15. යක්‍ෂදමන නම් පරිච්ඡේදය

ආළවක නම් යක්‍ෂයා දැමු පරිදි කිසෙ යැ යත්:

අළවු නම් රට අළවු නම් නුවරැ අළවු නම් රජෙක් වි. හෙ නළු පිරිස් පිරිවරා විඳුනා නැටුම් ගඳෙවු[1] පියා, සොරුන් පිළි බහනු සඳහා දු, ව්‍යායාම කරනු සඳහා දු, සත් සත් දවසින් මුවදඩ යනුයෙ, එක් දවසක් බැලයෙහි[2] ඇත්තනට, “යමක්හු සිටි දසායෙන් මුවගොන්[3] පලා ගියෙ වී නම්, උහු මැ භාර යැ”යි කී යැ. එකල්හි රජු සිටි දසායෙන් මැ මුවගොන් පැලෑ යැ. ජව ඇති රජ සිටි දසායෙන් මැ මුවගොන් පැලෑ යැ. ජව ඇති රජ දුන්න ගෙනැ පයින් තුන් යොජනක් තැන් මුවා ලිහිබැඳැ-ගෙනැ ගියෙ. ඉළුමුවො වනාහි තුන් යොජනකට ජව ඇත්තාහැ. හෙ එ කල්හි හී-ගිය[4] ජව ඇති ඉළුමුවා දියට වැදැ සිටියහු මරා දෙ කඩ කොටැ සිඳැ, තම හට මසින් කම් නැත ද, ‘මුවා නොගත හිණ’ යන අපවාද[5] මුදනු සඳහා කදින් ගෙනැ එන්නෙ, නුවරට නුදුරු තන්හි ගනබහල පත් ඇති මහත් නුගයක් දැකැ, පරිදාහ නිවනු සඳහා එ රුක්මුලට ගියෙ.

ඒ නුගරුකැ අළවු යක් වෙසවුණු රජහු කෙරෙන් භවනය ලදින් හිරිමුදුනෙහි එ රුක්සෙයෙන් පහළ පියෙසට වන් වන් සතුන් කමින් වෙසෙයි. හෙ ඔහු දැකැ කන්නට ළඟ වියැ. රජ ඔව්හට, “මා නොකා, මම තට දවසැ දවසැ මිනිසකු දු බත්සැළකුදු[6] දී එවමි” කීයැ. යක්, “තො රජ ඉසුරුයෙන් පමා වැ[7] සඳහන්[8] නො කෙරෙයි.[9] මම් වනාහි භවනයට නොවන්නහුදු නොගිවිස්සනුදු කනු නො ලැබෙමි. එබැවින් මම තා නො යා දෙමි”යි කී යැ: රජ, “යම් දවසක් නොදී එවුම්[10] නම්, එ දවස් රජගෙට ගොස් මා කා”යි කී යැ. “ඉතා මැනැවැ”යි යක්‍ෂයා අවසර දුන් කල්හි නුවර බලා ගියෙ. රජබලය මඟැ කඳවුරට බැඳැ සිටැ, රජු දැකැ, “කිම, මහරජ,[11] අයශස් බා මෙසෙ දුක් වින්හි”[12] කියමින් පෙරමඟ ගොස් රජු පිරිවැරුහු.

රජ එ පවත් නොකියා[13] නුවර වැදැ බත් කා නුවර ලද්දා කැඳවා එ පවත් සැළ කෙළෙ. නුවරලදු[14] “කිම, මහරජ, කල් පිරිසුන්නෙ දැ?”යි කී යැ. රජ “පිරිකැපු දෑ නැති” කී යැ. “මහරජ, වැරද වුව.[15] යක්‍ෂයො පිරිකැපු පමණක් මැ ලැබෙති. නොපිරිකැපු කලැ රටවැස්සනට පීඩා යැ. මැනැවැ, මහරජ, කිසි සෙයෙකින් තෙපි මෙසෙ කළහු[16] නම්, එ තැනැ සිතිවිලි නැති ව.[17] රජසුව අනුභව කරව. මම එයට කළ මනා දෑ කෙරෙමී” බීණි යැ. හෙ වෙලා ඇති කලැ මැ[18] නැඟී, දඟගෙදොරැ සිටැ, යම් කෙනෙක් මට හුණුවාහු ද?[19] ඔවුන් සඳහා, “යමෙක් දිවි කැමැත්තෙ ද, හෙ නික්මෙව”යි බෙණෙයි. යමෙක් පළමු නික්මිණි ද, ඔහු ගෙට ඇරැ නහවා බත් කවා, “මෙ බත්සැළ[20]යක් හට දෙ”යි නහා යවයි. ඔහු රුක්මුල[21] වන් විගස මැ, යක් භයානක වෙසින් මුලඅඩකඩක්[22] සෙයින් කයි. යක්‍ෂානුභාවයෙන් මිනිසුන්ගෙ කෙහෙ පටන් - ගෙනැ සියල් සිරිරු වෙඬරුපිඬක් වැනි වෙයි.[23] යක් හට බත් ගෙන්වා-ගෙනැ ගිය මිනිස්හු උහු දැකැ බිය පත් වැ තමන් තමන් මිත්‍රයනට කීහු.

එතන පටන් ගෙනැ, “රජ සොරුන් ගෙනැ යක් මට දෙ”යි,[24] මිනිස්හු සොරකැමින් දුරු වූහ. එයින් උත්තරයෙහි අයළින්[25] වදනා සොරුන් නැති වන බැවින්, පරණ සොරුන් හීගිය[26] වන බැවින් දඟගෙ සිස් වි යැ. එකල්හි නුවරලදු රජහට කී යැ. රජ තමාගෙ ධන නුවරැ මහවෙයැ[27] තබා-පී යැ. ‘ලොභයෙන් කිසි කෙනෙක් ගන්නාහු, නම් මැනෑ මැ යැ’[28] කියා යැ. එහි පයිනුදු පහරනාහු නැති. හෙ සොරුන් නො ලබන්නෙ, ඇමැත්තනට කී යැ. ඇමැත්තො “කුලපිළිවෙලින් එකෙකි මහලු මිනිසකු[29] ගෙනැ නඟා යවම්හ”යි කීහැ. රජ, “නුවරවැස්සො ‘අප පියන් අප මුත්තන් ගන්තී’ ගිගිරි කෙරෙති. හෙ මට නො රිස්සි” වැළැකි “ඔඝ, මහරජ, පිටින් මිසැ නොහොතහෙන[30] දරුවන් දි යවම්හ. ඔව්නට[31] ‘අප මවුපියො’ යන සනා නැතී” කීහු. රජ අනුදත. ඔහු එසෙ කොළො. නුවරැ දරුවන් මවුහු දු දරුවන් ගෙනැ, ගැබි[32]ලියො ද පලා ගොස්, පර රට දරුවන් විය පත් කල්හි ගෙනැ එති. එසෙ දොළොස් හවුරුද්දෙක් ගියෙ.

එයින් උත්තරයෙහි එක් දවසක් සියලු නුවර සොයා එක් දරුවකු[33] නොලදින්, “මහරජ, ඇතුළු රජගෙහි ත-පුතු අළවු රජකුමරහු තබා, නුවරැ දරුවො නැතී” කීහැ. “යම් කෙනෙක්හට තමා අත්පෙම් හා සම පෙම් ඇත්තෙ නොවෙයි. යව. ඔහුද් දී යවා මා දිවි රක්නෙ යැ”යි කීයැ. එකල්හි අළවු කුමරහු මවු, පුතු නහවා පහයින් ගන්වා දුහුල්සුඹුළියෙන් ගෙනැ ඔරැ හොවා-ගෙනැ හින්නී යැ. රාජ පුරුෂයො රජු ගෙ යෙදමෙන් අවුදු සොළොස්දහසක් නළුව නුදු වලප්ව වලප්වා කිරීමව[34] හා සමඟ “සෙට දවස් යක් හට බත් වෙ”යි හැරැ-ගෙනැ ගියො.

එ දවස් බුදුහු දෙව්රම් මහ වෙහෙරැ මහ ගඳකිළියැ අලුයම්හි මහකුළුණු සමවත් සමවැද බුදු ඇසින් ලොව බලන්නාහු, අළවු කුමරහු අනැගැමි වන්නට උපනිඃශ්‍රය ඇතිසෙ,[35] යක්‍ෂයා සොවන් වන්නට නිසිසෙ,8 දෙසුන් අවසන්හි සුවසූදහසක් දෙනා අධිගම කරනසෙ දැකැ, පහන් වූ කලැ පෙරබත්කිස කොටැ පස්බත්කිස[36] නොනිමි වෙලෙහි9 ගුණු[37] පොහො දවස් හිරු එප්සුණු කලැ හුදෙකලා වැ පාසිවුරු ගෙනැ, පා ගමනින් සැවැත් නුවරින් තිස් යොජුන් ගොස්, එ යක්හු ගෙ භවනයට වන්හු. බුදුහු, යම් නුගයෙක් අළවු යක්හු ගෙ භවන ඇද්ද, එ රුක්මුල්හි වුසුහ, හො! නොහොත් භවනයෙහි මැ වුසුහ, හො! යත්: භවනයෙහි මැ වුසුහු. යම්සෙ යක්හු තමන් ගෙ භවන දකිත් ද, එසෙයින් මැ බුදුහු ද දකිත්. ඔහු එයට ගොස් විමන් දොරැ වැඩැසිටියාහැ. එකල්හි අළවු යක් හිමවියෙහි යක්‍ෂසමාගමයට ගියෙ යැ.

එ සඳ ආළවකයා ගෙ දොර[38] රක්නා ගද්‍රභ නම් යක්, බුදුන් කරා එළබැ, වැඳැ, “කිම, වහන්සෙ, මෙයට විකාලයෙහි වැඩි දෑ නො!”යි කී යැ. “ගද්‍රභය, කළ මනා දැයකට ආම්හ. ඉදින් තට නොබර වී නම්, එක් රැයක් ආළවකයාගෙ භවනයෙහි වසම්හ” යි වදාළහැ. “වහන්සෙ, මට නොබරැ[39] අනෙකෙක් මත්න. එ යක් කැකුළැ, පරුෂ යැ, මවුපියනුදු පවා නො වඳී, වහන්සෙට මෙහි වසනු නො රිස්සව[40]”යි කී යැ. “ගද්‍රභය, හෙ ඔහුගෙ ස්වභාව යැ. මට කිසි අන්තරායයෙක් වන්නෙ නොවෙයි. ඉදින් තට නොබර වී නම්, එක් රැයක් මෙහි වසම්හ”යි වදාළහැ. දෙවන වැට දු ගද්‍රභ, නම් යක් බුදුනට “වහන්සෙ, ආළවක, ගිනින් රත් කළ යකබලක්[41] වැන්නැ. “මොහු මවුපියහැ, මුහු මහණබමුණහැ, මෙ දහමැ[42], යනු නො දන්නි. මෙයට ආවන් සිතට විඛෙවු දු කෙරෙයි. හදවතු දු පළයි. පයැ ගෙනැ පර සමුද්‍රයෙහි හො පර සක්වළැ හො දමා-පියා”යි කී යැ. දෙවන වට දු බුදුහු “දන්මි; ගද්‍රභය, ඉදින් තට නොබර වී නම්, එක් රැයක් වසම්හ”යි වදාළහැ. “වහන්සෙ, මට නොබරැ. අනෙකෙක් මත්න.[43] එ යක් ‘තම හට නොකියා අනුදත්හ” යි මා මරන්නෙ වනැ.[44] වහන්සෙ, ඔහු කරා ගොස් කියම් දැ?” යි කී යැ. “ගද්‍රභය, රිසිසෙ, ගොස් කියා” යි වදාළහැ. “ඔස, වහන්සෙ, මොබ මැ දන්නෙ යැ”යි බුදුන් වැඳ හිමවු ගියෙ.

භවනයෙහි දොර තෙමෙ මැ බුදුනට විවර වී යැ. බුදුහු ඇතුළු භවනයට වැදැ, යම් අස්නෙක්හි අළවු යක් උතුම් මඟුල් දවස් හිඳැ මහත් සිරි අනුභව කෙරෙ ද, එ මැ දිවරුවන් මුවා පලග මත්තෙ වැඩැ හිඳැ රන්වන් රස් වුහුටුහැ. එ සඳ යක්‍ෂයා ගෙ කන්‍යාවො අවුදු බුදුන් වැඳැ පිරිවරා හුන්හු. බුදුහු ඔව්නට “තෙපි දන් දී සිල් රැකැ පුදන්නට නිස්සන් පුදා මෙ සැපතට පත්ව. දැනුදු එසෙ මැ කරව.[45] ඔවුනොවුන් කෙරෙහි ඊර්ෂ්‍යා නො කරව” යනාදි විසින් ධම් දෙසූහැ. ඔහු බුදුන් ගෙ මියුරු ගැඹුරු හඬ අසා, සාධුකාර දහස් දී, බුදුන් පිරිවරා හුන්හු මැයි.

ගද්‍රභ[46] හිමව්වට ගොස් අළවු යක් හට “ස්වාමිය, බුදුහු අවුදු තා ගෙ විමන්හි වැඩැ හුන්නාහ” යි කීහැ. හෙ අභිමානයෙන් ලජ්ජිත වැ, ගද්‍රභය, හට “පිරිස් මැදැ කිසි කෙනෙක් අසනුවහැ.[47] නොබැණැ සිට. ගොස් කළ මනා දෑ[48] කෙරෙමි”යි කීයැ.

එකල්හි සාතාගිර නම් හෙමවත් නම් යක්‍ෂසෙනාපතිහි දෙදෙන[49] “බුදුන් දෙව්රම්හි මැ වැඳැ යක්‍ෂ සමාගමයට යම්හ”යි සහපිරිවරින් නන්[50] යානයෙන්[51] අහසින් යෙති. අහසැ යක්නට හැම තන්හි මැ මඟ ඇත්තෙ නොවෙයි. අහසැ සිටි විමන් පීරා වූ මඟතැනින් මැ මඟ වෙයි.

අළවු යකුගෙ විමන් වනාහි බිම වූයෙ යැ, සුරැකි යැ, පවුරෙන් පිරිඛෙව් ලද්දෙ ය, සුසංවිහිත වූ දොරොටු අටලු ඇත්තෙ යැ, උඩ අහස්පියෙස් රන්දැලින් ගැවැසී ගත්තෙ යැ, සුමුඟක් වැන්නැ, උසා තුන් යොජනැ. එ විමන් මුදුනෙහි වු මැඟින් ඔහු එ පියෙසට පැමිණැ යන්නට නොපොහොසත් වූහු.

කුමට යැ යත්:

බුදුන් යම් පියෙසෙකැ වැඩහුන,[52] මුදුනෙහි පටන්-ගෙනැ භවඅග් දක්වා යම් කෙනෙකුද් යන්නට නොනිස්සහැ. එයින් මෙ යක් සෙනෙවියා දෙදෙන දු නොයාහී, “මෙ කුමැ!”යි ආවර්ජනා[53] කරන්නාහු, බුදුන් දැකැ අහසැ වුහුටු[54] කැටක් සෙ, බැසැ වැඳැ බණ අසා පැදකුණු කොටැ අවසර ගෙනැ යක්‍ෂසමාගමයට ගියො.

අළවු යක් ඔවුන් දැකැ, “මෙහි හිඳුව” තෙමෙ පහ වැ ඔව්නට අවසර දින. ඔහු අළවු යක් හට, “තට කැරුණෙ, මහත් ලාභ යැ.[55] බුදුහු තාගෙ භවනයෙහි වැඩැ හුන්නාහැ. යා, බුදුනට උපස්ථාන කරා”යි කීහු. එකල්හි අළවු යක් ගිනියෙහි[56] බහා-ලූ ලුණුකැට[57] සෙයින් ක්‍රොධයෙන් තට තටායමාන හෘදය ඇති වැ, “කවර බුදු නම් මාගෙ ගෙට වන්නෙ?” යි කී යැ. ඔහු දෙදෙන “තො නො දන්හි?”[58] අප බුදුන් තුසීපුරයෙහි සිටැ පඤ්චමහාවිලොකනා කොටැ” යනාදීන් ධම්සක් පවතුන් දක්වා කියා, පිළිසිඳ ආදියැ පාළ වූ දෙසිත් පූර්වනිමිත්ත කියා, “මෙ අසිරි පෙළහර නුදුටු විරි දැ?”යි කීහැ.

හෙ දුට ද, ක්‍රොධයෙන් “නො දිටිමි යි” කී යැ. “කියග, ආළවකය, හෙ තා දුට මනා මැ යැ. නුදුට මනා මැ යැ. තා[59] විසින් කිම දැකැ නොදැකැ? තො කුම් කෙරෙහි ද? අප බුදුන් පිණිස තො කියබර උසබ රජක්හු සමීපයෙහි එ දවස් උපන් වස්සක්හු වැන්නෙහි. ත්‍රිමදගලිත[60] මතැන් රජක්හු සමීපයෙහි ඇත්පැටක්හු[61] වැන්නෙහි. දිලියෙන කෙසරු සෙළෙන් හොබනා කඳට ඇති සිංහරාජයෙක් හු සමීපයෙහි මහලු කැණහිලක්හු[62] වැන්නෙහි. යෙළ සියක් යොජුන් ගුරුළු රජක්හු සමීපයෙහි පියා හුන්[63] කපුටුවක්හු වැන්නෙහි.[64] යා, තා කට හැකි දැයක්[65] ඇත. කරා”යි කීහු.

මෙසෙ කී කලැ[66] අළවු යක් දැහැවැ හුනස්නෙන් නැඟී, රක්[67] ගල් මුදුනෙහි වම්පසින් සිටැ “දැන් තොප සථරහුගෙ අනුභාව හො මාගෙ අනුභාව හො බලව” යි දකුණු පයින් සැට යොජුන් පමණ කෙලෙස් ගල්කුළුයෙහි ඇක්මිණ. එ ගල යකුළෙකින් පහළ රත් කළ යපල්ලක් සෙයින් පපටිකා විහිට. හෙ එහි සිටැ, “මම් අළවු යක්මී” හැඬි යැ. එ හඬ මුළු දඹදිව පතුළෙ.[68]

සතර ශබ්ද කෙනෙක් මුළු දඹදිව්හි පතුළහැ. කවර සතර ශබ්දයහ[69] යත්: පුණු යක් ධනඤ්ජය මහරජහු හා[70] දු කෙළැ දනැ[71] අපොළො[72]මම් දනිමි” යම් හඬක් හැඬී ද, සක් දෙව්රජ කසුඛු සම්මා සම්බුදුන් වහන්සෙ ගෙ සස්න නස්නා කලැ විස්කම් දෙව්පුත්හු බලුවෙස් ගන්වා, තෙමෙ වැදිවෙස් ගෙනැ අවුදු, “මම් පවිට් මහණනුදු මෙහෙණනුදු උපාසකනුදු උපාසිකාවනුදු හැම අධර්මවාදීන් කමී” යම් හඬක් හැඬී ද, කුස රජ ප්‍රභාවතිය සඳහා සත් රජක්හු අවුදු, නුවර තිරි කොටැ[73] වටා ගත් කල්හි ප්‍රභාවතිය හා සමඟ ඇත් කඳැ හිඳැ, නුවරින් නික්මැ, සිංහ ස්වරයෙන් “අහංකුසො”යි යම් හඬක් හැඬී ද, අළවු යක් කෙලෙස් ගල් මුදුනෙහි සිටැ, යම් හඬක් හැඬී ද, එ හැම හඬ මුළු දඹදිවැ දොරැ දොරැ සිටැ හැඬු වැනි වි යැ. තුන් දහසක් යොජුන් හිමවත් කම්පිත වී.

“මෙ මහණහු පිඹැ පියමී” අළවු යක් තමාගෙ අනුභාවයෙන් සුළඟක් මැවී යැ. එ සුළඟ සතර දෙසෙන් නැඟී, ගවු දෙ ගවු තුන් ගවු පමණ, යොජුන් දෙ යොජුන් තුන් යොජුන් පමණ ගල්කුළු කඩා-ගෙනැ වල්රුක් මුල දී[74] උදුරා-ගෙනැ, අළවු නුවර පැමිණැ දිරා ගිය ඇත්හල් අස්හල් සුන් කෙරෙමින් සියනැ උළු අහසැ බමවමින් ආ යැ.[75] බුදුහු “කිසිවක් හට කහට නො වෙව”යි[76] ඉටුහැ. ඒ සුළඟහු[77] බුදුන් කරා පැමිණැ සිවුරු[78] කනකුදු සලන්නට නො පොහොසත් වූහු.

එක්බිති “මෙ මහණහු දියවතුරෙන්[79] ගලා මරා-පිව මැනැවැ”යි මහත් වැස්සක් වැස්වි යැ උහු ගෙ අනුභාවයෙන් මතුමත්තෙහි සියක් පටල දහසක් පටල ඈ භෙද ඇති වලාහකයො නැඟී වටහ[80] වැසි ධාරාවෙගයෙන් පොළොව් සිල්[81] වන්නා වැනි වි යැ. වන රුක් ආදීන් ගෙ මුදුනෙන් මහවතුරු ගලා අවුදු[82] බුදුන්ගෙ සිවුරෙහි පිනිබිඳක් පමණ තැන් තෙමෙන්නට නොනිසි වී. එක්බිති පහණ වැස්සක් වැස්වි යැ. මහත් මහත් ගල්කුළුහු දුමමින් දිළියෙමින් අහසින් අවුදු බුදුන් කරා පැමිණැ දිව මල්ගුළා බවට පැමිණියො. එක්බිති ආයුධ වැස්සක් වැස්වි යැ. එකතොධාරා උභතොධාරා ඇති කඩු අඩයටි පාරා[83] හී ආදීහු දුමමින් දිළියෙමින් අහසින් අවුදු බුදුන් කරා පැමිණැ දිව මල් දම් බවට ගියො. එක්බිති අඟුරු වැස්සක් වැස්වි යැ. කැහැලමල් බඳු[84] අඟුරුහු[85] දුමමින් දිලියෙමින් අහසින් අවුදු බුදුන් පාමුල්හි දිවමල් වැ වගුළො. එක්බිති හළුවැස්සක් වැස්වි යැ. ඉත් හුණු හළු අහසින් අවුදු බුදුන් පාමුල්හි සඳුන්සුණු වැ වගුළෙ[86] ඉක්බිති වැලි වැස්සක් වැස්වි යැ. ඉතා සියුම් වැනි දුමමින් දිලියෙමින් අහසින් අවුදු බුදුන් පාමුල්හි දිවකුසුම්[87] රොන් බවට ගියෙ.[88] එක්බිති කලල්වැස්සක් වැස්වි ය. ඒ කල්ලවැසි දුමමින් දිලියෙමින් අහසින් අවුදු බුදුන් පාමුල්හි ගඳකළල් වැ වගුළෙ.[89] එක්බිති “මෙ මහණහු මුළා කොටැ බවා නෙරැපියමි[90]” යි අඳුරුවක්[91] මැවි යැ. එ අඳුරු සියරඟින් යුත් අඳුරු සෙයින් බුදුන් කරා පැමිණැ හිරිරසින්[92] බුන් අඳුරු සෙයින් බුදුරසින් බිඳී අතුරුධන් වි යැ.

මෙසෙ අළවු යක්, සුළඟින් වැස්සෙන් පහණ වැස්සෙන් ආයුධ වැස්සෙන් අඟුරු වැස්සෙන් හළු වැස්සෙන් වැලි වැස්සෙන් කලල් වැස්සෙන් අඳුරුයෙන්[93] මෙ නව වැස්සෙන්

බුදුන් නෙරනට නොපොහොසත් වූයෙ, නන් නන් ආයුධ ගත් ඇත් ඇති, අනෙකප්‍රකාර රූප[94] ඇති, යක්‍ෂ ගණන් විසින් සමාකුල වූ, සියුරඟසෙනඟින් තෙමෙ මැ බුදුන් කරා ගියෙ. ඒ භූතගණයො අනෙකප්‍රකාර විකාර කොටැ, “ගන්ව, තළව”යි බුදුන් හිස්මත්තෙන් එන්නවුන් වැන්නහැ. එතෙකුදු වුවත් ගිනි ගත් ලොහොපිඬුහු[95] මැස්සන් සෙයින් බුදුන් ළඟ වන්නට නොපොහොසත් වූහු. එසෙ ද වුව[96] යම්සෙ බොමඬහි ලා මර දෙව්පිත් ආ වෙලායෙහි මැනැවත් ද, මොහු එසෙ නො නැවතී, රැයින් සමහරක් දක්වා ව්‍යාකූල පහළ[97] කොළො. මෙසෙ අඩ රැයක් පමණ කල්හි නොඑක් ප්‍රකාර භය දක්වා, බුදුන් සොලවන්නට නොපොහොසත් වූහු. අළවු යක් “කිසි කෙනකුනුදු[98] විසින් නොදිය හැකි වෙලායුධ විහිජමී” සිතී. සතර ආයුධ කෙනෙක් ලොකයෙහි උත්තමයො: ශක්‍රයා ගෙ වජ්‍රායුධ යැ. වෙසවුණු[99] මහරජහු ගෙ ගදායුධ යැ. යමයා ගෙ නයනායුධ යැ, ආළවකයා ගෙ වෙලායුධ යි.

ඉදින් ශක්‍ර[100] දැහැවැ වජ්‍රායුධය මෙරමුදුනෙහි පහළියෙ වී නම්, එක් ලක්‍ෂ අට සැට දහසක් යොජුන් මෙර විනිවිදැ පත්ලට යෙයි. වෙසවුණු මහරජහු පුහුදුන් කලැ වුහුට් ගදාව බොහො යක් දහසුන් හිස් සිඳැ නැවැතැ අවුදු අත් පසැහි වැදැ[101] සිටී. යමයා දැහැවැ නයනායුධයෙන් බැලු කලැ අනෙක කුම්භාණ්ඩ දහස්හු තත් කබලැ ලූ තල සෙයින් පුපුරා නස්ති.[102] අළවු යක් දැහැවැ ඉදින් වෙලායුධය අහසැ වුහුට්යෙ වී නම්, දොළොස් හවුරුද්දක් වැසි නො වස්සි. පොළොවට වුහුට්යෙ වී නම්, හැම රුක්හු හැම තණ ආදිය වියැළි දොළොස් හවුරුද්දක් නො නැඟෙති. මුහුදැ වුහුට්යෙ වී නම්, තත් කබලැ[103] දියබිඳු සෙයින් හැම දිය සිඳී යෙයි. මෙරගල් සුදුසු ගලැ[104] වුහුට්යෙ වී නම්, කඬ කඬ වැ විසිරැ යෙයි.[105] මෙසෙ මහත් අනුභාව ඇති වෙලායුධය උත්තරිය වැ තුබුවා හැරැ-ගති. බෙහො සෙ දස දහසක් සක්වළැ වැසි දෙවියෙ වෙළෙවි වැ අවුදු රැස් වූහු: “අද[106] බුදුහු අළවු යකු දමති. එහි බණ අසම්හ”යි. යුද්ධ දැක්කැටි දෙවියො ද, රැස් වූහු මැ යැ. මෙසෙ සියලු අහස දෙවියන් විසින් පිරිණි.

අළවු යක් බුදුන් වැළැතැ උඩ අහසැ ඇවිදැ, වෙලායුධය වුහුට, හෙ සණමඬලක් සෙයින් අහසැ ගොර බිරම් ශබ්ද කෙරෙමින් දුමමින් දිලියෙමින් බුදුන් කරා පැමිණැ, යක්ෂයා ගෙ මන් බිඳුනා සඳහා පා පිස්නා කඬක් සෙයින්, පාමුල්හි හිණ. අළවු යක් එ දැකැ, හඟ බුන් ගොනක්හු සෙයින්, දළ බුන් සපක්හු සෙයින්, තෙජ නැති වැ, මද නැති වැ, මන් නැති වැ, “වෙලායුධයත්[107] මහණු අභිභවන්නට නොනිසි වි යැ. කරුණු කිමැ හො!” පිරික් සනුයෙ, “මෙ මහණ මෛත්‍රී විහාරයෙන් යුක්ත යැ. මොහට රොස් උපදවා, මෛත්‍රීන් තොර කොටැ-පිව මැනැවැ”යි සිතා “මහණ, මා නොඅනුදත් මාගෙ භවනයට[108] වැදැ, ගෙ-හිමියක්හු සෙයින්, අඹුන්මිනිස්පිරිස් මැදැ හුන්නෙහි. මෙ මහණ හට[109] යුක්ත නොවෙයි; අදත්තාදාන පරිභොග හා ස්ත්‍රීසංසර්ග යැ. ඉදින් තො[110] මහණදම්හී[111] සිටිහි[112]විහි නම්, නික්මැ යා. මහණැ” යි කී යැ. එකල්හි බුද්හු “යමෙක් තද වී නම්, තද වැ විනය නොකට හැක්කැ. යම්සෙ චණ්ඩ වූ බල්ලක්හු නාසායෙහි පිත් බුන් කලැ ප්‍රචණ්ඩ වෙද, එ සෙයින් මැ තද වන්නා හා[113] මෙයිදු තද වෙයි. මෙළෙක් වන්නා හි විනෙය වෙ” යි සිතා, “ඉතා මැනැවැ”යි ප්‍රිය තෙපුලෙන් උහු ගෙ තෙපුල් ගිවිසැ ගෙනැ[114] නික්මුණුහු.

එ සඳ අළවු යක් “මෙ මහණ කීකරු යැ.[115] එක තෙපුලෙන් මැ නික්මිණ. මෙසෙ සුවයෙන් නික්මෙන මහණු හා අකාරණයෙහි මම සියලු රෑ යුද්ධ කෙළෙමි”යි මෙළෙක් සිත්

ඇති වැ නැවැත[116] සිතී: “මෙ මහණ සුවචතායෙන්[117] නික්මිණ හො! ක්‍රොධයෙන් නික්මිණ හො! විමසා[118] බැලුව මැනැවැ”යි “එ.[119] මහණැ”යි කී යැ. බුදුහු උහු ගෙ අදහස් දැනැ, “ඉතා මැනැවැ, ඇවැතැ”යි ගොස් වන්හු. එකල්හි අළවු යක් පුන පුනා එ මැ සුවචභාවය විමසනුයෙ, දෙ වන වටද් තුන් වන වටද් “නික්මැ යැ, මහණ, එ4 මහණැ”යි කී යැ. බුද්හු එසෙ කළහැ. ඉදින් එසෙ නො කළාහු වුහු නම්,[120] පියෙවින් මැ තද සිත් ඇති යක්හු ගෙ[121] සිත ඉතා තද වැ ධම්දෙසුන් ගන්නට නොනිසි විය හෙයි.[122] එබැවින්[123] යම්සෙ මවු වලප්නා පුතක් හට[124] යමක් හෙ කැමැත්තෙ ද, එදී හො, කැමැත්තා කොටින් හො, සන්හිඳුවා ද, එසෙයින් මැ බුදුහු කෙළෙස් වැලැප්මේන වලප්නා යක්හු සන්හිඳුවනු සඳහා යමක් බෙණෙ ද, එ කළහැ. යම්සෙ කිරිමවු කිරි නොබොන දරුවා යම් කවර දැයක් දී නළවා පොවා ද, එසෙයින් මැ බුදුහු යක් බිළිඳිහු ලොව්තුරා දහම් අමාකිරි පෙවියට් වැ උහු කැමැති දෑ කිරීමෙන් නළවා මෙසෙ කොළො. යම් පුරුෂයෙක් ලප්පකැ[125] සියුමිසුරු පිරියටි වූයෙ. එහි ඇතුළත සොධා ද, එසෙයින් මැ බුදුහු යක්‍ෂයා ගෙ සිතැ ලොවුතුරා සියුමියුරු[126] පිරියටි වූවාහු, ඔහුගෙ ඇතුළත ක්‍රොධමල සොධනු සඳහා තුන් යලක් නික්මෙනුදු වැදමුදු කොළො.

එකල්හි අළවු යක් “මෙ මහණ සුව ච යැ. ‘නික්මෙ’ යි කී කලැ වද්දි. ඔස, මෙ මහණහු සියලු රෑ ඇවිදුවා ලෙඩ කොටැපියා පයැ අත් ලා ගෙනැ[127] ගඟ පරතෙර දමා-පියමි” ය පවිට් සිත් උපයා සතර වන වර[128] “නික්මැ යා; මහණ” යි කීයැ. එ දැනැ බුදුහු “මත්තෙ කළ මනා දෑ ඉල්ලනුයෙ[129] මෙ පැන පිළිවිස්සැටි වෙයි. හෙ ධම් දෙස්නට[130] දොරැ”යි දැනැ, “ඇවැත, මම නො නික්මෙමි. යමෙක්[131] තා විසින් කටයුතු ද, එ කරා” යි වදාළො.

එක්බිති ගෙ අළවු යක් අහසින් යන කලැ “මෙ රන්විමනෙකැ හො! රිදී විමනෙකැ හො! මිණි විමනෙකැ හො! එ බලම්හ” යි තමාගෙ විමනට ආ සෘද්ධි ඇති තව්සන් පිරිවැජියන් පැන පිළිවිසැ විසජන්නට නොපොහොසත් වූවන්[132] සිතට විඛෙව් කොටැ වෙහෙසයි. එ හෙතුවින්[133] “බුදුනුදු වෙහෙසමී” සිතනුයෙ, “මහණ තා පැන පුළුවුස්මි. ඉදින් පැන නොවිසජිහි[134] නම්, තා සිතට විඛෙව් හො කෙරෙමි. හදවත් හො පළා-පියමි. පය අත්ලා[135]-ගෙනැ ගඟ පරතෙරැ හො දමා-පියමි”යි කී.

එ පැන ඔව්හට කා කෙරෙන් ආයෙ යත්:

ඔහු මවුපියො කසුබු සම්මාසම්බුදුන් වහන්සේට උපස්ථාන කොටැ අට පැනයක් විසජුන් හා සමඟ උගත්හැ. ඔහු අළවු යකු ළදරු කල්හි පුහුණු කැරැවූහු. කල් යත් යත් විසජුන් ඔහු නොසඳහන් වී යැ. එක්බිති “පැනයො ද නො නසිත්ව” යි රන් පතැ දෑහිඟුලෙන් ලියවා විමන්හි තිබී යැ. ඔහු බුදුනට මැ විෂය පැනයහැ. බුදුහු එ අසා, යම් හෙතුවෙකින් බුදුනට දුන් ලාභයට හො, ජීවිතයට හො, සවඤ්ඤණට හො, බ්‍යාමප්‍රභාවට[136] හො, කිසිවක්හු[137] අන්තරාය නොකට හැකි ද, එ හෙතුවින් ඔව්හට ලොකයෙහි අසාධාරණ වූ බුද්ධානුභාව දක්වන්නාහු,[138] “ඇවැත, මම දෙව්මිනිසුන් සියො බඹුන් සියො මහණ බමුණන් සියො ලොකයෙහි මා සිතට විඛෙව් කරන්නහු[139] හො, හදවත් පළන්නහු හො, පයැ ගෙනැ ගඟ පරතෙර පියන්නට නිස්සක්හු[140] හො, නො දක්වමි”යි පැන පුළුවුස්නට උත්සාහ ජනවමින් වදාළහැ. “තට රිසි යෙන දැයක් පුළුවුස. මට පැන විජසුන් නොබරැ, හැම[141] තට විසජමි”යි සවුපසෙබුදුන් හා අසාධාරණ වූ සර්වඥ පවරුණෙන්[142] පැවරුහු.

මෙසෙ බුදුහු සර්වඥ පවරුණෙන්11 පැවරු කල්හි අළවු යක් “කිංසුධ චිත්තං පුරිසස්ස සෙට්ඨං” යනාදීන් පැන පිළිවිත. බුද්හු විසජුහු. යක්‍ෂයා පැන පුළුවුත් පරිදි දු, බුදුන් පැන විසජු පරිදි දු, සංයුත්සඟියැ යක්‍ෂසංයුක්තයෙන් දක්නෙ යැ.

පැන විසජු තැන සිටැ යක් සොවන් වැ බුදුනට ස්තොත්‍ර කරනුයෙ, “බුදුහු මට වැඩ සඳහා අළවු නුවරට වැඩියහැ. යම් තැනෙක්හි දුන් දනැ[143] ඵල මහත් වෙ ද, මම් එ අද දන්මි.[144] මම් දෙව්ගැමින් දෙව්ගමට දෙව්නුවරින් දෙව්නුවරට ‘බුදුහු සව්නෙ ගෙවා දන්ති. දහම් නීයාණික යැ. සඟහු සුපිළිපන්නාහැ’ යි ස්ත්‍රොත කෙරෙමින් තුණුරුවන් පුදමින් දහම්ගොසු වැ ඇවිදුමී” කී යැ. එයින් කීහ:

“අත්‍ථාය වත මෙ බුද්ධො - වාසායාළවිමාගමා,

සොහං අජ්ජ පජානාමි - යත්‍ථ දින්නං මහප්ඵලං

.

සො අහං විවරිස්සාමි - ගාමා ගාමං පුරා පුරං,

නමස්සමානො සම්බුද්ධං - ධම්මස්ස ච සුධම්මතං” යි.

මෙ ගාථාව සමහර දු,[145] පහන් වනු දු, සාධුකාර ශබ්ද නැඟෙනු දු, අළවු කුමරහු යක්‍ෂයා ගෙ භවනයට ගෙනැ යනු දු, එකෙණෙහි මැ[146] වි යැ. රාජපුරුෂයා සාධු කාර ශබ්ද අසා, “මෙබඳු සාධුකාර ශබ්දයෙන් බුදුන් විනා අනෙක් කෙනක්හට නො නැඟෙයි. බුදුහු[147] වැඩියහ හො” යි[148] බලන්නාහු බුදුනු ගෙ ශරීරප්‍රභා දැකැ, “බුදුහු වැඩි වන්හ” යි පිටත නො සිටැ නිසැක වැ මැ ඇතුළට වැදැ බුදුන් යක්ෂයා ගෙ භවනයෙහි වැඩහුන්නන් දුටහැ. යක්‍ෂයා ද මුදුනෙහි ඇඳිලි බැඳැ සිටියහු[149] දැකැ “මහ යක, මෙ රජකුමර[150] තට බිලියම් සඳහා අළියෙ යැ. මොහු කත් මැනෑ මැ යැ.[151] බොත් මැනෑ මැයැ. තට රිසියෙන්නක්[152] කරා” යි ඇරැ දුන්හු. හෙ සොවන් බැවිනු දු බුදුන් පෙරට කීයෙනු දු[153] වෙසෙසින් මැ ලැජ්ජා ඇති වියැ. කුමරහු දොහොඅතින්[154] පිළිගෙනැ “වහන්සෙ, මෙ කුමර මට අළියෙ යැ. දැන් මම මුහු වහන්සේට[155] දෙමි. මුහුට වැඩ සඳහා පිළිගන්නෙ මැනැවැ”යි දිනැ.

බුදුහු දරු[156] පිළිගෙනැ යක් හට ද කුමරු හට ද ආ වඩා, කුමරහු බුද්ධානුභාවයෙන් සරණැ[157] පිහිට්වා, “මොහු වඩා අපට මැ ඇරැ දක්වා දෙව”යි රාජපුරුෂයනට මැ වදාළහැ. මෙ සෙයින් කුමර රාජපුරුෂයන් අතින් යක්‍ෂයා අතට, යක්‍ෂයා අතින් බුදුන් අතට, බුදුන් අතින් රාජපුරුෂයන් අතට, ගිය වන බැවින් හත්‍ථකආළවක නම් වි යැ.

ඔහු ගෙනැ නැවැතී[158] එන රාජපුරුෂයන් දැකැ නො එක් කර්මාන්තයට දරට පනට[159] යන මිනිස්හු “කිම, දරු[160] ඉතා ළදරුහැ’යි[161] යක් නො ගිවිසි දැ”යි බියපත් වැ පුළුවුත්හැ. රාජපුරුෂයො “නො බව, බුදුහු හැම දෙන හට සුව කළහ” යි කරුණු[162] තාක් දෑ හැම කීහු.

එක්බිති සියලු අළවු නුවර වැස්සො “සාධු සාධු” යි එකකොලාහල වැ යක්‍ෂයා වසන දසට අභිමුඛ වූහු. යක්‍ෂ ද[163] වෙලා[164] බලා බුදුන් ගෙ පා සිවුරු ගෙනැ මඟ සමහරක් දක්වා ගොස් නැවැත්තැ. එකල්හි බුදුහු නුවර වැදැ අහර වළඳා නුවර දොරැ[165] එක්තරා රුක් මුලෙක්හි පැන් වූ අස්නෙහි වැඩහුන්හු. එක්බිති මහජනා හා සමඟ රද දු නුවර වැස්සො දු එක් රැස් වැ බුදුන් කරා එළබැ වැඳැ පිරිවරා හිඳැ[166] “වහන්සෙ, දරුණු යක්හු කිසෙ දැමු දෑ දැ”යි[167] පුළුවුත්හැ. බුද්හු ඔව්නට යුද්ධයෙහි පටන්ගෙනැ “මෙසෙ නවවිධ වැසි[168] වැස්වි යැ. මෙසෙ භය දැක්වි යැ. මෙසෙ පැන පිළිවිතැ. එ පැන මම් මෙසෙ විසජිමි”යි එ මැ අළවු සුත[169] වදාළහැ. දෙසුන් අවසන්හි සුවසූදහසක් දෙන[170] අධිගම කොළො.

එක්බිති රජ දු නුවරවැස්සො ද වෙසවුණු මහ රජහු ගෙ භවන වෙතැ යක්‍ෂ හට[171] භවන කොටැ ගඳින් මලින් පුදා, දවස් පතා බිලිබත් පැවැත්වුහු. අළවු කුමරහු වින්වත් බවට පත් කල්හි, “තො බුදුන් නිසා දිවි ලද්දෙහි, යා,[172] බුදුනට සඟනට මේ කරා”යි නඟා යවුහු.[173] හෙ බුදුනට සඟනට මෙහෙ කරන්නෙ, මඳ දවසෙකින් මැ අනැගැමි වැ[174] සියලු බුදුවදන් උගෙනැ[175] පන්සියක් උපාසක පිරිවර ඇති වි යැ. බුදුහු ඔව්නට තනතුරු වදාරන්නාහු, “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං උපාසකානං චතුහි සඞ්ගහ වත්ථුහි පරිසං සඞ්ගණහන්තානං යදිදං භත්‍ථකො ආළවකො” සතර සඟාවතින් පිරිසට සඞ්ග්‍රහ කරනුවන්[176] කෙරෙහි අගතන් වදාළො.

මෙසෙ බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් අලවු යක්‍ෂයා ද, ආදි ශබ්දයෙන් ගත් සුවිරොම ඛරරොම ඈ යක්‍ෂයනුදු දමා, අමාමහ නිවන් පැමිණිවූහු.

යක්‍ෂදමන නම් පසළොස් වන පරිච්ඡේදය නිමි.

  1. ගඳව්, ගනැව්, ගඳැ

  2. බලයෙහි

  3. මුවා ගොස්

  4. ගිය

  5. අවවාද

  6. බත් සැළියකුදු, බත් තලියකුදු-මු:

  7. ඉසුරු (රැ) පමාව

  8. මා සඳහන්

  9. නො කෙරෙයි නම්

  10. එවීමි

  11. දැකැ මහරජ

  12. විඳුති, විඳිති, වින්ති, වින්දති, වින්දැයි-මු:

  13. එපවත් කියා

  14. නුවරලද්

  15. වැදැරුම් වූ

  16. කළා නම්, කළාහු නම්,

  17. නැතිව කළාහු වෙ, නැතිවැ-මු:

  18. ඇති ව මැ

  19. මරා (රු) හුනුවාහුද, මරනුහුවූවාහු ද

  20. සැළිය

  21. රුක්මුලට

  22. මුළුපලා කලබක්, මුලපලාකඩක් ‘මුලකන්‍දං-අටුවා

  23. මෙත් හුණුවෙයි

  24. බලිදෙයි

  25. අයපිළින්

  26. හා කිය, හීගියක හිවර මු:

  27. කොවෙ මහවෙය, කොවේ හහවේහි-මු

  28. ගන්නා කෙනෙක් නම් කිසි (සේ) දැනෙයි

  29. මිනිසුන්

  30. නොගෙන

  31. ඔවුන්ට

  32. ගැඹි

  33. සාවකු-මු

  34. කිරිමවු

  35. සෙ දැකැ

  36. පෙරබත් කිස පසුබක්කිස නිමවා, පෙරබක්කිස නිමවා පෙරබත්කිස නිමවා පසුබත්කිස නොනිමි

  37. පුණු, පුහුණු, පුහුණු, කළුවර-මු

  38. ගෙදොර

  39. නො බැරි

  40. වහන්සෙ මෙහි වසන් මට නො රිස්සියි. “මා රුච්විභගවතො ඉධ වාසො’ - අටුවා

  41. කබලක්

  42. දැහැම

  43. අනෙකෙක් නොවෙයි

  44. වන්න, වන්හැ

  45. කර-මු:

  46. ගද්‍රභ නම් යක්‍ෂ ද (යක්, යක් ද)

  47. අසනපිරහ

  48. වටිනා දෑ

  49. දෙදෙනා, දෙදෙන

  50. නන් නන්

  51. යානායෙන් යානාවෙන්

  52. පියසෙක ද වැඩහුන. පියසෙක වැඩහුන ද

  53. අවජනා-මු

  54. වුහුට

  55. කැරුණෙ මහත් ලාභයහ-මු

  56. ගින්නෙහි

  57. ලුණු කැටි

  58. නො දන්ති

  59. තා දුට මනා මැ ය, තා

  60. තිමද ගලිත

  61. පැටවක්හු, පැටවක්

  62. කැණහිලක්

  63. බුන්

  64. වැන්නෙහිය

  65. කවර දෙයක්

  66. මෙසෙ කල, මෙකී කල

  67. රත්

  68. පතුළෙ

  69. ශබ්ද සතර ද සතර ශබ්ද (හ) ය

  70. ධනඤ්ජය රජු හා

  71. දිනා

  72. අතපොළා

  73. පිරි කොට, පිරිකෙව-මු

  74. මුල්දී

  75. අය

  76. නොවයි

  77. සුළඟ

  78. සිවුරැ

  79. දියවතුරෙ

  80. බටහ

  81. සෙල්

  82. මහවතුරැ අවුදු

  83. පාර

  84. දියෙන්, බ (බු) දු

  85. අඟුරු

  86. වගුළො - හැම

  87. දිවකොසොම්

  88. ගියො-හැම

  89. වගුළො හැම

  90. නෙරපමි

  91. අඳුරක්

  92. රැසින්

  93. අඳුරු වැස්සෙන්, අඳුරු වැයෙන්, අඳුරු යෙනැයි-මු:

  94. රූ

  95. ලොහොපිඩුහි-මු: “නිද්ධන්ත ලොහපිණ්ඩං විය මක්ඛිකා” - අටුවා

  96. වුවද්

  97. අකුසලපළල්, ආකුල පළල්, අකුල පළල්, ආකුල පාකුල-මු: “උපඩ්ඪරත්තිමත්තං බ්‍යාකුලමකංසු”-අටුවා

  98. කිසි කෙනෙකුන්

  99. වෙසමුණු

  100. ශක්‍රය

  101. අත්පස්හි වැ, අත්පස්හි මැ-මු:

  102. නසති, නසිති

  103. රත්කබල

  104. ගල්

  105. විසිරෙයි

  106. අප

  107. වෙලායුධය

  108. භවන, භවනයෙහි

  109. මහණට මහණනට

  110. තොප, තාපි

  111. මහණදම්හි

  112. සිටියෙ-මු:

  113. වන්නාහ

  114. ගෙන්-මු:

  115. කිකරියැ

  116. නැවැතැයි

  117. සුවචයෙන්, සුවචභාවයෙන්-මු:

  118. විමසනු

  119. එව

  120. නො කළාහුනම්

  121. ඇතියහුගෙ

  122. නොනිසි විය

  123. එබවින්

  124. පුතක්හු හට

  125. ලප්පෙක-මු:

  126. සියුම්මියුරු

  127. අතලා ගෙන

  128. වට

  129. ඉල්වන්නාහු-හැම: ‘පරියෙසමානො’-අටුවා

  130. දෙසන්නට

  131. යමක්

  132. වූවවුන්, වූවවුම්, වුව, වුබට්

  133. හෙතුයෙන්, හෙතුවෙන්

  134. විසජනුහි විසජහි

  135. පත්ල

  136. ප්‍රභාවයට, ප්‍රභායට

  137. කිසි වත්හු

  138. දක්නාහු

  139. කරන්නාහු

  140. නිස්සක්

  141. නො බරහහැම

  142. පැවරුමෙන්, පැවරුණෙන්

  143. දැන්

  144. දත්මි, දක්මි

  145. ගාථාවෙ සමහර ද

  146. කෙනෙහි

  147. බුදුන්

  148. වැඩියහොයි

  149. සිටියාහු

  150. රජකුමරුවො

  151. කෑමය, කත්මැය

  152. රිසියෙන්

  153. කියනුදු

  154. දොඅතින් දොහොතින්

  155. නුඹ වහන්සේට

  156. දරුවා

  157. සරණ සීල

  158. නැවත නවත

  159. ප.ට, පැනට, වනට

  160. දරුවා, දරුවා

  161. ලදරුහයි

  162. කරුණු

  163. යක්‍ෂයා ද

  164. වෙව්ලා

  165. බුදුහු නුවර දොරැ....මු

  166. ඉඳු

  167. දැමු දැ යැයි, දැමු දැ යි-මු:

  168. ආයුධවැසි, අධිවැසි

  169. අළව්යක් හට අළවුසුත

  170. දෙනෙ

  171. යක්‍ෂයා හට

  172. ලද්දෙහිය

  173. යවු

  174. අනාගාමි වැ

  175. ඉගෙනැ

  176. තරවනුවන්