මේ පටිච්ච සමුප්පාදයෙහි කාල තුනක් ද, අඞ්ග දොළොසක් ද, ආකාර විස්සක් ද, සන්ධි තුනක් ද, කොට්ඨාස සතරක් ද, වෘත්ත තුනක් ද, මූල දෙකක් ද ඇත්තේ ය. පටිච්ච සමුප්පාදය පිළිබඳ දැනීම සම්පූර්ණ වීමට ඒවා ද දත යුතු ය.
කාල තුන
පටිච්ච සමුප්පාදාඞ්ගයන් ගෙන් අවිජ්ජා - සඞ්ඛාර යන අඞ්ග දෙක අතීත කාලයකට අයත් ය. ජාති - ජරා මරණ යන අඞ්ග දෙක අනාගත කාලයට අයත් ය. විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා - තණ්හා - උපාදාන - භව යන අඞ්ග අට වර්තමාන කාලයට අයත් ය. භව වශයෙන් කියත හොත් අවිජ්ජා - සඞ්ඛාර දෙක අතීත භවයට අයත් ය. ජාති ජරාමරණ යන දෙක අනාගත භවයට අයත් ය. මැද අඞ්ග අට වර්තමාන භවයට අයත් ය.
යම් කිසිවකු මහා සාගරයෙන් වතුර ටිකක් අතට ගෙන, එයින් මුළු මහ සයුරෙහි ම ජලය ලුණු රස බව දක්වන්නාක් මෙන් තථාගතයන් වහන්සේ අවිජ්ජාපච්චයා සඞ්ඛාරා යනාදීන් වර්තමාන භවය සම්පූර්ණයෙන් දැක්වීම් වශයෙන් කොනක්නැති සකල සංසාරය ම දක්වා වදාළ සේක. එක් භවයක් සම්පූර්ණ කොට දේශනය කිරීමේ දී ඒ භවයේ හේතු ඵල දෙක ද දැක්විය යුතු ය. අවිජ්ජා - සඞ්ඛාර යන අඞ්ග දෙක පටිච්ච සමුප්පාදයට එකතු කොට ඇත්තේ වර්තමාන භවය ඇති වීමේ හේතුව දැක්වීම පිණිස ය. ජාති ජරා මරණ දෙක එකතු කර ඇත්තේ වර්තමාන භවයෙන් වන අනාගත ඵලය දැක්වීම පිණිස ය.
මෙහි තථාගතයන් වහන්සේ විසින් අතීත හේතු වදාරා ඇත්තේ, සත්ත්වයා ඉබේ ම ඇති වුණා ය යන දෘෂ්ටිය හා දෙවියන් විසින් සත්ත්වයා මැවුවාය යන දෘෂ්ටිය නැති කිරීම පිණිස ය. අනාගත ඵල දක්වා ඇත්තේ, මරණින් මතු ඉපදීමක් නැත යන දෘෂ්ටිය නැතිකිරීම පිණිස ය හේතු ඵල පරම්පරාව වදාරා ඇත්තේ, ආත්ම දෘෂ්ටිය නැති කරනු පිණිස ය.
අඞ්ග දොළොස
අවිද්යාව - සංස්කාරය - විඥානය - නාමරූපය - ෂඩායතනය - ස්පර්ශය - වේදනාවය - තෘෂ්ණාවය - උපාදානය - භවය - ජාතිය - ජරාමරණය කියා ප්රතීත්ය සමුත්පාදාඞ්ග දොළොසකි. ශෝකාදි පස සැමට ම ඇති නො වන බැවින් ප්රතීත්ය සමුත්පාදයේ අඞ්ග වශයෙන් නො ගනු ලැබේ.
සංක්ෂේප සතර
මේ පටිච්ච සමුප්පාදාඞ්ග දොළොස කොටස් සතරකට බෙදෙන්නේ ය. ඒ කොටස් සංක්ෂේප නාමයෙන් හඳුන්වනු ලැබේ.
අවිද්යා-සංස්කාර යන අඞ්ග දෙක එක් සංක්ෂේපයකි.
විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා යන පස එක් සංක්ෂේපයකි.
තණ්හා - උපාදාන - භව යන තුන එක් සංක්ෂේපයකි.
ජාති-ජරාමරණ යන දෙක එක් සංක්ෂේපයකි.
සන්ධි තුන.
අතීත භවයට අයත් සඞ්ඛාරයටත් වර්තමාන භවයට අයත් විඤ්ඤාණයටත් අතර එක් සන්ධියකි.
වර්තමාන භවයේ වේදනාවටත් තණ්හාවටත් අතර එක් සන්ධියෙකි.
භවයටත් ජාතියටත් අතර එක් සන්ධියකි.
මෙසේ මෙහි සන්ධි තුනක් ඇත්තේ ය. සන්ධි තුනක් වන කල්හි කොටස් සතරක් වන්නේ ය.
ආකාර විස්ස.
පටිච්ච සමුප්පාදාඞ්ගයන් ගෙන් අවිජ්ජා - සඞ්ඛාර දෙක අතීත භවයට අයත් හේතු ය. අවිජ්ජා සඞ්ඛාරයන් ඇති තැන තණ්හා - උපාදාන - භව යන අඞ්ග තුන ද වන්නේ ය. අවිජ්ජා - සඞ්ඛාර දෙක කී කල්හි ඒ තුනත් ගැනෙන බැවින් පටිච්ච සමුප්පාද පාළියෙහි ඒවා මතු කොට වදාරා නැත. එහෙත් අවිජ්ජා - සඞ්ඛාර - තණ්හා - උපාදාන - භව යන පස ම අතීත භවයට අයත් හේතු වශයෙන් ගත යුතු ය. වර්තමාන භවයෙහි ඇති වන විඤ්ඤාණ - නාම රූප - සළායතන - ඵස්ස - වේදනා යන මේ අඞ්ග පස අතීත භවයට අයත් හේතූන්ගේ ඵලයෝ ය. පටිච්ච සමුප්පාද පාළියෙහි එන තණ්හා - උපාදාන - භව යන තුන අනාගත භවය ඇති කරන වර්තමාන භවයේ හේතූහු ය. තණ්හා - උපාදාන - භවයන් ඇත හොත් අවිද්යා සංස්කාර ද ඇත්තේ ය. එබැවින් තෘෂ්ණා-උපාදාන - භව - අවිද්යා - සංස්කාර යන පස ම වර්තමාන හේතු වශයෙන් ගනු ලැබේ. ඒ හේතු පස නිසා අනාගතයෙහි ජාතිජරාමරණ ඇති වන බව පටිච්චසමුප්පාද පාළියෙන් කියැ වේ. ජාති - ජරා මරණ යනුවෙන් කියැවෙන්නේ විඤ්ඤාණ-නාමරූප-සළායතන-ඵස්ස-වේදනා යන අඞ්ග පස ය.
අවිජ්ජා - සඞ්ඛාර - තණ්හා - උපාදාන - භව යන මේ පස අතීත හේතු ය.
විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා යන මේ පස වර්තමාන ඵල ය.
තණ්හා - උපාදාන - භව - අවිජ්ජා - සඞ්ඛාර යන පස වර්තමාන හේතු ය.
විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා යන පස අනාගත ඵල ය.
මේ ධර්ම විස්සට ආකාර විස්ස යයි කියනු ලැබේ.
අතීත භවයේ හේතු පස නිසා වර්තමාන භවයේ ඵල පස ඇති වේ. වර්තමාන භවයෙහි නැවත ඇති වන හේතු පස නිසා අනාගත භවයට අයත් ඵල පස ඇති වන්නේ ය. අනාගත භවයෙහි ද නැවත තණ්හා උපාදානාදිය ඇති වීමෙන් ඒවායෙනි නැවතත් භවයක් ඇති කරන්නේ ය. මෙසේ සංසාරය නො සිඳී පවත්නේ ය. හේතුවෙන් ඵලයත් නැවත හේතුවත් නැවත එයින් ඵලයත් ඇති වන බැවින් මේ හේතුඵල පරම්පරාව චක්රයක් වැනි ය. එබැවින් මේ හේතු ඵල පරම්පරාවට සංසාර චක්රය යි කියනු ලැබේ.
වෘත්ත තුන
මෙහි වෘත්ත තුනක් ඇත්තේ ය. වෘත්තය යි කියනුයේ නැවත නැවත පෙරළී එන දෙයට ය. මෙහි අවිජ්ජා - තණ්හා - උපාදාන යන අඞ්ග තුන ක්ලේශ වෘත්තය ය. කර්ම භවය - සංස්කාරය කර්ම වෘත්තය ය. උත්පත්ති භවය විඥානය නාමරූපය ෂඩායතනය ඵස්සය වේදනාව ය ජාතිය ජරාමරණය යන මේවා විපාක වෘත්තය ය. ක්ලේශයන් නිසා කර්ම ඇති වේ. කර්ම නිසා විපාක ඇති වේ. විපාකය නිසා නැවත ක්ලේශයන් ඇති වේ. මෙසේ මේ ක්ලේශ කර්ම විපාක යන තුන පෙරළීමෙන් සංසාරය නො සිඳී පවතී.
මූල දෙක
අවිද්යාව මේ සංසාර චක්රයාගේ එක් මූල ධර්මයෙකි. තෘෂ්ණාව එක් මූල ධර්මයෙකි. මේ හේතුඵල පරම්පරාව චක්රයක් මෙන් පවත්නේ වී නමුත් අවිද්යා තෘෂ්ණා දෙක නැති කළ හොත් සංසාර චක්රය සිඳෙන්නේ ය. ඒ දෙක නැති කිරීමෙන් මිස අන් ක්රමයකින් සංසාර චක්රයෙන් නො මිදිය හැකි ය. එබැවින් අවිද්යා තෘෂ්ණා දෙක මේ චක්රයේ මූල ධර්මයෝ වෙති. ප්රධාන ධර්මයෝ වෙති. නුවණැත්තෝ ප්රතිපත්තියෙන් අවිද්යා තෘෂ්ණාවන් නසා සංසාර චක්රයෙන් මිදී නිවනට පැමිණෙන්නාහ.
අවිද්යාව මුල් කොට ප්රතීත්ය සමුත්පාදය දේශනය කර තිබීමෙන් සංසාරයේ පටන් ගැනීම අවිද්යාව යි නො ගත යුතු ය. මෙය ලෝකයේ මුල හෙවත් පටන් ගැනීම දක්වන දේශනයක් නො වේ. මේ දේශනයෙන් දක්වන්නේ සංසාරය පවත්නා ක්රමය ය. අනාගතයටත් මේ චක්ර මෙසේ ම පවත්නේ ය. අතීතයේත් එසේ ම පැවැත්තේ ය. අතීතයෙහි මේ සංසාර චක්රය නො පැවති කාලයක් නැත. එබැවින් මෙහි පටන් ගැනීම වූ මුලක් නැති බව දත යුතු ය.