇති වන තණ්හාව මෙන් වේදනා ප්‍ර‍ත්‍යයෙන් වන තණ්හාව දත යුතු ය. අතට පත් වටිනා මැණික් ගැන ඇති වන තණ්හාව මෙන් උපාදාන තණ්හාව දත යුතු ය.

බෞද්ධාබෞද්ධ සැමට ම වේදනා ප්‍ර‍ත්‍යයෙන් තණ්හාව ඇති වේ. තණ්හාවෙන් කාමූපදානය ඇති වේ. තණ්හාව නිසා බෞද්ධාබෞද්ධ කාහටත් අත්තවාදූපාදානය ද ඇති වේ. දිට්ඨූපාදාන - සීලබ්බතූපාදාන දෙක සැබෑ බෞද්ධයන්ට ඇති විය නො හැකි ය.

උපාදානයන් ඇති වන්නේ ද වේදනාව නිසා ඇති වන තණ්හාව දියුණු වීමෙනි.

උපාදාන පච්චයා භවො.

උපාදානය හේතු කොට භවය වේ.

කර්ම භවය - උත්පත්ති භවය කියා උපාදාන ප්‍ර‍ත්‍යයෙන් වන භව දෙකකි. ලෞකික කුශලාකුශල චේතනා රාශියට ‘කර්ම භවය’ යි කියනු ලැබේ. අකුසල් සිත් දොළොස ය, ලෞකික කුසල් සිත් සතළොස ය, චෛතසික දෙපනස ය යන මේ ධර්ම රාශියට ම ද ‘කර්ම භවය’ යි කියනු ලැබේ. ලෞකික විපාක දෙතිස ය, ඒවායේ යෙදෙන චෛතසික තෙතිස ය, කර්මජ රූප විස්ස ය යන මේ ධර්ම රාශිය ‘උත්පත්ති භව’ නම් වේ.

කාමභවය - රූප භවය - අරූප භවය - සඤ්ඤී භවය - අසඤ්ඤී භවය - නේවසඤ්ඤානාසඤ්ඤා භවය - ඒකවෝකාර භවය - චතුවෝකාර භවය - පඤ්ච වෝකාර භවය කියා උත්පත්ති භව නවයක් ද දක්වා ඇත්තේ ය. කාම භවාදිය ප්‍ර‍කට ය. රූපස්කන්ධය නමැති එක් ස්කන්ධයක් පමණක් ඇති අසංඥ භවය ඒකවෝකාර භව නම් වේ. නාමස්කන්ධ සතර පමණක් ඇති අරූප භවය චතුවෝකාර භව නම් වේ. ස්කන්ධ පසම ඇති ඉතිරි භව සියල්ල පඤ්චවෝකාර භව නම් වේ.

උපාදානයන් ඇති වූ කල්හි ඒවා නිසා මම ය මාගේ යයි ගන්නා පඤ්චස්කන්ධය, පවත්වා ගැනීම සඳහාත්, සුව පත් කිරීම සඳහාත්, අනාගතයෙහි පඤ්චස්කන්ධය ලැබීම සඳහාත් නොයෙක් දේ කරන්නට පටන් ගන්නේ ය. ඒ කරන දේවල් උපාදාන ප්‍ර‍ත්‍යයෙන් ඇති වන කර්ම භවය ය. උපාදානයන් නිසා කෙළින් ම උත්පත්ති භවය ඇති වන්නේ නො වේ. එය ඇතිවන්නේ කර්ම භවය නිසා ය. උත්පත්ති භවයේ හේතුව කර්ම භවය ය. කර්ම භවයේ හේතුව උපාදානය ය. උපාදාන හේතුවෙන් උත්පත්ති භවයේ ඇති වීම කියනුයේ කර්ම භවය ඇති කරන හේතුව උත්පත්ති භවයේ ද හේතුව වශයෙන් ගැනීමෙනි. ලෝකයෙහි හේතුවේ හේතුවත් සමහර තැනකදී හේතුව වශයෙන් ගෙන කථා කරනු ලැබේ. දරවලින් බත පිසේ ය යනු එබඳු තැනකි. බත පිසෙන්නේ දරයෙන් නොව ගින්නෙනි. දර ගින්නේ හේතුව ය. එහෙත් ගින්නේ හේතුව වූ දර, බතේ හේතුව සැටියට ගෙන කථා කරනු ලැබේ. උපාදාන හේතුවෙන් උත්පත්ති භවය ඇති වේ යයි කීම ද එසේ දත යුතුය.

භව පච්චයා ජාති

භවය හේතු කොට ජාතිය වේ.

මෙහි ජාතිය යයි කියනුයේ ඒ ඒ භවයන්හි සත්ත්වයනට පළමුවෙන් ම පහළ වන ස්කන්ධයන්ට ය. කර්ම භව - උත්පත්ති භව දෙකින් ජාතියට ප්‍ර‍ත්‍ය ය වන්නේ කර්ම භවය පමණෙකි. එබැවින් ‘උපාදාන පච්චයා භවෝ’ යන තන්හි භව යනුවෙන් කර්ම භව උත්පත්ති භව දෙක ම ගනිතත් භව පච්චයා ජාති යන්නෙහි භව යන වචනයෙන් කර්ම භවය පමණක් ගත යුතුය. කර්ම භවය ජාතියට ප්‍ර‍ත්‍යය වන බව සත්ත්වයන් ගේ වෙනස්කම්වලින් තේරුම් ගත හැකිය. එක මවකුගේ කුසින් එකවර ඉපද එකට වැඩුණු නිවුන් දරුවන් දෙදෙනා ද සැප දුක් ආදියෙන් ඔවුනොවුන් වෙනස් වන්නේ කර්මය නිසා ය.

‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ යන්නෙන් කියැවෙන්නේ සඞ්ඛාරයත්, මේ කර්ම භවයත් කර්ම වශයෙන් සමාන ය. මේ ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනයට භව තුනක් සම්බන්ධ ය. සඞ්ඛාර යන නාමයෙන් කියැවෙන්නේ ද වර්තමාන භවයේ උත්පත්තියට හේතු වූ අතීත කර්මය ය. කර්ම භව නාමයෙන් කියැවෙන්නේ වර්තමාන භවයේ දී කරන කර්මය ය.

ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති.

ජාතිය හෙවත් ඉපදීම වුවහොත් ජරා මරණ දෙක ඒකාන්තයෙන් වන්නේ ය. ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාසයෝ ද බොහෝ සත්ත්වයට වෙති. ශෝකාදිය සමහර සත්ත්වයනට අඩුවෙන් ද සමහර සත්ත්වයනට වැඩියෙන් ද වේ. රූපාරූප ලෝකවල ඒවා නැත්තේ ය. ජාතිය ඇති සෑම දෙනාට ම නො වන ශෝකාදිය මෙයට ඇතුළු කොට දේශනය කර තිබෙන්නේ සංසාර ප්‍ර‍වෘත්තියේ නපුර දැක්වීම පිණිස ය.

මෙහි ජරාව යනු නාමරූපයන් ගේ භඞ්ගයට ළං වීම වූ ස්ථිතිය ය. මරණය යනු නාමරූපයන් ගේ භඞ්ගය ය. විනාශය ය. ශෝකය යනු ඥාති ව්‍යසන ආදිය නිසා වන දෝමනස්ස වේදනාව ය. පරිදේව යනු ඥාති ව්‍යසනාදියෙන් ශෝකයට පත්වූවන් නඟන අනිෂ්ට ශබ්දය ය. දුඃඛ යනු කායික දුඃඛ වේදනාව ය. දෞර්මනස්‍ය යනු මානසික දුඃඛ වේදනාව ය. දෝමනස්ස වේදනාව ය. උපායාස යනු ඥාති ව්‍යසනාදිය නිසා සිතෙහි ඇති වන මහත් වූ වෙහෙස ය. එය එක්තරා ආකාරයකින් ඇති වන ද්වේෂ චෛතසිකය ම ය.