ප්‍රාසාද සමෘද්ධිය

මෙසේ සඞ්ඛනම් චක්‍රවර්තිරජ්ජුරුවන්ගේ උත්පත්තිය දක්වා දැන් ඒ රජ්ජුරුවන් වසන්නා වූ ප්‍රාසාදසමෘද්ධිය දක්වන්නා වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.

“පාසාදො සුකතො තත්‍ථ දිබ්බවිමානසාදිසො.

පුඤ්ඤකම්මාහි නිබ්බත්තො නානාරතනවිචිත්තිතො

වෙදිකාහි පරික්ඛිත්තො සුවිභත්තො මනොරමො

පහස්සරච්චුග්ගතො සෙට්ඨො දුදික්ඛො චක්ඛුමූයතො

රඤ්ඤො මහාපනාදස්ස, පවුත්‍ථො රතනාමයො

තං යූපං උස්සාපෙත්‍වාන සංඛරාජා වසිස්සති”යි

ඒ කෙතුමතී නම් රාජධානියෙහි මහාපනාද රජ්ජුරුවන් හා සඞ්ඛනම් රජ්ජුරුවන් හා දෙදෙනාගේ කුශලකර්මයෙන් උපන්නා වූ දිව්‍යප්‍රාසාදයක් හා සමාන වූ ප්‍රාසාදයෙක් පහළවූයේය. ඒ ප්‍රාසාදය කෙබඳුද? යත්:- අනෙකප්‍රකාර සත්රුවන්කර්මාන්තයෙන් විසිතුරු වන්නේය. පබළුමය, මැණික්මය, රන්රිදීමය, ලොහිතඞ්කමය, මැසිරිගල්මය, පිළිවහණමය, වෙරළුමිණිමය, සත්රුවන්මය, පිළිපදනම් වලල්ලෙන් හා නිසවත්තෙන් වටකරන ලද්දේය. මහදොර, සුළුදොර, මහකවුළු, සීමැදුරුකවුළු, හිණිමන්පංක්ති, පියගැටපංක්ති, එක්මාල්, දෙමාල්, තුන්මාල්, සතරමාල්, පස්මාල්, කන්කලු, ආභද්‍ර ආදී වින්‍යාසයෙන් මනාකොට විභාගකරන ලද්දේය. ඒ ප්‍රාසාදය බලන්නාවූ සත්ත්‍වයන් තමාහැර අන්තැනකට යා නොදී සිත්අලවන හෙයින් ඉතා සිත්කලු වන්නේය. නභොමධ්‍යගත සූර්යමණ්ඩලය මෙන් දසදිස පැතිරෙන්නා වූ රස්මි ඇතිව ඉතා පැහැසර වන්නේය. උසින් පස්විසියොදනක් පමණ ඇත්තේය. උත්තමසත්ත්‍වයන් විසින් වාසය කටයුතු හෙයින් හා ප්‍රාර්ථනා කටයුතු හෙයින් ශ්‍රේෂ්ඨ වන්නේය. දිලියෙන්නා වූ තේජස් ඇති බැවින් ඇසරුජා වත් ඇස මධ්‍යාහ්න වේලේ වැදගත් හිරුරැසක් මෙන් ඇසකන ඇස දල්වා බැලිය නොහැක්කේය, ඒ ප්‍රාසාදය බලන්නා වූ සත්ත්‍වයන්ගේ ඇස් පැහැරගන්නාක් මෙන් තමහට විමුඛවිය නොදෙන හෙයින් පිටිපෑ යා නොදෙන්නේය.

මෙසේ මෙබඳු වූ පෙර මහාපනාද නම් රජ්ජුරුවන් වාසය කළා වූ සර්වරත්නමය වූ විචිත්‍ර වූ ප්‍රාසාදය නංවා සඞ්ඛනම් චක්‍රවර්ති රජ්ජුරුවෝ ඒ ප්‍රාසාදයෙහි වාසයකරන්නාහ. ඒ ප්‍රාසාදය සඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ට කෙසේ පහළවීද? යත්:-

යටගිය දවස බරණැස්නුවර වසන්නා වූ කූඪපතුදෙපුතු පියකෙනෙක් නුවරින් නික්ම හුණවනයට වන්නාහ. එකෙණෙහි එක් පසේබුදු කෙනකුන් වහන්සේ හිමාලවනයේ ගඳමහන්පව්වේ නන්‍දමූලක නම් ප්‍රාග්හාරයෙහි වසනසේක් සත්ත්‍වයන්ට අනුග්‍රහකරනු කැමැතිව උදෑසනම නැඟී සිට සිරුරු පිළිදැගුම් කොට අනවතප්ත ජලයෙන් මුඛය සෝධා නාළිය දැවටු වළඳා සත්යොදනක් පමණ ඇති රත්ගල්තලා මුදුනෙහි සිට ගැටවටුගන්වා ඉඳුනිල්මිණිවන් පයක් අතින් ගෙන සෘද්ධියෙන් ආකාශයට පැන නැගී පස්වණක් වලාපඞ්ක්ති මඩිමින් අවුත් බරණැස්නුවරට නුදුරු තැනකට බැස නුවරට අභිමුඛව නික්මුණුසේක. ඒ කුළුපතුදෙපුතුපිය දෙදෙන නුවරට සිඟා වඩනාවූ ඒ පසේබුදුන් වහන්සේ දැක පසඟපිහිටුවා වැඳ පාත්‍රය ගෙන ගංතෙරට වඩාගෙන ගොස් දාවල් කර්මාන්තයට ගෙන ගිය ලාබත් වළඳවා වළඳා අන්තයෙහි ස්වාමීනි කොතනකට වඩනාසේක් දැයි විචාළහ. එබස් අසා පසේබුදුන්වහන්සේ උපාසකවරුනි, ඇතවස පැමිණියේය. එසේහෙයින් වස්සාරමස වසන්ට සුදුසු වූ ස්ථානයක් පරීක්‍ෂාකොට ඇවිදුම්හයි වදාළ සේක.

එබස් අසා දෙපුතුපියෝ ස්වාමීනි! අපි නුඹවහන්සේට වසන්ට සුදුසු වූ ස්ථානයක් කරම්හයි කියා දිඹුල්දණ්ඩෙන් පාහිඳුවා හුණදණ්ඩෙන් භිත්ති බැඳ තණකොලින් උඩ සොයා මැටි ගසා දොරළි දොරබා ලා පන්සල පසේබුදුන් වහන්සේට පිළිගන්වා කුළු ආදිය විකොට කළවිටිපොළා පිදුරුසළා කරල් අවුලා ලබනලද ධාන්‍යයෙන් සාල් ගෙන බත් පිස ලත්ලත් සැටියේ මුංකොමු යවකොමු මත්ස්‍යමාංස පළාකොල ආදිවු සූපව්‍යඤ්ජන හා සමග බත් දන්දී මෙසේ තුන්මසක් මුළුල්ලෙහි උපස්ථාන කොට වස්ඉක්බිති පවරා අන්තයෙහි පසේබුදුන් වහන්සේ වඩනා අවස්ථාවෙහි තුන්සිවුරු සපයා පිළිගන්වා යවූහ. මෙම ක්‍රමයෙන් සත් ඇතවසෙක සත්පසේබුදු කෙනකුන්වහන්සේ එම පන්සල වස්වා සිව්පසයෙන් උපස්ථාන කළහ. ඒ දෙපුතුපියෝ ආයුපමණින් මනුෂ්‍යලෝකයෙහි සිට කළුරිය කොට තවුතිසා භවනයෙහි ඉපැද තුන්කෙළසැටලක්‍ෂයක් හවුරුදු මුළුල්ලෙහි මහත්වූ දිව්‍යසම්පත් අනුභවකොට ඒ ආයුෂය ගෙවා කළාවූ කුශලය ගෙවී නොගිය හෙයින් එයින් මත්තෙහි යාමදිව්‍යලෝකයෙහි ඉපද තුදුස්කෙළසතලිස් ලක්‍ෂයක් අවුරුදු මුළුල්ලෙහි මහත්වූ දිව්‍යසැපත් අනුභවකොට එහි ආයුෂය ගෙවා කළ කුශල් නො ගෙවුනුහෙයින් මත්තෙහි තුෂිත දිව්‍යලෝකෙයහි ඉපද සත්පණස්කෙළසැටලක්‍ෂයක් හවුරුදු මුළුල්ලෙහි මහත්වූ දිව්‍යසැපත් අනුභවකොට එහිත් ආයුෂය ගෙවා කළ කුශල් නො ගෙවුනු හෙයින් එයින් මත්තෙහි නිම්මාණරතී දිව්‍යලෝකයෙහි ඉපැද දෙසියතිස්කෙළසතලිස්ලක්‍ෂයක් හවුරුදු මුළුල්ලෙහි දිව්‍යඓශ්වර්ය අනුභවකොට එහිත් ආයු ගෙවා කළ කුශල් නො ගෙවන හෙයින් එයින් මත්තෙහි පරනිර්මිතවශවර්ති දිව්‍යලෝකෙයහි ඉපැද නවසියඑක්විසිකෙළසැටලක්‍ෂයක් හවුරුදු මුළුල්ලෙහි මහත්වූ දිවඉසුරු වළඳා එහිත් ආයුෂය ගෙවා කළ කුශල් ගෙවුන හෙයින් නැවත එයින් පාත නිම්මාණරතී දිව්‍යලෝකයෙහි ඉපැද එහි ආයුපමණින් දිව සැපත් අනුභවකොට එයින් පාත තුෂිත දිව්‍යලෝකෙයහි ඉපැද එහිත් ආයුපමණින් දිවසැපත් අනුභව කොට එයින් යට යාම දිව්‍යලෝකයෙහි ඉපැද එහිත් ආයුපමණින් දිවසැපත් වළඳා එයින් පාත තවුතිසා දිව්‍යලෝකයෙහි ඉපැද එහිත් ආයුපමණින් දිවඉසුරු වළඳා මෙසේ සදිව්‍යලෝකයෙහි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මහත්වූ ශ්‍රීවිභූති අනුභව කෙරෙමින් ඇවිදිනාහුය.

කීයේ මැනෝ:-

“නත්‍ථි චිත්තෙ පසන්නම්හි අප්පිකා නාම දක්ඛිණා,

තථාගතෙ වා සම්බුද්ධෙ අථවා තස්ස සාවකෙ”යි.