ටීකා ඇදුරුපාණන් වහන්සේලා යනු කවුද?

මෙම ටීකා රචනා කළේ ද අටුවා සහිතව ත්‍රිපිටකධර වූ උතුමන් බව පෙර අපි දැක්වීමු. එම ඇදුරුපාණන් වහන්සේලා කීපදෙනෙකුන් පිළිබඳව නිවැරදි අවබෝධය පිණිස කරුණු ස්වල්පයක් මෙසේ දක්වමු.

බදරතිත්ථවාසී ධම්මපාල ඇදුරුපාණන් වහන්සේ

මෙතුමන් වහන්සේ ටීකා පමණක් නොව අටුවා කීපයක් ද පරිවර්තනය කළ සේක. උදාන - ඉතිවුත්තක - පෙතවත්ථු - විමානවත්ථු - ථෙරථෙරීගාථා - චරියාපිටක - නෙත්තිප්පකරණ යන ග්‍රන්ථයන්ගේ පාලි අටුවා මෙතුමන් වහන්සේ සම්පාදනය කළ බව දැක්වේ. ඊට අමතරව දීඝ - මජ්ඣිම - සංයුක්ත යන නිකාය තුනේ ටීකාද විසුද්ධිමග්ග ටීකාව ද මෙතුමන්ගේ රචනාය. දකුණු ඉන්දියාවේ කාඤ්චිපුරයේ විසුවේ යැයි සැලකෙන මෙතුමන් වහන්සේ ද දක්ෂ ග්‍රන්ථ කතුවරයෙකු ලෙස ප්‍රකටය. එබැවින්ම පසු කාලීනව ග්‍රන්ථ රචනා කළ සිංහල මහතෙරවරුද මෙතුමන් වහන්සේව ආචාර්යත්වයෙහි ලා සැලකූ අතර මෙතුමන්ගේ අදහස් ප්‍රාමාණික වශයෙන් සැලකූහ. ඒ බව “තෙනෙව ආචරියධම්‌මපාලත්‌ථෙරෙන ථෙරගාථාසංවණ්‌ණනාය වුත්‌තං” (එබැවින්ම ආචාර්ය ධර්මපාල තෙරුන් වහන්සේ විසින් ථේරගාථා සංවර්ණනාවේදී (මෙසේ) කියනා ලදි.) යනාදී ලෙස අංගුත්තරනිකාය ටීකාදියේ දැක්වෙන පාඨ වලින් පැහැදිලි වේ. එතුමන් පිළිබඳ වැඩිදුර තොරතුරු ග්‍රන්ථයන්හි දක්වා නැතත් ඉතා ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කතුවරයෙකු බවත් එම ග්‍රන්ථ රචනා මහාවිහාරවාසී සංඝරත්නයේ අනුදැනුම මත පරවාදී මත ඛණ්ඩනය කරමින් ද ථේරවාදී මත මණ්ඩනය කරමින් ද බදරතීර්ථ විහාරයේදී ලියූ බවත් දැක්වේ.

වජිරබුද්ධි ටීකාචාර්යන් වහන්සේ

විනය පිටකයට ලියූ ටීකා ග්‍රන්ථ අතුරින් පැරණිම ටීකාව වජිරබුද්ධි ටීකාවයි. එය රචනා කළ ආචාර්යන් වහන්සේව ද එම නමින්ම හඳුන්වන අතර ටීකාවේ අග මෙතුමන්ගේ නම දක්වා නැත. මෙතුමන් වහන්සේ ද ශ්‍රද්ධා - සීලාදී ගුණයන්ගෙන් සසුන බැබළ වූ අටුවා සහිත මුළු ත්‍රිපිටකයම දරාගත් ශ්‍රේෂ්ඨ උතුමෙක් බව එම ටීකාව පරිශීලනයේදී පෙනී යයි. මෙම ටීකාවෙන් පසුකාලීනව රචනා කළ ටීකා ග්‍රන්ථයන්හි දී ද යම් කරුණක් සනාථ කිරීම සඳහා මෙම ටීකාවේ සඳහන් කරුණු ප්‍රාමාණිකත්වයෙන් දක්වා ඇති බැවින් මෙය ඉතා සම්භාවිත ග්‍රන්ථයක් බව පැහැදිළි වේ.

තම ජීවිතයටත් වඩා ප්‍රතිපත්තියට ගරු කළ උතුමන් වැඩසිටි යුගයක එබඳු ශ්‍රේෂ්ඨ උතුමන් අතින්ම ලියැවුණු ටීකාදී ග්‍රන්ථ පරිශීලනයෙන් අපට මහත් ආදර්ශ රාශියක් මෙන්ම අවවාද රාශියක් ද ලැබේ. නිවැරදිව දහම හැදෑරිය යුතු අයුරු, ධර්ම - විනය විනිශ්චයන් ලබා දිය යුතු අයුරු මෙම ග්‍රන්ථයන්හි දක්වා ඇත. වජිරබුද්ධි ටීකාචාර්යන් වහන්සේ දැක්වූ එවැනි වටිනා අවවාද කීපයක් මෙසේ සටහන් කරනුයේ එකළ වැඩසිටි උතුමන්ගේ පැවති ශ්‍රද්ධාදී ගුණ ප්‍රකට කිරීම සඳහාත් එම උතුමන් වහන්සේලා කිසිසේත් ම තම මතය ඉස්මතු කිරීමට උත්සාහ නොගත් බවත් පිරිසිදු බුද්ධ මතයම ඉස්මතු කිරීමට උත්සාහ ගත් බවත් ප්‍රකට කිරීමටත්ය. එතුමන් වහන්සේ අපට මෙසේ අවවාද කරන සේක.

1. එවරූපෙසු ඨානෙසු පොරාණාචරියානං කථාමග්‌ගං සුට්‌ඨු ආචරියකුලසෙවනාය සඤ්‌ජානිත්‌වා තෙන සංසන්‌දිත්‌වා සතො සම්‌පජානො හුත්‌වා සොතූනඤ්‌ච චිත්‌තං අවිමොහෙත්‌වා කථෙතබ්‌බං. එසා අම්‌හාකං ආයාචනා.

(මෙබඳු තැන්හිදී පුරාණ ආචාර්යන් වහන්සේලාගේ කථා මාර්ගය මනාව ඇදුරුකුල සේවනයෙන් දැනගෙන එය හා සසඳා සිහියෙනුත් නුවණිනුත් යුක්ත වී අසන්නන්ගේ සිත මුළාවට පත් නොකොට කිය යුතුය. මේ අපගේ ආයාචනයයි.) ( පළමු කඨින සිකපද වර්ණනාව අවසානයේ)

2. එත්‌තාවතා සමධිකසත්‌තවීසතිසහස්‌ස - පරිමාණාය සමන්‌තපාසාදිකසඤ්‌ඤිතාය විනයට්‌ඨකථාය සබ්‌බපදෙසු විනිච්‌ඡයජාතං සඞ්‌ඛිපිත්‌වා ගණ්‌ඨිට්‌ඨානවිකාසනා කතා හොති, තථාපි යං එත්‌ථ ලිඛිතං, තං සුට්‌ඨු විචාරෙත්‌වා පාළිඤ්‌ච අට්‌ඨකථඤ්‌ච සල්‌ලක්‌ඛෙත්‌වා යෙ ආචරියා බුද්‌ධස්‌ස භගවතො මහානුභාවං, විනයපිටකස්‌ස ච විචිත්‍රනයගම්‌භීරත්‌ථතං සල්‌ලක්‌ඛෙත්‌වා පොරාණානං කථාමග්‌ගං අවිනාසෙත්‌වා අත්‌තනො මතිං පහාය කෙවලං සද්‌ධම්‌මට්‌ඨිතියා, පරානුග්‌ගහකාමතාය ච විනයපිටකං පකාසෙන්‌තා ඨිතා, තෙසං පාදමූලෙ වන්‌දිත්‌වා ඛන්‌තිසොරච්‌චාදිගුණසමන්‌නාගතෙන හුත්‌වා වත්‌තසම්‌පත්‌තියා තෙසං චිත්‌තං ආරාධෙත්‌වා පවෙණියා ආගතං විනිච්‌ඡයං කථාපෙත්‌වා උපධාරෙත්‌වා යං තෙන සංසන්‌දති, තං ගහෙතබ්‌බං, ඉතරං ඡඩ්‌ඩෙතබ්‌බං. ඉතරථා තුණ්‌හීභූතෙන භවිතබ්‌බං. විනිච්‌ඡයසඞ්‌කරකරෙන පන න භවිතබ්‌බමෙව. කස්‌මා? සාසනස්‌ස නාසහෙතුත්‌තා.

(මෙපමණකින් අධිකයක් සහිත ග්‍රන්ථ විසිහත් දහසක් ප්‍රමාණය ඇති සමන්තපාසාදිකා යන නම ඇති විනය අට්ඨකථාවේ සියලු පදයන්හි විනිශ්චය හකුළුවා ගැටළු තැන් ලිහා දැක්වීම කරන ලද්දේ වෙයි. එසේ වුව ද මෙහි (මෙම වජිරබුද්ධි ටීකාවෙහි) යමක් ලියන ලදද, එය මනාව විචාරා පෙළත් අටුවාවත් සලකා බලා, යම් ආචාර්යන් වහන්සේලා භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ මහානුභාවයත්, විනය පිටකයේ විචිත්‍ර න්‍යායන් හා ගැඹුරු අර්ථ ඇති බවත් සලකා පෞරාණික කථාමාර්ගය විනාශ නොකොට තමාගේ මතය හැරපියා හුදෙක්ම සද්ධර්මයේ ස්තිථිය පිණිසත් අනුන්ට අනුග්‍රහ කිරීම පිණිසත් විනය පිටකය ප්‍රකාශ කරමින් සිටියාහු වෙත් ද, ඒ ආචාර්යන් වහන්සේලාගේ පාද මූලයන් වන්දනා කොට ක්‍ෂාන්ති (ඉවසීම) සුරතබව (අන්‍යයන්ගේ වචන පිළිගන්නා බව) ආදී ගුණයන්ගෙන් සමන්විත වී වත්තසම්පත්තියෙන් ඒ උතුමන්ගේ සිත සතුටු කොට ප්‍රවේණියෙන් පැමිණි විනිශ්චය කියවා බලා යම් කරුණක් ඒ (පුරාණ විනිශ්චය) හා සැසඳේ ද එය ගත යුතුය, එසේ (පුරාණ විනිශ්චය හා) නො සැසඳෙන යමක් වේ ද එය බැහැර කළ යුතුය. එසේත් නැතහොත් නිහඬ විය යුතුය. විනිශ්චයන් සංකර කරන්නෙකු (වැරදි විනිශ්චයන් දෙන්නෙකු) නොවිය යුතුමය. කවර හෙයින්ද යත්, (එසේ වැරදි විනිශ්චයන් ලබා දීම) සසුන නැසීමට හේතු වන බැවිනි.) (ටීකාවේ අග)

මේ උතුමන් සතුව පැවති ශ්‍රද්ධාදී උසස් ගුණ ඉහත ප්‍රකාශයන්ගෙන් ප්‍රකට වේ. තවද තමාගේ මතය හුවා දැක්වීම වෙනුවට පිරිසිදු බුද්ධ මතය ඉස්මතු කිරීමට ගත් උත්සාහය ද ප්‍රකට වේ. එබැවින් අපිත් ඒ උතුමන් අනුව යමින් අපට වඩා බුදු රජාණන් වහන්සේටත් ක්‍ෂීණාශ්‍රව උතුමන්ටත් සමීප වූ ඒ පැරණි උතුමන්ගේ අවවාද අනුව හික්මීමට ඉටා ගනිමු.

දිඹුලාගල සාරිපුත්ත සඞ්ඝරාජ මාහිමිපාණන් වහන්සේ

මෙරට වැඩසිටි ශ්‍රේෂ්ඨ ග්‍රන්ථකාරක ඇදුරුපාණන් වහන්සේලා අතර මෙතුමන් වහන්සේගේ නම ද ඉතා ප්‍රසිද්ධය. මහපැරකුම් රජුගේ අනුග්‍රහයෙන් සිදුකළ සාසන ශෝධනයට මූළික වූ දිඹුලාගල කස්සප මාහිමිපාණන් වහන්සේ මෙතුමන්ගේ ගුරුවරයාය. මෙතුමන් වහන්සේගේ පාණ්ඩිත්වය විදේශයන්හි ද ප්‍රකට වූ බව බුරුමදේශයේ රචිත විනයාලංකාරටීකාවේ දැක්වෙන පහත පාඨයෙන් ප්‍රකට වේ. එනම් “ආචරියො පන සබ්‌බපරියත්‌තිධරො අනෙකගන්‌ථකාරකො අනෙකෙසං ගන්‌ථකාරකානං ථෙරානං ආචරියපාචරියභූතො” (මේ සාරිපුත්ත සඞ්ඝරාජ ආචාර්යන් වහන්සේ සියලු පරියත්තිධර උතුමෙකි. නොයෙක් ග්‍රන්ථ රචනා කළ උතුමෙකි. නොයෙක් ග්‍රන්ථකාරක තෙරුන් වහන්සේලාට ආචාර්ය ප්‍රාචාර්ය වූ උතුමෙකි), යනුවෙන් සම්භාවනා කරත්.

මෙතුමන් වහන්සේ විශේෂ ධාරණශක්තියකින් යුතු උතුමෙක් බව ග්‍රන්ථයන්හි දැක්වේ. එකවර එක ඇසීමකින් ග්‍රන්ථ දහස් ගණනක් (ග්‍රන්ථ දහසක් යනු බණවර 4කි) ධරාගැනීමේ හැකියාව තිබුණු බව ග්‍රන්ථයන්හි දැක්වේ. ඒ මෙසේය;

1. “එසේම ඒකශ්‍රැතීන් නෛකසහස්‍ර ග්‍රන්ථ ධාරණයට සමර්ථ වූ වජ්‍රඥාන ඇති ශාරිපුත්‍ර මහා ස්වාමිපාදයන් පටන් සංඝරක්‍ෂිත ය, සුමඞ්ගල ය, වාගීශ්වර ය, ධර්මකීර්ති ය, නාගසෙන ය, ආනන්ද ය, වෙදෙහ ය, බුද්ධප්‍රිය ය, අනවමදර්ශී ය, යනාදී මහාස්ථවිරයෝ නොයෙක් ටීකාර්ථකථා හා තත්ප්‍රවේශෝපාය වූ අනේකප්‍රකාර ධර්ම ප්‍රබන්ධ හා සන්න ගැටපද පිටපත් ආදිය උපදවා බුදුන්ගේ පර්යාප්ති ශාසනය බැබැළැවූහ.”[1]

2. “යං චන්දෙ චන්දභූතං නිසිතතරමතිං පාණිනිං පාණිනීයෙ.....” (චාන්ද්‍ර ව්‍යාකරණය කළ චාන්ද්‍ර ආචාර්යන් බඳු වූ ද පාණිනී වියරණයෙහි පාණිනී ඍෂිවරයා බඳු වූ ද ඉතා තියුණු නුවණක් ඇති (සාරිපුත්ත මාහිමිපාණන් වහන්සේ).....)[2]

මෙතුමන් වහන්සේගේ කෘති අතර අංගුත්තරනිකාය ටීකාව, සාරත්ථදීපනී විනය ටීකාව හා අභිධර්මාර්ථ සංග්‍රහ පුරාණ සන්නය දැනට විද්‍යමානය. දැනට දක්නට නැති තවත් ග්‍රන්ථ කීපයක් ද මෙතුමන් වහන්සේ විසින් රචිත බව දැක්වේ. මෙතුමන් වහන්සේගේ ශිෂ්‍ය වූ සඞ්ඝරක්ඛිත ආදී ඇදුරුවරන්ගේ ග්‍රන්ථයන්හි ද මෙතුමන් වහන්සේව ඉතා ඉහලින් වර්ණනා කර ඇත.

චොළිය කස්සප ඇදුරුපාණන් වහන්සේ

මෙතුමන් වහන්සේ දකුණු ඉංදියාවේ චෝළ දේශයේ වැඩසිටි බව දැක්වේ. මෙතුමන් පිළිබඳ තොරතුරු ග්‍රන්ථයන්හි එතරම් සඳහන්ව නැත. නමුත් එම දැක්වෙන තොරතුරු අනුව අටුවා සහිත සියලු ත්‍රිපිටක පරියත්තිධර වූ මනා විචක්‍ෂණ නුවණකින් යුත්ත වූ සීලාදී ප්‍රතිපත්තියෙහි මනාව පිහිටියා වූ මහාප්‍රාඥ උතුමෙකු බව ප්‍රකට වේ. මෙතුමන් රචිත ග්‍රන්ථ අතර විමතිවිනෝදනී විනය ටීකාව හා මෝහවිච්ඡේදනී නම් අභිධර්ම මාතිකා අටුවාව ප්‍රධාන වේ. එතුමන් වහන්සේ අපරටේ සිංහල භික්‍ෂූන් වහන්සේලා සමගත් සමීප සම්බන්ධතා පැවති බව මෙරට ලියැවුණු ග්‍රන්ථයන්හි දැක්වෙන කරුණු වලින් ප්‍රකට වේ. ඉහතින් දැක්වූ සාරිපුත්ත සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍ය වූ විනයවිනිශ්චය ටීකාව ලියූ වාචිස්සර මාහිමියන්ට එම ග්‍රන්ථය ලිවීමට ආරාධනා කළ අය අතර මෙම චෝළිය කස්සප මාහිමියෝ ද වෙති. ඒ බව වාචිස්සර මාහිමියෝ මෙසේ දක්වන සේක.

තථා මහාකස්‌සපඅව්‌හයෙන; ථෙරෙන සික්‌ඛාසු සගාරවෙන;

කුදිට්‌ඨිමත්‌තෙභවිදාරකෙන; සීහෙන චොළාවනිපූජිතෙන.

(සොලී රටෙහි පූජිත වූ, සික්ෂාවන්හි මනා ගරුත්වයක් ඇත්තා වූ, මිත්‍යාදෘෂ්ඨි නමැති මත් ඇතුන් විදාරණය කරන - පලා විනාශකර දමන සිංහයෙකු බඳු වූ මහාකස්සප නමැති තෙරුන් විසින් ද එසේම ආරාධිත වූයේ...)

මෙතුමන් වහන්සේ පිළිබඳ තවත් කරුණු රාශියක් මොහවිච්ඡේදනී ග්‍රන්ථයේ සඳහන් වේ. නාගජ්ජුන නම් විහාරයේ වැඩසිටි බව ද එහි දැක්වේ. ඉන් ගාථා කීපයක් මෙසේ දක්වමු.

නාමෙන යො ධුතධරග්‌ගසමානනාමො,

චන්‌දොව පාකටනභොදිතවීතපඤ්‌ඤො;

සත්‌ථන්‌තරෙසු නිපුණො පිටකත්‌තයෙ ච,

වාදීභයූථවිපිනෙ මිගරාජලීලො.

(ධුතඞ්ගධාරීන්ට අග්‍ර වූ මහාකාශ්‍යප තෙරුන්ගේ නාමයට සමාන නමක් ඇත්තා වූ යම් තෙරනමක්, අහසෙහි සඳ මෙන් සසුනෙහි ප්‍රසිද්ධ වූයේ ද, විවිධ ශාස්ත්‍රයන්හි හා ත්‍රිපිටකයෙහි දක්‍ෂ වූ සේක් ද, පරවාදීන් නමැති ඇතුන් සිටින කැලයෙහි සිංහරාජයෙකු බඳු වූ ද,)

යො සාගරොව න විලඞ්‌ඝති සීලවෙල-

මප්‌පිච්‌ඡතාදිගුණසාරවිභූසිතත්‌තො;

ජොතෙති සාසනමලං නිඛිලං ජහන්‌තො,

සක්‌කච්‌ච ධම්‌මවිනයං පරිදීපයන්‌තො.

(සාගරය වෙරළ ඉක්මවා නොයන්නා සේ යම් තෙර කෙනෙක් සීලය ඉක්මවා නොයයි ද, අල්පේච්ඡතාදී ගුණසාරයන්ගෙන් අලංකාරවත් වූ ආත්මභාවයක් ඇත්තේ ද, සාසන මල දුරුකරමින් මනාව ධර්මවිනය දක්වමින් සාසනය බබුළුවන සේක් ද,)

තෙනාභිධම්‌මපිටකණ්‌ණවවිප්‌පකිණ්‌ණ-

සාරත්‌ථරත්‌නනිකරෙව සමුද්‌ධරිත්‌වා;

සම්‌මාපජානගළලඞ්‌කරණාය මොහ-

විච්‌ඡෙදනී විරචිතා රතනාවලී යා.

(ඒ මහාකාශ්‍යප මාහිමියන් විසින් අභිධර්මපිටකය නමැති සාගරයෙහි විසිරී පැවති රත්න සමූහය ගොඩනගා ශිෂ්‍යප්‍රජාවගේ ගෙල සැරසීම පිණිස රත්නමාලාවක් බඳු වූ මෝහවිච්ඡේදනී නම් වූ යම් ග්‍රන්ථයක් රචනා කරන ලදද...)

ඉහත දැක්වූ කරුණු අනුව මෙතුමන් වහන්සේ වැරදි මත දුරුකිරීමෙහි අති සමර්ථ වූ ඉතා විචක්‍ෂණ උතුමෙකු බව ප්‍රකට වේ. තවද මෙතුමන් වහන්සේ විසින් රචිත විමතිවිනෝදනී ටීකාව අපරටේ ප්‍රතිපත්තිකාමී විනයධර භික්‍ෂූන් අතර ඉතා සම්භාවිත ග්‍රන්ථයකි. එබැවින්ම විනය විනිශ්චයන්හිදී මෙම ටීකාවට ප්‍රමුඛත්වයක් දෙනු ලැබේ. තවද “ඔය ආයුෂ්මතුන් වහන්සේලාගේ ගුරුවරයා කවුදැයි ඇසුවොත් විමතිවිනෝදනී ටීකාචාර්යන් වහන්සේ යැයි කියන්න” යනුවෙන් විනයධර උතුමෝ පවසන බව ද අසන්නට ලැබේ.

විනයාලංකාර ඇදුරුපාණන් වහන්සේ

ටීකාචාර්ය සාරිපුත්ත සංඝරාජ මාහිමිපාණන් විසින් රචිත “පාළිමුත්තකවිනයවිනිච්ඡය” නම් වූ විනයසංග්‍රහ අටුවාවට ලියූ ටීකාව විනයාලංකාර ටීකාවයි. එහි කතුතුමන් වහන්සේගේ සාමණේර නාමය “මුනින්දඝොස” බවත් උපසම්පදාවේදී “උපාලි” යන නාමය ලබාදුන් බවත් රජු ලබාදුන් ගරු නාමය “තිපෙටකාලඞ්කාර” බවත් වාසය කළ ආරණ්‍යයේ නාමයෙන් “තිරියපබ්බතත්ථෙරො” යනුවෙන් ද හැඳින් වූ බවත් බුරුම සාසනවංශයේ දැක්වේ. එකල එරට වැසි මහාප්‍රාඥ උතුමෙකු වූ මෙතුමන් වහන්සේගේ නාමය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ආචරියපරම්පරාවෙහි ද දැක්වේ. එබැවින් මෙතුමන් වහන්සේ යෝගාශ්‍රමීය භික්‍ෂූන් වහන්සේලාගේ අදුරුපරම්පරාව බැබළවූ පූර්වාචාරීන් වහන්සේ කෙනෙක් බව ද සැලකිය යුතුය. නිවැරදි ධර්ම-විනය විනිශ්චයක් ගතයුතු අයුරු එතුමන් වහන්සේ මෙසේ දක්වන සේක.

මහාකාරුණිකො භගවා මහාකරුණාය සඤ්‌චොදිතමානසො අනෙකෙහි නයෙහි ආපත්‌තිතො වුට්‌ඨානං කත්‌වා සග්‌ගමොක්‌ඛසුඛෙ පතිට්‌ඨපෙති, භගවතො අධිප්‌පායඤ්‌ඤුනො අට්‌ඨකථාචරියාපි අනෙකෙහි කාරණෙහි භගවතො වචනස්‌ස අත්‌ථං පකාසෙත්‌වා විසුද්‌ධකාමානං නයං දෙන්‌ති, තථා ටීකාචරියාදයොපි. එවං දින්‌නෙ පන නයෙ යොනිසො මනසි කාතුං සක්‌කොන්‌තා පණ්‌ඩිතා යථානුසිට්‌ඨං පටිපජ්‌ජන්‌ති, අසක්‌කොන්‌තා අඤ්‌ඤථා අත්‌ථං ගහෙත්‌වා න යථානුසිට්‌ඨං පටිපජ්‌ජන්‌ති, තෙසං දිට්‌ඨානුගතිං අනුගච්‌ඡන්‌තා සිස්‌සාදයොපි තථෙව කරොන්‌ති, තස්‌මා භගවතො වචනඤ්‌ච පුබ්‌බෙනාපරං සංසන්‌දිත්‌වා අට්‌ඨකථාටීකාදිවචනඤ්‌ච සම්‌මා තුලයිත්‌වා තථතො භගවතො අධිප්‌පායං ඤත්‌වා යථානුසිට්‌ඨං පටිපජ්‌ජන්‌තෙහි ගරුකාපත්‌තිතො වුට්‌ඨහනත්‌ථං යොගො කරණීයො.

මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ මහාකරුණාවෙන් පෙළඹ වූ සිත් ඇති සේක් නොයෙක් න්‍යායන් මගින් ඇවැත් වලින් නැගීසිටීම සිදුකොට සගමොක්සුවයෙහි පිහිටුවන සේක, භාග්‍යවතුන් වහන්සේගේ අදහස දන්නා වූ (සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී) අටුවාචාරීන් වහන්සේලා ද නොයෙක් න්‍යායන් මගින් භාග්‍යවතුන් වහන්සේගේ වචනයේ අර්ථ ප්‍රකාශ කොට විශුද්ධිය කැමැත්තවුන්ට නයක්‍රම ලබා දෙත්. ටීකාචාරී උතුමන් වහන්සේලා ද එසේමය. මෙසේ න්‍යායන් දුන් කල්හි නුවණින් මෙනෙහි කිරීමට හැක්කා වූ නුවණැත්තෝ අනුශාසනාව පරිදි පිලිපදිත්. (එසේ නුවණින් මෙනෙහි කිරීමට) නොහැකිවන්නාහු අන් අයුරකින් අර්ථය ගෙන අනුශාසනාව පරිදි නොම පිලිපදිත්, ඔවුන්ගේ දිට්ඨානුගතියට අනුව යන්නා වූ ශිෂ්‍ය ආදීහු ද එසේම (වැරදි අයුරින්) කරත්. එබැවින් භාග්‍යවතුන් වහන්සේගේ වචනය ද පූර්වය හා අපරය සසඳා අටුවා-ටීකාදී වචනය ද මනාව තුලනය කොට තත් පරිදි (නිවැරදිව) භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන අනුශාසනාව පරිදි පිලිපදින්නවුන් විසින් ගරු ඇවතකින් මිදීම පිණිස යෙදීම කටයුතුය.[3]

යම් අදහසක් පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේපය කළ යුත්තේ කෙසේ ද යන න්‍යාය විනයාලංකාර ටීකාචාරීන් වහන්සේ දක්වන අයුරු.

“ඉණපරිභොගට්‌ඨානෙ තිට්‌ඨතීති එත්‌ථ ‘‘හිය්‍යො යං මයා චීවරං පරිභුත්තං ආදිනා සචෙ අතීතපරිභොගපච්‌චවෙක්‌ඛණං න කරෙය්‍ය, ඉණපරිභොගට්‌ඨානෙ තිට්‌ඨතී’’ති වදන්‌ති, වීමංසිතබ්‌බං.” (ඉණපරිභෝගස්ථානයෙහි සිටියි යන මෙහි “මාවිසින් ඊයේ යම් සිවුරක් පරිභෝග කළේ ද” යනාදී වශයෙන් අතීතපරිභෝග ප්‍රත්‍යවේක්‍ෂාව නොකරන්නේ නම් ඉණපරිභෝගස්ථානයෙහි සිටියි යැයි කියත්, මෙය විමසිය යුතුය.) යන සාරත්ථදීපනී ටීකා පාඨය විචාරණයට ලක් කරමින් වටිනා උපදේශයක් මෙසේ ලබා දෙන සේක.

කිං ඉදං වචනං පාළිවචනං වා අට්‌ඨකථාවචනං වා ටීකාවචනං වා ගන්‌ථන්‌තරවචනං වාති. තත්‌ථ න තාව පාළිවචනං, න අට්‌ඨකථාවචනං, න ගන්‌ථන්‌තරවචනං, අථ ඛො ටීකාවචනන්‌ති. හොතු ටීකාවචනං, සකවචනං වා පරවචනං වා අධිප්‌පෙතවචනං වා අනධිප්‌පෙතවචනං වාති. තත්‌ථ න සකවචනං හොති, අථ ඛො පරවචනං. තෙනාහ ‘‘වදන්‌තී’’ති. න ටීකාචරියෙන අධිප්‌පෙතවචනං හොති, අථ ඛො අනධිප්‌පෙතවචනං. තෙනාහ ‘‘තං වීමංසිතබ්‌බ’’න්‌ති. ... තස්‌මා අට්‌ඨකථාවචනමෙව පමාණං කාතබ්‌බං.

එහිලා පළමුව මෙය පාළිවචනයක් නොවේ, අටුවාවචනයක් ද නොවේ, ග්‍රන්ථාන්තරයෙහි වූ වචනයක් ද නොවේ, එතෙකුදු වුවත් ටීකා වචනයකි.

එහිලා මෙය ටීකාචාරීන් වහන්සේගේ (ස්වකීය) වචනයක් නොවේ, වෙනත් අයෙකුගේ වචනයකි. එබැවින් “වදන්ති” (ඇතැම්හු කියත්) යැයි කී සේක.

මෙසේ ග්‍රන්ථයක ආ පමණින් යමක් පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේපය නොකොට ඉහත පරිදි එය ග්‍රන්ථ කර්තෘන් වහන්සේට අභිමත අදහසක් ද යනාදී ලෙස විමසා වෙනත් ප්‍රාමාණික ග්‍රන්ථ හා සසඳා බලාම තීරණයකට ආ යුතු බව විනයාලංකාර ඇදුරුපාණන් වහන්සේගේ අවවාදයයි.

“අටුවා ටීකා වල විවිධ අදහස් තිබෙනවා, හරි විනිශ්චය සොයා ගන්න බැහැ” යැයි ඇතැම්හු පවසන්නේ මෙවැනි න්‍යායන් නොදන්නාකම නිසයි. සුදුසු ගුරුවරුන් ඇසුරේ ධර්මය හදාරන්නේ නම් එබඳු ගැටළු විසඳෙනු ඇත. ගත යුත්තේ කුමන විනිශ්චය ද යනාදී විමති පහවනු ඇත.

  1. නිකාය සංග්‍රහය (1966) (ඩී.පී.ආර්. සමරනායක) 81 පිටුව

  2. අභිධර්මාර්ථසංග්‍රහ පුරාණ සන්නය (1960) (වලගෙදර සොමාලොකතිස්ස හිමි) 283 පිටුව

  3. විනයාලංකාර ටීකා