මෙසේ ජම්බුද්වීපයෙහි ශ්‍රී සමෘද්ධිය දක්වා දැන් ඒ ජම්බුද්වීපයෙහි මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ උත්පත්තිය දක්වන්නා වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ:-
“අජිතො නාම නාමෙන මෙත්තෙය්යො දිපදුත්තමො,
අනුබ්යජනසම්පන්නො ද්වත්තිංසවර ලක්ඛණො”.
යනාදීන් මෙසේ වදාළ සේක. කෙසේද? යත්:-
“සුප්පතිට්ඨිතපාදො හෙට්ඨාපාදතලෙසු චක්ක නි ජාතානි සහස්සරානි සනෙමිකානි සනාභිතානි සබ්බාකාර පරිපූරානි ආයතපණ්හි දීඝඞ්ගුලී මුදුතළුන හත්ථපාදො ජාලහත්ථපාදො උස්සඞ්ඛපාදො එනිජඞ්ඝො ඨිතකො අනොනමන්තො උභොහි පාණිතලෙහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති කොසොහිතවත්ථගුය්හො සුවණ්ණවණ්ණො කඤ්චනසන්නිහත්තවො සුඛුමච්ඡවි සුඛුමත්තා ඡවියා රජොජල්ලං කායෙන උපලිප්පති එකෙක ලාමො එකෙකානි ලොමානි ලොමකුපෙසු ජාතානි උඞ්ග්ගලොමො උඞ්ග්ගානි ලොමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවත්තානි පදක්ඛීණාවත්තකජාතානි බ්රහ්මුජ්ජුගත්තො සත්තුස්සදො සීහපුබ්බඞ්කායො චිතන්තරංසො නිග්රොධපරිමණ්ඩලො යාවතක්වස්සකායො තාවතක්වස්ස ව්යාමො යාවතක්වස්ස ව්යාමො තාවතක්වස්ස කායො සමවත්තක්ඛන්ධො රසග්ගකග්ගී සීහහනූ චත්තාලීසදන්තො සමදන්තො අවිවරදන්තො සුසුක්කදාඨො පහූතජිව්හො බ්රහ්මස්සරො කරවීකභාණී අභිනීලනෙත්තො ගොපඛුමොඋණ්ණාභමුකන්තරෙ ජාතා ඔදාතා මුදුතූලසන්නිභා උණ්හීසසීසො” යන මේ දෙතිස දෙතිස් මහාපුරුෂලක්ෂණ නම් වන්නේය. මෙසේ මේ දෙතිස් මහාපුරුෂලක්‍ෂණය කර්මය-කර්මසාදෘශ්‍යය-ලක්ෂණය-ලක්ෂණානාශංසය යන මේ සතර කොට්ඨාසයෙන් එකි එකී ලක්ෂණය දක්වා විස්තර කළ කල්හි මනාකොට කියන ලද්දේ නම් වෙයි. එසේ හෙයින් එහි මුඛමාත්‍රයක් දක්වා කියම්හ. ඒ කවරේද? යත්:-
ඒ භාග්‍යවත් වූ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ පළමු සසර ඇවිදිනාසේක් අපමණ වූ දහස් ගණන් ජාතියෙහි දශකුශල කර්මපථයෙහි දෘඪසමාදානය ඇතිවූසේක. කිසි ශ්‍රමණයකු විසින් හෝ, බ්‍රාහ්මණයකු විසින් හෝ, දෙවියකු විසින් හෝ, මාරයකු විසින් හෝ, බ්‍රහ්මයකු විසින් හෝ, උන්වහන්සේගේ ඒ කුශලසමාදානය හරවන්ට නො පිළිවන්නේය. එහෙයින් ස්වර්ගයෙහි ඉපද දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍යවූ වර්ණයෙන්, දිව්‍ය වූ සැපයෙන්, දිව්‍යවූ යසසින්, දිව්‍ය වූ අධිපතිභාවයෙන්, දිව්‍ය වූ රූපයෙන්, දිව්‍ය වූ ශබ්දයෙන්, දිව්‍ය වූ ගන්ධයෙන්, දිව්‍ය වූ රස ප්රෂ්ටව්යයෙන්, සෙසු දෙවියන් මැඩපවත්වමින් ප්රමාණාතික්රාන්ත වූ කාලයක් මුළුල්ලෙහි ස්වර්ග සම්පත් අනුභවකොට එයින් චුතවූසේක් එසමයෙහි ‘සුප්රතිෂ්ඨිත පාදතල ඇතිව උපදනා සේක.
අභ්‍යන්තරයෙහි රාගාදී ක්ලේශයන් විසින් වේවයි, බාහ්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණාදි පසමිතුරන් විසින් වේවයි, අලලා මැඩ පැවැත්ත නොහැකි වනසේක. මෙපමණෙකින් කර්මය කර්මසාදෘශ්‍යය - ලක්ෂණය - ලක්ෂණානෘශංසය යන මේ සතර සංක්ෂේපයෙන් කියන ලද්දේය.
තවද එහි කර්මය නම්:- ඒ මෛත්‍රෙය බුදුන් විසින් සොළසාසංඛ්යකප්ලක්ෂයක් මුළුල්ලෙහි දෘඪතරව කළාවූ දානාදි කුශල කර්මයය. කර්මශාදෘශ්යය නම්:- දෘඪතරව කළබව දෙවිමිනිසුන් සහිත ලෝකවාසීහු දනිත්වයි කියන්නාක් මෙන් උපන්නාවූ සුප්රතිෂ්ඨිත මහාපුරුෂලක්‍ෂණය. ලක්ෂණනම්:- සුප්රතිෂ්ඨිත පාදයන් ඇතිබවය. ලක්ෂණානෘශංසනම්:- පසමිතුරන් විසින් මැඩපැවැත්ත නොහැකි බවය. මේ සතර කොට්ඨාසය සියලු මහාපුරුෂලක්ෂණයටම යොදා දතයුත්තේය.
ඒ භාග්‍යවත්වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මාන්තරයෙහි සියලු ජනයාට සැප එළවූ සේක. උද්වෙග-භය-සන්ත්‍රාස නූපදවා ධාර්මික වූ රක්ෂාවරණගුප්තිය කොට සියලු සත්ත්වයන්ට අභය දානය දී පිරිවරසහිත මහදන් දුන් සේක. එහෙයින් අනන්තා පරියන්ත කාලයක් මුළුල්ලෙහි ස්වර්ග සැප අනුභව කොට එසමයෙහි චක්රලක්ෂණයෙන් චිහ්නිත වූ පාදතල ඇතිවන සේක.
භික්ෂු - භික්ෂුණී - උපාසක - උපාසිකා - දිව්‍ය - මනුෂ්‍ය - අසුර - ගන්ධර්ව - නාග -සුපර්ණාදීහු ඒ භාග්‍යවත්වූ සර්වඥයන් වහන්සේට පිරිවර වන්නාහ. ඒ ලෝකනායක වූ සර්වඥයන් වහන්සේ පූර්ව ජන්මාන්තරයෙහි ප්‍රාණඝාතයෙන් වැළකීසේක. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතයෙන් අනුකම්පා කළසේක. එහෙයින් උන්වහන්සේට දික්විළුම් දික්ඇඟිලි ඇති බවය, බ්‍රහ්මයාට බඳු සෘජවූගාත්ර ඇතිබවය යන මේ මහාපුරුෂලක්ෂණ තුන ඇතිවන්නේය. දීර්ඝායුෂ්ක ද වන සේක. කිසි පසමිතුරු කෙනෙකුන් විසින් උපන් තැන් පටන් පිරිනිවන් පානාදෑතුරෙහි උන්වහන්සේ ජීවිතයෙන් තොරකරන්ට නො පිළිවන්වන්නේය.
ඒ ලෝකපාල සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි ප්රණීතාහාරයන් දන්දුන් සේක. එහෙයින් උන්වහන්සේට සත්තුස්සද නම් මහාපුරුෂලක්‍ෂණය ඇතිවන්නේය ප්රණීතාහාරයන් ලබන සුලුසේක.
ඒ ලොකෙක ශරණ වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි දාන-ප්‍රියවචන-අර්ථචර්යා-සමානාත්මතා යන සතර සංග්‍රහවස්තු වෙන ජනසංග්‍රහය කළසේක. එහෙයින් උන්වහන්සේට ජාල හස්තපාද ඇති බවය, මුදුතළුන හස්තපාද ඇතිබවය, යන මේ මහාපුරුෂලක්ෂණ දෙක ඇතිවන්නේය. සුවිනීත පිරිවරජනයන් ද ඇතිවන සේක.
ඒ ලෝකාලොකදිවාකර වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි බොහෝ ජනයාට අර්ථයෙන් ධර්මයෙන් යුක්ත වූ බස් කී සේක. හිතසැප එළවූ සේක. ධර්මයාගය කළසේක. එහෙයින් උන්වහන්සේට උත්සඞ්ඛපාද ඇති බවය. ඌර්ධවාග්රලොම ඇති බවය යන මේ මහාපුරුෂලක්ෂණ දෙක ඇතිවන්නේය. ශ්‍රමණයන්ට සුදුසු වූ, ශ්රමණයන් විසින් ප්‍රයෝජන වින්දයුතු වූ ශ්රමණපරිෂ්කාරයෙක් ඇත්නම් වහා ලබනසුලු සේක. සියලු සත්ත්වයන්ට අග්‍රවන සේක.
ඒ ලොකෛකප්රදීප වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි සියලු සත්ත්වයෝ සිවුසැටසිල්පය හා අෂ්ටාදශවිද්යාස්ථාන කෙසේ නම් වහා දැනගනිද්දෝ හෝ කෙසේ නම් වහා ඉගෙනගනිද්දෝ හෝයි සිතා ශිල්පශාස්ත්රය සකස් කොට ප්‍රගුණ කැරවූසේක. එහෙයින් උන් වහන්සේට එනිජඞ්ඝ නම් මේ මහාපුරුෂලක්‍ෂණය ඇති වන්නේය.
ඒ ලොකෛක නායක වූ සර්වඥයන් වහන්සේ අතීතභවයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරා එළඹ වහන්සේ? කුසල් කවරේද? අකුසල් කවරේද? සාවද්‍ය කවරේද? නිරවද්‍ය කවරේද? කුමක් සේවනය කටයුතුද? කුමක් සේවනය නොකටයුතුද? කුමක් කළ කල මට බොහෝ කලක් අවැඩ හා දුක්වේද? කුමක් කළ කල මට බොහෝ කලක් වැඩ හා සැප වේද යනාදීන් විචාරණ සුලු සේක. එහෙයින් ඒ සර්වඥයන් වහ්නසේ සියුම්වූඡවි ඇති ව උපදනා සේක. මහත් වූ ප්‍රඥාවත් ඇතිසේක. සියලු සත්ත්වයන් අතුරෙන් කිසිවෙක් ඒ සර්වඥයන් වහන්සේට ප්‍රඥාවෙන් සදෘශ නො වන්නේය. ඒ ලොකෛකපුණ්ය වූ සර්වඥයන් වහන්සේ අතීත ජන්මයෙහි සත්ත්වයන් කෙරෙහි ක්‍රෝධ නොකළ සේක. උපායාස බහුල නුවූසේක. බොහෝ ආක්‍රෝශ පරිභව බණිමින් සිටියදීත් කෝපයෙන් සිත් ගටා නො ගත්සේක. සීන් මොළොක් ආස්තරණ පාපුරණාදියත් දුන්සේක. එහෙයින් උන්වහන්සේ ස්වර්ණවර්ණ වනසේක. සීන් මොළොක් ආස්තරණ පාපුරණාදියත් ලබන සේක. ඒ ලොකෛයික බන්ධු වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි බොහෝ කලක් නොරක ගොස් වැදහුන් බොහෝ කලක් ගමින් බැහැර ගොස්වැදහුන් නෑයන් මිත්‍රයන් විශ්වාසීන් යහළුවන් උන් උන් ඒ ඒ තැනින් ගෙනහැර තමන් තමන්ගේ නෑයන් හා සමග එක්කළ සේක. ඔවුනොවුන් කෙරෙහි මෙත් සිත් උපදවා සමග සතුටුකැරවූසේක. එහෙයින් උන්වහන්සේ කොෂයෙන්ව්යවහිතවූ වස්ත්රගුහ්ය ඇතිව උපදනාසේක. බොහෝ පුත්‍ර සම්පත් ඇතිවන සේක.
ඒ කරුණාමය වූ සර්වඥයන් වහ්නසේ පූර්වජන්මයෙහි මහාජන සංග්‍රහය පරීක්ෂාකරනසේක් මේ පුරුෂ මෙනම් සත්කාරයක් විදගන්නට සුදුසුවන්නේය යි පුරුෂ වීශෙෂානුරූප සත්කාර සම්මාන කළසේක. එහෙයින් උන්වහන්සේ නිග්රොධපරිමණ්ඩලද වන සේක. සිට නොනැමී ම දෙඅත්ලෙන් දෙදන අතගා පිරිමදිනා සේක. යන මේ මහාපුරුෂ ලක්ෂණ දෙකින් සමන්විත සේක. ආඪ්‍යව මහත්ධනීව මහත්වූ උපභෝග පරිභෝගත් ඇතිවන සේක.
එ් ප්රඥාදීපවූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි මේ සියලු සත්ත්වයෝ ශ්‍රද්ධායෙන් කෙසේනම් වැඩෙද් දෝහෝ ශීලයෙන් ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, ධනධාන්‍යයෙන්, ඥාතිමිත්ර ජනයන්ගෙන් කෙසේනම් වැඩෙද්දෝහෝයි බොහෝ ජනයාට වැඩ කිරීමට නිරතවූ සිත් ඇතිව උපකාර කළසේක. එහෙයින් උන්වහන්සේට සිංහයාගේ ඌර්ධවශරීරය බඳු ශරීර ඇති බවය. සම්පූර්ණ වූ අන්තරාංශ ඇති බවය, සමව වටවූ ග්‍රීවා ඇති බවය, යන මේ මහා පුරුෂලක්ෂණ තුන ඇතිවන්නේය, සියලු සම්පත්තීන් නොපිරිහෙන්නාවූ ස්වභාවත් ඇතිසේක.
ඒ ගුණසාර වූ සර්වඥයන් වහන්සේ පෙර සියලු සත්ත්වයන්ට අතින් පයින් වත් කැටමුගුරු ආදියෙන් වත් ශස්ත්‍රයෙන් වත් මැරීම් තැළීම් කැපීම් ආදි වශයෙන් කිසි හිංසාපීඩාවක් නො කළ සේක. එහෙයින් උන්වහන්සේ එසමයෙහි රසග්ගසග්ගි වන සේක. නිර්ව්යාධිද වනසේක.
ඒ ජගදානන්දලොචන වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි ප්රියචක්ෂුසින් බොහෝ ජනයා බැලූසේක. එහෙයින් උන්වහන්සේට අභිනීලනෙත්ර ඇතිබවය, ගොපක්ෂ්ම ඇතිබවය යන මේ මහාපුරුෂලක්ෂණ දෙක ඇතිවන්නේය, ප්රියදර්ශනීයත් වන සේක.
ඒ ධර්මප්‍රදීප වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි බොහෝ ජනයන් කුශලධර්මයෙහි පෙරදැරිකොට හැසිරවූසේක. එහෙයින් උන්වහන්සේට උෂ්ණිෂශීර්ෂ නම් මහාපුරුෂලක්‍ෂණය ඇති වන්නේය. මහාජනයෝත් උන්වහන්සේට අනුව පවත්නාහ.
ඒ පිරිසිදු වූ අදහස් ඇති සර්වඥයන් වහන්සේ පූර්වජන්මාන්තරවල මෘෂාවාදයෙන් වැළකී සත්‍යවාදීවූ සේක. එහෙයින් උන්වහන්සේට එකෙකලොම බවය. දෙබැම අතුරෙහි ඌර්ණරොමධාතුව අටගැන්මය යන මේ මහාපුරුෂලක්ෂණ දෙක ඇති වන්නේය. උන් වහන්සේට මහාජනයෝත් සමීපවර්තී වන්නාහ.
ඒ ත්රෛලොක්යතිලකවූ සර්වඥයන් වහන්සේ පූර්වභවයෙහි ප්‍රිය ශූන්‍ය වචනයෙන් වැළකී සේක. කේලාමින් ඔවුනොවුන් හා බිඳුනු සත්ත්වයන් සමග කළ සේක. සමඟවූ සත්ත්වයන් සන්ධානය කරවූ සේක. සමඟ බැව්හි ඇලුනුසේක. සමඟ කරවන්ට සුදුසු බස් කී සේක. එහෙයින් උන්වහන්සේට චත්තාළීස දන්ත බවය අවිවරදන්ත බවය යන මේ මහාපුරුෂලක්ෂණ දෙක ඇතිවන්නේය. භෙදයකට පමුණුවාලිය නොහැකි පර්ෂදදු ඇතිවනසේක.
ඒ සර්වකාමදදවූ සර්වඥයන් වහන්සේ පූර්වභවයෙහි ඵරුෂවාක්‍යයෙන් වැළකීසේක. ප්රේමනීයවූ සිත්කලු වූ බොහෝජනයාට කන්කලුවූ බස් කියනසේක. එහෙයින් උන්වහන්සේට මොළොක් පළල් දිව් ඇතිබවය, බ්රහ්මස්වර බවය, යන මේ මහා පුරුෂලක්ෂණදෙක ඇතිවන්නේය. දෙව්මිනිසුන් විසින් අදහා ගතහැකි බස් ඇතිවනසේක.
ඒ ලෝකස්වාමි වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි සම්පප්‍රලාපයෙන් වැළකී ස්වර්ග මොක්ෂයට බාධක වූ නිෂ්ප්රයෝජන වූ බස් නොකියා විද්‍යමාන වූ නිධානවත් වූ බස් කියන සුලු සේක. එහෙයින් උන්වහන්සේට සීහහනු නම් පුරුෂලක්ෂණ වන්නේය. අභ්‍යන්තර බාහ්‍යවූ පසමිතුරන් විසින් නසාලිය නො හැකි සේක.
ඒ ලෝකප්රද්යොතවූ සර්වඥයන් වහන්සේ පෙර සසර ඇවිදිනාසේක් අනන්තාපරියන්තවූ දහස්ගණන් ජාතිවල මිථ්‍යාආජීවය දුරුකොට සම්‍යක් ආජීවයෙන් ජීවිකාව කළසේක. තුලාකූට කංසකූට මාර කූටාදියෙන් වැළකී සේක. එහෙයින් ස්වර්ග ලෝකයෙහි ඉපද දිව්‍යවූ ආයුෂයෙන්, දිව්‍යවූ වර්ණයෙන්, දිව්‍යවූ සැපයෙන්, දිව්‍යවූ යසසින්, දිව්‍යවූ අධිපතිභාවයෙන්, දිව්‍යවූ රූපයෙන්, දිව්‍යවූ ශබ්දයෙන්, දිව්‍යවූ ගන්ධයෙන්, දිව්‍යවූ රසයෙන්, දිව්‍යවූ ප්රෂ්ටව්යයෙන්, සෙසුදෙවියන් මැඩපැවැත ප්රමාණාතිකක්රාන්තවූ කාලයක් මුළුල්ලෙහි දිව්යමනුෂ්යසම්පත් අනුභවකොට ගියාවූ සර්වඥයන් වහන්සේට සමදන්තබවය සුශූක්ලදංෂ්ට්රා ඇතිබවය යන මේ මහාපුරුෂලක්ෂණ දෙක ඇතිවන්නේය. පිරිසිදුවූ නිර්මලපර්ෂදුත් ඇතිවනසේක.
මෙපමණෙකින් මහාපුරුෂලක්ෂණයන්ගේ කර්මය. කර්මසාදෘශ්‍යය, ලක්ෂණය, ලක්ෂණානාශංසය යන චතුර්විධ කොට්ඨාසය විස්තර හෙයින් කියන ලද්දේය. මෙසේ මෙබඳු වූ දෙතිස්මහා පුරුෂලක්ෂණයෙන් හා චිතඞ්ගුලිතාදි අසූඅනුව්‍යඤ්ජනයෙන් යුක්තවූ ද්වීපදොත්තමවූ ගිහීකල “අජිතකුමාර” යන නම් ඇත. බුදුවූ කල “මෛත්‍රෙය” යන නම් ඇති ඒ භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ අනාගතයෙහි යථෝක්ත වූ ශ්‍රීසමෘද්ධියෙන් යුක්තව ඒ කෙතුමතී නම් රාජධානියෙහි උපදනාසේක. එසේහෙයින් වදාළහ බුදුහු:-
“අජිතොනාම නාමෙන මෙත්තෙය්යො දිපදුත්තමො,
අනුබ්යඤ්ජනසම්පන්නො ද්වත්තිංසවරලක්ඛණො”යි.
තවද ඒ සර්වඥයන් වහන්සේ කර්මාන්ත කොට නිමවා දිවිදළින් ඔප්නැඟූ මටසිළුටු කරනලද ජාම්බොනදස්වර්ණයක් වැනි වූ රන්වන් ශරීර ඇතිවනසේක. සියුම් ඡවි ඇතිබැවින් හා රජස්ධූලිකය නො ඇලෙන බැවින් පිරිසිදු නිර්මල ශරීර ඇතිවනසේක. රජස් ආදිය කය නො ඇලෙන බැවින්ම සොඳුරු වූ සියලු දස දිග පැතිරෙන්නා වූ ශරීරාලෝක ඇතිවනසේක. සොඳුරු වූ ශරීරාලෝක ඇති බැවින් තේජස්වී වූ ශරීරශෝභා දරණ සේක. උතුම් වූ යසස් හා විශිෂ්ට වූ පිරිවර ඇති බවට පැමිණෙන සේක. කුශලය, ප්‍රඥාය, ශරීරශෝභාය යනාදිවූ ශ්‍රී සමෘද්ධිය ඇතිවන බැවින් ශ්‍රීමත් වනසේක. උඛ්තප්රකාර ශ්‍රී සමෘද්ධියෙහි පිහිටි බැවින් විශිෂ්ට වූ පූජ්‍ය වූ අධික රූප ශ්‍රී ඇතිවන සේක. ආයුෂ්කල්පය මුළුල්ලෙහිත් බලන්නා වූ සත්ත්වයන්ට අතෘප්තිකරවූ සොඳුරු වූ දැකුම් ඇති වන බැවින් සුදර්ශනීය වනසේක. මහත්වූ සියලු ලෝකානුභාවය මැඩපවත්වන්නා වූ සෘද්ධ්යානුභාවය හා ප්රතාපතේජස් ඇතිවන බැවින් මහානුභාව වන සේක. තමන් වහන්සේ හා සමාන කෙනෙකුන් ලෝකයෙහි නැතිවන බැවින් අසමසම සේක. උභයකුලපාරිශුද්ධ වී සියලු ලෝවැස්සන් විසින් පිදියයුතු වූ මහානුභාව සම්පන්න වූ මහත්වූ භෝග සම්පත් ආදියෙන් යුක්තවූ පුරොහිත බ්‍රාහ්මණවංශයෙහි උපදනාසේක.
තවද ඒ අජිත නම් මහබෝසතාණන් නිධානගත වූ මහත්වූ ධනය අපරියන්ත වන බැවින් ධනේශ්වර වන්නාහ. සත්ත්වයන් විසින් අනවරතයෙන් අනුභව කටයුතු වූ උපභෝග පරිභෝග සංඛ්‍යාත මහත්වූ වස්තු රාශිය ඇතිවන බැවින් මහත්වූ භෝග සම්පත් ඇතිවන්නාහ. වන්දනමානනාදි වශයෙන් රජදරුවන්ගෙන් සම්භාවනා ලබන්නට සුදුසු ප්රශස්තකුලයෙහි උපදනා හෙයින් උතුම් වූ කුල ඇතිවන්නාහ. තෙපි මෙබඳු ජාතියක් ඇතිවාදැයි කීකල්හි තොපිත් මෙබඳු ජාතියක් ඇත්තවාදැයි නැවත පෙරළා කුලකියා ජාතිගටා බැණ පසු බාලිය නොහැකිවූ බොහෝ කලක් උභයකුලපරිශුද්ධව ආවාවූ උතුම්වූ බ්‍රාහ්මණවංශයෙහි ඒ අජිත නම් මහබෝසතාණෝ යථෝක්ත වූ ශ්‍රී සමෘද්ධියෙන් යුක්තව උපදනාහ.