ටීකා යනු මොනවාද?

අටුවාවන්ගේ ඇති අප්‍රකට වචන පැහැදිලි කිරීමටත් අටුවාවේ නොදැක්වූ පෙළ පාඨ පැහැදිලි කිරීමටත් ටීකා ග්‍රන්ථ රචනා විය. ටීකා ඇදුරුපාණන් වහන්සේලා සිදුකලේ තම පුද්ගලික මත පොත්වල ලිවීම නොව බුද්ධ මතය පැහැදිලිව ඉදිරිපත් කිරීමයි. පෙලෙහි හා අටුවාවේ ඇතුලත් නොවූ නමුත් ආචාර්ය පරම්පරාවෙන් පැමිණි ධර්මවිනය පිළිබඳ විනිශ්චයන් බුදුරජුන්ගේ අදහස පරිදිම දැක්වීම ටීකාචාර්යන් වහන්සේලාගේ අරමුණයි. මෙම ග්‍රන්ථ රචනා කළේ ද පෙළ - අටුවා පිළිබඳ හසල දැනුමක් ඇති ත්‍රිපිටකධාරී උතුමන් විසිනි. ප්‍රධාන ටීකා ග්‍රන්ථ වලිනුත් බොහොමයක් මෙම ලක්දිවදී ලියැවීම මෙරටට කීර්තියක් ලබාදුන් තවත් කරුණකි. අටුවාවෙන් තොරව පෙළ හරිහැටි තේරුම්ගත නොහැකි වන්නා සේම අටුවාව තේරුම් ගැනීමේදී ද ටීකාවේ ප්‍රයෝජනය අතිමහත්ය. අඛණ්ඩ ආචාර්ය පරම්පරාවක් දැක්වීමට නොමැති ‍මෙවන් යුගයක, දහම් කරුණු නිවැරදිව තේරුම් ගැනීමේදී ඉතා ශක්තිමත්ව ත්‍රිවිධ ශාසනයම පිහිටි යුග වලදී ලියැවුණු ටීකාදී ග්‍රන්ථවලින් ලැබෙන පිහිට අතිවිශාලය. ඊට උදාහරණ කීපයක් මෙසේ දක්වමු.

1. විනය පිටකයේ දෙවැනි පාරාජිකාව ගැන දක්වන තැන පෙළෙහි පරිජි වටිනාකම දක්වන්නේ “තථාරූපං නාම පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා” (එබඳු පරිජිවන අගය නම් පාදයක් හෝ පාදයක අගය ඇති යමක් හෝ පාදයකට වැඩි අගය ඇති යමක් හෝ). යනුවෙනි. මෙතැනදී පෙළෙහි පාදය යනු කුමක්දැයි දක්වා නැත.

විනය අටුවාවේදී පාදය යනු නීලකහාපනයෙන් හතරෙන් කොටසක් බව (එතෙන ලක්‌ඛණෙන සබ්‌බජනපදෙසු කහාපණස්‌ස චතුත්‌ථො භාගො ‘‘පාදො’’ති වෙදිතබ්‌බො. සො ච ඛො පොරාණස්‌ස නීලකහාපණස්‌ස වසෙන) දක්වා ඇතත්. එහි වටිනාකම ගණනය කරන අයුරු දක්වා නැත.

නමුත් විමතිවිනොදනී ටීකාවේදී එහි වටිනාකම ගණනය කරන අයුරු පැහැදිලිව දක්වා ඇත. එනම් පිරිසිදු රන් මදටිය පහක බර පාදය ලෙස ගෙන ගණනය කළ යුතු බවයි. (කාළකවිරහිතස්‌ස නිද්‌ධන්‌තසුවණ්‌ණස්‌ස පඤ්‌චමාසග්‌ඝනකෙන භණ්‌ඩෙන පාදපරිච්‌ඡෙදො කාතබ්‌බො). මෙම ටීකා පාඨය නොතිබෙන්නට දෙවැනි පරිජියේ අගය විනිශ්චය කිරීම ඉතා අපහසු වනු ඇත.

2. සෑම පැවිදි අපෙක්‍ෂකයෙකුම පාහේ පැවිද්ද ඉල්වීමට භාවිතාකරන “සබ්බදුක්ඛනිස්සරණ” ආදී පාඨය පෙළ අටුවාවන්හි දක්වා නැත. මෙය විමතිවිනෝදනී, විනයාලංකාර යන ටීකාවන්හි දක්වා ඇති පාඨයකි. මෙහිදී දත යුත්තේ මෙය කිසිසේත්ම එම ටීකා ඇදුරුවරුන්ගේ නිර්මාණයක් නොව ඇදුරුපරම්පරාවෙන් බුද්ධකාලයේ පටන් පවත්වාගෙන ආ ක්‍රමය බවයි, එම ටීකා ඇදුරුවරු ද පැවිදි වීමේදී භාවිතා කළ ක්‍රමය බවයි.

3. සීමා සම්මතය හා සමූහනනය දක්වන උපොසථක්ඛන්ධකයේදී සීමාවක් සමූහනනයට අනුදත් නමුත් එය සිදුකරන අයුරු විස්තර පෙළට ඇතුලත් වී නොමැත.

අටුවාවේ දක්වන්නේ පැරණි සීමාව නොදන්නවුන් විසින් සීමා සමූහනනය නොකළ යුතු බවයි.

නමුත් මඤ්චප්‍රමාණ (ඇඳකපමණ) කොටු ගසා එය සමූහනනය කළ යුතු අයුරු විස්තර ඇතිව දක්වන්නේ විමතිවිනෝදනී ආදී ටීකාවන්හිය. දැනුත් විනයධරයෝ මෙම විනයකර්ම සිදුකරන්නේ මෙම ටීකාපාඨයන්ට පිංසිදුවන්නටය. ඒවා නොතිබුනා නම් බොහෝ ගැටලු මතුවන බව පැහැදිලිය.

4. සීමාවක් සම්මත කිරීමේදී පබ්බතනිමිත්ත ආදී නිමිතිවර්ග අටක් යොදාගත හැකි බවත් එයින් නිමිති කීර්තනය කොට සීමාවක් සම්මත කරගන්නා ලෙසත් පෙලෙහි දක්වා ඇත. නමුත් ඒ නිමිති වල ප්‍රමාණ හෝ සම්මතය කරන පිළිවෙල හෝ පෙළෙහි ඇතුලත්ව නැත.

එම නිමිති වල ප්‍රමාණාදිය අටුවාවේ දක්වා ඇත. උදාහරණයක් ලෙස රුක්ඛනිමිත්තේ අවම ප්‍රමාණය උසින් අටඟුල් වූයේ වටින් සූචිදණ්ඩක ප්‍රමාණය ද ඇත්තේ නම් ප්‍රමාණවත් යැයි දැක්වේ. නමුත් මෙම සූචිදණ්ඩ යනු කුමක්දැයි එකළ ප්‍රකට වුවත් මෙකළ එහි අරුත අප්‍රකටය.

එය විස්තර කරන්නේ ටීකාවේය. සූචිදණ්ඩ යනු පන්හිඳ බවත් එය අතේ කුඩා ඇඟිල්ලේ පමණ ඇති බවත් පැහැදිලි කර දැක්වේ. සෙසු විනය කරුණු පිළිබඳ තත්වය ද මෙසේය.

5. අභිධර්මයෙහි හා වෙනත් පෙළ පොත් වල දැක්වෙන පරමාර්ථ පදයේ අරුත සියල්ලෙන් සියල්ල පෙළෙහි දක්වා නැත.

අටුවාවේදී එය පැහැදිලි කරන්නේ වුව ද ටීකාවේ දැක්වෙන “පරමො උත්තමො අවිපරීතො අත්ථො ...... පරමත්ථො” යන පාඨයෙන් එය වඩාත් පැහැදිලි වේ.

මෙසේ දැක්විය හැකි කරුණු අතිවිශාල ප්‍රමාණයක් ත්‍රිපිටකය පුරා ඇති නමුත් නුවණැත්තන්ට කරුණු තේරුම් ගැනීමට මේ ප්‍රමාණවත් බැවින් ඒ ගැන දැක්වීම මෙතෙකින් අවසන් කරමු.