කුහකයාගේ වාසනාදෝෂ

කුහකයාගේ වාසනාදෝෂ කවරේද? යත්:-

සැවැත්නුවර වසි එක් කුලපුත්‍රයෙක් බුදුසස්නෙහි මහණව සතරපසය සඳහා තුන්වැදෑරුම් කොට කුහකවත් පුරන්නේය. බුදුහු ඔහු කුහක කමින් ජීවිකාව කරන බව අසා මේ දැන් මතු නොවෙයි; පූර්වභවයෙහිදු කොහොන්කම් කොට ජීවත්වූයේ ම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

අතීතයෙහි බරණැස් රජ්ජුරුවන්ගේ පුරොහිත බ්‍රාහ්මණයාට දාව අවශ්‍යව බඩහොත් උද්දාලක නම් කුමාරයෙක් තක්සලානුවරට ගොස් ශාස්ත්‍ර ඉගෙන පසල්දනව් වෙහි තපස්චීවරයන් සමීපයෙහි පැවිදිව උන්ට ආචාරීව එක්දවසක් ඒ තපස් චීවරයන්ට කියන්නේ වනමුල් වනඵලාඵල අනුභව කොට අරණ්‍යයෙහි වාසය කරන්ට සැප නොවෙයි, මිනිසුන් වසන තැන වසම්හයි කීය, තපස්චීවරයෝ කියන්නාහු මනුෂ්‍යයෝ දන්දී බණඅස්නු කැමැත්තෝය, ප්‍රශ්නවිචාරනු කැමැත්තෝය, එසේ හෙයින් අපි ඒ ප්‍රශ්න විසර්ජනාදිය කිරීමෙහි භයින් ඔබ නොයම්හයි කීහ.

එබස් අසා තාපස කියන්නේ තෙපි හැම බණකීම් ආදියට බය නො කරව, සක්විතිරජෙක්වී නමුත් ඔහු සිත්ගෙන බණ කියන්ට මට බාරවන්නේයයි කියා, ඒ සියලු තපස්චීවරයන් කැඳවාගෙන සැරිසරා ඇවිදිමින් බරණැස් නුවර උයනට ගොස් එහි ලැග පළමුවන දවස් නුවර වාසල්දොර ගමකට වැද ලැග දෙවෙනි දවස් අවුත් නුවරට වන්නේය. මනුෂ්‍යයෝ තපස්චීවරයන් දැක දන්දී ධර්මිෂ්ට තපස්චීවරයෝ අපගේ නුවරට වැඩියහ. ඔහු බණ කියති. පැන විසඳතියි ගොස් රජ්ජුරුවන්ට දන්වූහ. රජ්ජුරුවෝ ඔවුන් බස් අසා තපස්චීවරයන් දක්නට යෙමියි, කිවූය. එපවත් උද්දාල තාපසයා අසා අවශේෂ තපස්චීවරයන් කැඳවා කියන්නේ රජ්ජුරුවෝ අපහැම දකින්ට එත්ල, ඉසුරන් එක්දවසක් සිත්ගත්කල දිවිපමණින් ජීවත්විය හැක්ක, එසේ හෙයින් සමහරුන් වවුල්තපස් කළ මැනව, සමහරුන් කටුමැස්සේ වැදහොත මැනව, සමහරුන් හිරමුදුනේ සිටිවේලෙහි සතරදිග ගිනිමැල සතරක් බැඳ ගිනිමැල සතර මැද්දේ වැදහෙව. මුදුනේ හිරුරැසින් හා සතරදිග ගිනිරැසින් තැවී පඤ්චතාපතප්පනය කළ මැනව, සමහරුන් උදෑසනම කරවටක් දියට බැස සිටිය මැනව. සමහරුන් ඒ ඒ තැන හිඳ මන්ත්‍රජල්පනය කළ මැනවැයි, යොදා තෙමේ නුවණැති ප්‍රගුණ කරනලද වාසස්ථාන ඇති තපස්චීවරයන් සත්අටදෙනකු හැරගෙන යහපත් දණ්ඩාසනයක විසිතුරු බණවස්නක් අතුට විසිතුරු පොත් තබාගෙන අතවැස්සන් පිරිවරාගෙන යහපත් හස්නෙක හුන්නේය. එකෙණෙහි රජ්ජුරුවෝ පුරොහිත බ්‍රාහ්මණයා හා සමග මහ පිරිවරින් උයනට ගොස් මිථ්‍යාතපස්කරන්නවුන් දැක පැහැද උද්දාලකයා කරා ගොස් සුවදුක් කථාකොට එකත්පස්ව හිඳ සතුටු සිතින් ඔවුන්ට ප්‍රශංසාකොට ගුණ කිවූය. එසඳ පුරොහිත බ්‍රාහ්මණයා රජ්ජුරුවන්ට කියන්නේ, මහරජ්ජුරුවන් වහන්ස! මූහැමදෙන සිල්වත් තපස්චීවර කෙනෙක් නොවෙති, ඇති නුගුණ සඟවා නැතිගුණ අඟවා දඹදිව්වැසි සත්ත්‍වයන් තමන්ගේ කුහක ප්‍රතිපත්තියෙන් නසති. එසේ හෙයින් මොවුන් හැමගේ අවුල්හැර පවුල් උදුරාගෙන ගිහි කැරැවුව මැනැවැයි කීය. රජ්ජුරුවෝ යහපතැයි ගිවිස ඔවුන් හැමදෙන ගිහිකරවා උද්දාලකයාට අනුපුරෝහිත තනතුරුදී, අවශේෂයන්ට කඩුපළගදී, සෙවකකොට හැරගෙන නුවරට වන්හ.

මෙහි විස්තර පකිණ්ණකනිපාතයෙහි උද්දාලජාතකයෙන් දතයුත්තේය. සර්වඥයන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා එසමයෙහි උද්දාලකයා නම් දැන් මේ කුහක මහණය, රජ්ජුරුවෝ නම් ආනන්‍දස්ථවිරයෝය, පුරොහිතබ්‍රාහ්මණයා නම් තිලෝගුරු බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

මේ කුහකයාගේ වාසනාදෝෂය වන්නේය.