සුරුචි කුමරු

මෙසේ ඒ දෙපුතුපියන් ස්වර්ගසම්පත් අනුභව කෙරෙමින් සිටියදීම මහාසම්මතවංශයෙහි මියුලුනුවර, සුරුචි නම් රජ්ජුරුකෙනෙක් වූහ. ඒ රජ්ජුරුවෝ පුතනුකෙනකුන් ලැබ ඒ පුතනුවන්ටත් සුරුචිකුමාරයෝය යි කියා ම නම් තිබුවාහුය. පුරාතනයෙහි රජදරුවෝ වූකලි තමන්ගේ දරුවන් මෙසේකල්හි මොහු නිහතමානීවැ එඩි දප් නැතිව ශීතොෂ්ණක්‍ෂමව ලෝක චාරිත්‍ර දැනගන්නාහු වෙති යි, සිතා තමන්ගේ නුවර දිශාපාමොක්ආචාරීන් ඇතිව තිබැදීත් සිල්පඋගන්නා පිණිස දුරු අන්‍යරාජ්‍යයකට යවන්නාහ.

එසේහෙයින් ඒ සුරුචිරජ්ජුරුවෝත් සොළොස්හැවිරිදි පුතණුවන් සමීපයට කැඳවා ගෙන්වා ගෙන එක්පටවහන් සගලක්, පත්කුඩයක් හා මස්සෙන් දහසක් දී පුත! තක්සලානුවරට ගොස් සිල්ප උගණුවයි යවූහ. ඒ සුරුචිකුමාරයෝ යහපතැයි කියා දෙමවුපියන් වැඳ නුවරින් නික්ම ක්‍රමයෙන් තක්සලානුවරට ගොස් නුවර වාසල්දොර ශාලාවෙක උන්හ. බරණැස් රජ්ජුරුවන්ගේත් පුත්‍ර වූ බ්‍රහ්මදත්ත නම් කුමාර කෙනෙක් එසේ ගොස් සුරුචිකුමාරයන්හුන් පෝරුව මත්තෙහිම හුන්හ. ඔහු දෙදෙන ඔවුනොවුන්ගේ නම් ගොත් විචාරා විශ්වාසීව එක්වම ආචාරීන් සමීපයට ගොස් ආචාරීකොට්ඨාසය දී සිල්ප උගන්ට පටන් ගෙන නොබෝකලකින්ම සිල්ප ඉගෙන නිමවා ආචාරීන් පිළිවිස මඳතැනක් දක්වා මාර්ගයේ එක්වම ගොස් දෙමංසන්‍ධියෙහි සිට ඔවුනොවුන් වැළඳ මිත්‍රධර්මය රක්නා සඳහා කතිකාවක් කරන්නාහු ඉදින් මට පුතණු කෙනෙක් උපන්නාහු වී නම් තොපට දියණි කෙනෙක් උපන්නාහු වී නම් හෝ තොපට පුතණු කෙනෙක් මට දියණි කෙනෙක් උපන්නාහු වී නම් හෝ ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ට ආවාහ විවාහ කරම්හයි, මෙබඳු වූ කතිකාවක් කළහ. මෙසේ කතිකා කොට ඒ දෙදෙනා තම තමන්ගේ රාජ්‍යවලට ගොස් රාජ්‍යය කරන කල්හි සුරුචිමහ රජ්ජුරුවන්ට පුතණු කෙනෙක් උපන්නාහුය. උන්ට සුරුචී කුමාරයෝයයි කියාම නම් තුබූහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට දියණි කෙනෙක් උපන්නාහුය. උන්ට සුමෙධාදේවි යයි නම් තුබූහ. සුරුචිකුමාරයෝ වැඩිවිය පැමිණ තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙන ආවාහුය.

ඉක්බිත්තෙන් ඒ කුමාරයන් පියරජ්ජුරුවෝ රාජ්‍යයෙන් අභිෂේක කරනු කැමැතිව මාගේ යහළු වූ බරණැස් රජ්ජුරුවන්ගේ දියණි කෙනෙක් ඇත, ඒ කුමාරිකාවන්ම මේ කුමාරයන්ට අගමෙහෙසුන් කෙරෙමියි සිතා ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට බොහෝ පඬුරු දී අමාත්‍යයන් යවූහ. යවු අමාත්‍යයන් එන්නාට පළමු කොටම බරණැස් රජ්ජුරුවෝ බිසවුන් අතින් විචාරන්නාහු සොඳුර! ස්ත්‍රීන්ට බලවත් දුක් නම් කවරේදැයි විචාළහ. දේවයන්වහන්ස! ස්ත්‍රීන්ට සපත්නී රොෂය බලවත් දුක් වන්නේය යි කීහ. එබස් අසා රජ්ජුරුවෝ සොඳුර! එසේ වී නම් අපගේ එකම එක දියණියන් සුමෙධාදේවීන් ඒ සපත්නී රොෂ දුකින් මුදා යම් රජ්ජුරුකෙනෙක් මේ කුමාරිකාවන් තනිවම පාවාගනිත් නම් එසේවූ රජ්ජුරුකෙනෙකුන්ට පාවාදෙම්හයි කීහ. ඒ බරණැස් රජ්ජුරුවෝ සුරුචිරජ්ජුරුවන්ගේ අමාත්‍යයන් අවුත් කුමාරිකාවන්ගේ නම කීකල්හි දරුවෙනි ඒකාන්තයෙන් මා විසින් පළමු මාගේ යහළුවාණන්ට කුමාරිකා කෙනෙක් උපන්නාහු වී නම් පාවා දෙමියි ප්‍රතිඥා කෙළේ නියමය, එතකුදු වුවත් මේ කුමාරිකාවන් බොහෝ ස්ත්‍රී සමූහයා මධ්‍යයෙහි ලන්නා නොකැමැත්තම්හ. යම් රජ්ජුරු කෙනෙක් මේ කුමාරිකාවන් තනිවම පාවාගනිත් නම් එසේවූ රජ්ජුරු කෙනෙකුන්ට පාවා දෙනු කැමැත්තම්හයි කීහ.

එබස් ඇසූ අමාත්‍යයෝ තමන්ගේ රජ්ජුරුවන්ට එපවත් දන්වා යවූහ. සුරුචිරජ්ජුරුවෝ එබස් අසා අපගේ රාජ්‍යය ඉතාම මහත, සත්යොදනක් පමණ මිවුළුනුවර වන්නේය. තුන්සියයක් පමණ රාජ්‍යපරිච්ඡේදය වන්නේය, යටත්පිරිසෙයින් සොළොස් දහසක් පුරාඞ්ගනාවන් ලද මැනවැයි කියා නොකැමතිවූහ. සුරුචිකුමාරයෝ වූ කලි සුමෙධාදේවීන්ගේ රූපසම්පත්තිය අසා ශ්‍රවණසංසර්ගයෙහි බැඳී මම ඒ කුමාරිකාවන් තනිවම පාවාගනිමි. මට බොහෝ ස්ත්‍රීසමූහයාගෙන් ප්‍රයෝජන නැත්තේය. ඒ කුමාරිකාවන්ම ගෙන්වා පාවාදුන මැනවැයි මවුපිය දෙදෙනාට කියා යවූහ. එබස් අසා ඒ මවුපිය දෙදෙන සුරුචිකුමාරයන්ගේ අදහස් නො මිරිකා බොහෝ වස්තු යවා මහපෙරහරින් ගෙන්වා කුමාරයන්ට අගමෙහෙසුන් කොට එක්වම අභිෂේක කළහ. ඒ කුමාරයෝ සුරුචි නම් මහරජව දසරාජධර්මයට කෝපයක් නොකොට සතර සංග්‍රහ වස්තුවෙන් ජනරංජනය කෙරෙමින් රාජ්‍යශ්‍රී අනුභව කරන්නාහු ඒ සුමෙධාදේවීන් හා සමග ප්‍රියසංවාසයෙන් විසූහ.

ඒ සුමෙධාදේවී වූ කලි දසදහසක් අවුරුදු මුළුල්ලෙහි ඒ රජ්ජුරුවන් සමීපයෙහි වැස පුතණු කෙනකුන්වත් දියණි කෙනකුන්වත් නොලද්දාහුය. ඉක්බිත්තෙන් නුවරවාසීන් රැස්ව රාජාඞ්ගනයෙහි සිට මුරගා මේ කිමෙක්දැයි විචාළ කල්හි අනික් දෝෂයක් නැත. නුඹවහන්සේගේ රාජවංශය රක්නට සුදුසු වූ පුතණු කෙනකුන් වහන්සේ නැත, නුඹවහන්සේට ඇති සේක්, එකම එක බිසෝකෙනකුන් වහන්සේය, රජදරුවන් වහන්සේට නම් යටත්පිරිසෙයින් සොළොස් දහසක් පුරාඞ්ගනාවන් වුව මැනව, එසේ හෙයින් රජ්ජුරුවන්වහන්ස! ස්ත්‍රී සමූහයා ඇතිකළ මැනව, ඉන් එක්කෙනෙක් කුශල් ඇත්තෝ වී නම් පුතණු කෙනකුන් වහන්සේ ලබන්නෝ වේදැයි කීකල්හි දරුවෙනි! කුමක් කියවුද, අන් ස්ත්‍රීකෙනකුන් නොගෙනෙමියි ප්‍රතිඥා දී මා විසින් මේ බිසොව ගෙන්වන ලදුවාය. එසේ හෙයින් බොරුකියන්ට නොපිළිවන. මට ස්ත්‍රීසමූහයාගෙන් ප්‍රයෝජන නැතැයි රජ්ජුරුවන් විසින් ප්‍රතික්‍ෂෙප කරනලද, නුවරවාසීහු තම තමන්ගේ ගෙවලටම ගියාහුය.

සුමෙධාදේවී එබස් අසා රජ්ජුරුවන් වහන්සේ වූ කලි තමන් වහන්සේ සත්‍යවාදී බැවින් අන් ස්ත්‍රී කෙනකුන් නො ගෙන්වන සේක. මම්ම ඒ රජ්ජුරුවන් වහන්සේට ස්ත්‍රීන් ගෙන්වමි යි සිතා රජ්ජුරුවන්ට මෑණි කෙනකුන් හා සමාන වූ බිසෝතනතුරෙහි සිට තමන්ගේ අභිප්‍රායයෙන් ම රාජකන්‍යාවන් දහසෙක අමාත්‍යකන්‍යාවන් දහසෙක, ගෘහපතිකන්‍යාවන් දහසෙක, සර්ව සාධාරණ නාටකස්ත්‍රීන්ගෙන් දහසෙකැයි සාරදහසක් ස්ත්‍රීන් ගෙන්වූහ.

ඔහු හැමදෙනාත් දසදහසක් හවුරුදු මුළුල්ලෙහි රජගෙයි වැස පුතණු කෙනකුන් වත් දියණි කෙනකුන් වත් නො ලත්හ. මෙම ක්‍රමයෙන් නැවත තුන්වාරයෙක සාරදහසක් සාරදහසක් ස්ත්‍රීන් ගෙන්වූහ. ඔහු හැමදෙනාත් රජගෙයි වැස පුතණු කෙනකුන් වත් දියණි කෙනකුන් වත් නො ලත්හ. මෙසේ හැම එක්කොට සොළොස් පුරාඞ්ගනාවෝ වූහ. සතළිස් දහසක් හවුරුදු ඉකුත් වූයේය. ඒ සතළිස් දහසක් හවුරුදු සුමේධාදේවීන් තනිව විසූ දසදහසක් හවුරුදු හා සමග පනස්දහසක් හවුරුදු වන්නේය.