ආයු සමෘද්ධිය

මෙසේ ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේට කාමාවචරදේවතාදීන් විසින් කරන්නාවූ රන් රිදී ඇගෑ ආදිවූ පූජාවිශේෂය දක්වා දැන් එසමයෙහි උපන් සත්ත්‍වයන්ගේ යශස් සැප ආයු-වර්ණ-බල-සමෘද්ධි ආදිය දක්වන්නාවූ සර්වඥයන්වහන්සේ මෙසේ වදාළ සේක.

“මහායසස්සුඛෙනාපි ආයුවණ්ණබලෙන ච,

දිබ්බසම්පත්තිවාතෙසං මනුස්සානං භවිස්සති.

-

අනුභොත්‍වාකාමසුඛං අද්ධානං යාව තිච්ඡතං,

තෙපච්ඡාසුඛිතා යෙව නිබ්බිසන්තායුසංඛසා.

-

අසීතිවස්සසහස්සානි තදා ආයු භවිස්සරෙ,

තාවතා තිට්ඨමානො සො තාරෙස්සති බහුං ජනං.

-

පරිපක්කමානසෙ සත්තෙ බොධයිත්‍වාන සබ්බසො,

අවසෙසතිට්ඨමානං මග්ගාමග්ගානුසාසිය.

-

ධම්මුක්තං ධම්මනාවංච ධම්මාදාසඤ්ච ඔසධං,

සක්කච්චෙනහි සො සත්‍ථා ඨපෙත්‍වා ආයතිං ජනෙ.

-

සද්ධිං සාවකසඞ්ඝෙන කතකිච්චෙන තාදිනා,

ජලිත්‍වා අග්ගික්ඛන්‍ධොවනිබ්බායිස්සති සො ජිනො.

-

පරිනිබ්බුතම්හි සම්බුද්ධෙ සාසනං තස්ස වාහති,

වස්සසතසහස්සානි ආසීතිඤ්ච සහස්සතො,

තතො පරං අන්තරධානං ලොකෙ හෙස්සති දාරුණං”යි.

එසමයෙහි උපන්නාවූ සියලු මනුෂ්‍යයන්ට යසපිරිවර සැපයෙන්ද, ආයු වර්ණ බලසමෘද්ධියෙන්ද, දිව්‍යසම්පත්තියක් මෙන් අඩුවෙන් නොවන්නේය. මෙබඳුවූ සියලු පඤ්චකාම සැපය කැමැති පරිද්දෙන් අනුභව කොට බොහෝ කලක් ඉක්මවා සුඛිත මුදිතවූ සියලු සත්ත්‍වයෝ එම සැපයෙන් නො පිරිහී පසුව ආයුකෙළවර මරණ මඤ්චකයෙහි වැදහොත්තාහු සම්පත්තියෙහි උකටලී වන්නාහ. එසමයෙහි උපන් සත්ත්‍වයන්ට අසූදහසක් අවුරුද්දට ආයුෂය වන්නේය. ඒතාක් කල් මුළුල්ලෙහි ජීවත්ව වැඩහිඳිනාවූ ඒ මෛත්‍රෙය සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ජනසමූහයා සංසාරසාගරයෙන් එතර කොට නිර්වාණ ක්‍ෂෙමභූමියට පමුණුවනසේක.

තවද ඥානපරිපාකගතවූ සියුම් නුවණැති සත්ත්‍වයන්ට සර්වප්‍රකාරයෙන් චතුස්සත්‍යාවබෝධය කරවා ඥානපරිපාකයට නොපැමිණි නුවණ මද චතුස්සත්‍යාවබෝධය නොකළ අවශේෂ සත්ත්‍වයන්ට මේ නිර්වාණගාමී මාර්ගය මේ අමාර්ගයයි මාර්ගදෙක වදාරා අවිද්‍යා නැමැති අඳුරු දුරුකරන්නාවූ ප්‍රඥා නැමැති ආලෝකය ප්‍රකාශ කරන්නාවූ ධර්ම නැමැති ප්‍රදීපය ද සංසාර නැමැති සාගරයෙන් එතරවන පිණිස ධර්ම නැමැති මහනැවද, කුශල ධර්ම නැමැති මහමුහුන නැගි අකුශලධර්ම නැමැති කුරුලෑ ආදිය හරණ පිණිස ඒ මුඛපිළිකාදිය ප්‍රකාශකරන්නාවූ අර්හත් ඵලය කෙළවරකොට ඇති විදර්ශනා සහිතවූ ධර්ම නැමැති කැටපතද, ක්ලේශව්‍යාධිය සන්හිඳුවන පිණිස ඒ ක්ලේශරෝගය නසන්නාවූ ධර්ම නැමැති ඖෂධයද, දේශනා වශයෙන් සකස් කොට ආදරයෙන් අනාගතයෙහි උපදනා භික්‍ෂූන්වහන්සේට වැඩ පිණිස තබා චතුරාර්යසත්‍යයෙහි සොළොස් ආකාරයකින් කළමනා කෘත්‍යය කොට නිමවූ හෙයින් කෘතකෘත්‍යවූ ඉෂ්ටානිෂ්ටයෙහි නිර්විකාරිවූ ශ්‍රාවකසඞ්ඝයා වහන්සේ හා සමග හාත්පසින් අන්‍ධකාර දුරුකොට ආලෝක දක්වා පර්වතමස්තකයෙක් හි ඇවිල නිවීගිය මහත්වූ වහ්නිස්කන්‍ධයක් මෙන් සියලු ලෝකවාසී සත්ත්‍වයන්ගේ සන්තානගතවූ ක්ලේශ නැමැති අන්‍ධකාරය දුරුකොට සර්වඥතාඥාන නැමැති ආලෝකය දක්වා ශාසන නැමැති පර්වතමස්තකයෙහි අනන්තාපරිමාණවූ බුද්ධශ්‍රීන් දිලිහී ඒ මෛත්‍රෙයසම්‍යක්සම්බුද්ධ නැමැති වහ්නිස්කන්‍ධයාණන් වහන්සේ නිරුපධිශේෂ නිර්වාණධාතුවෙන් පිරිනිවන් පෑ වදාරණසේක.

ඒ සර්වඥයන්වහන්සේ පිරිනිවී කල්හි උන්වහන්සේගේ ශාසනය එක්ලක්‍ෂ අසූදහසක් අවුරුදු මුළුල්ලෙහි පැවැත අන්තර්ධාන වන්නේය. සියලු දසදහසක් සක්වළ එකාන්‍ධකාර කොට ශාසනාන්තර්ධානය වූකල්හි එයින් මත්තේ ලෝකයේ දශකුශල කර්මපථය පිරිහෙන්ට වන් කල්හි දරුණුවූ කර්කශ වූ දුඃඛවිශේෂය උපදවන්නාවූ අකුශලධර්මය පහළවන්නේය.