2. තලගුරුවෙහෙර ධම්මදින්න මහතෙර

මෙතුමා ස්ථවිරභාවයට පැමිණෙන්ට පෙරම බොහෝ භික්‍ෂූහු මෙතුමාගේ අවවාදයෙහි පිහිටා රහත් ඵලය ලැබූහ. ඒ ප්‍ර‍වෘත්තිය ඇසූ තිස්සමහාවිහාරවාසී සංඝතෙමේ තෙරුන් කැඳවාගෙන ඒම පිණිස භික්‍ෂූන් සමූහයක් යැවීය. තෙරණුවෝ “ස්වාමිවරුනි, ඔබ වහන්සේ තමන් සොයන්නහු ද? අනුන් සොයන්නහුදැ” යි අසා “තමන් සොයන්නෙමු” යි කී විට ඒ භික්‍ෂූන්ට කමටහන් දුන්හ. එතුමෝ එය වඩා රහත්බවට පැමිණියාහ. දෙවෙනි වර යැවූ භික්‍ෂු පිරිසත් එසේම රහත් විය. ඒ පිරිස් දෙකම හැරී නොගිය බැවින් තෙවෙනි වරත් පිරිසක් යැවීය. ඒ පිරිසද කමටහන් ගෙන රහත්ව එහිම නැවතුණි. ඉක්බිති තිස්සමහාවිහාරවාසී සංඝතෙමේ එක්තරා වයස්ගත වී පැවිදි වූවකු ඒ සඳහා යැවීය. ඒ බුඩ්ඪපබ්බජිතයා එහි ගොස් “ස්වාමීනි, ධම්මදින්නයන් වහන්ස, තිස්සමහාවිහාරවාසී භික්‍ෂූසංඝ තෙමේ තෙවරක් ඔබට පණිවිඩ එවීය. ඔබ සංඝාණත්තියට ගරු නොකරන්නාහ”යි කීහ. එවිට තෙරණුවෝ එකෙණෙහිම තිස්සමහාවිහාරයට යන්ට පිටත්විය. අතරමගදී හඞ්කන විහාරයට ගොස් සැටවස් පිරි මහතෙරනමක් රහත් කරවීය. (මීට මුලින් කථාව බැලිය යුතු) එතැනින් සිතුල්පව්වට ගොස් එහිත් අධිමානයෙන් රහත්මියි සිතාගෙන සිටි සැටවයස් පිරි තෙරනමක් රහත් කරවීය. (=අටවෙනි අංකයේ කථා බැලිය යුතු.)

ඉන්පසු තෙරණුවෝ පිළිවෙලින් තිස්සමහාවිහාරයට පැමිණියහ. ඒ වේලාවෙහි එහි තෙරවරු සෑ මලුව හැමද බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිටියාහු ය. ඉන් එක්නමක්වත් ධම්මදින්න තෙරුන්ට “මෙහි පාත්‍ර‍ය තබව” ආදි වශයෙන් කියන්නෙක් නොවීය. එසේ ආගන්තුක වත් නො කොට “මේ ධම්මදින්න භික්‍ෂුව වෙන්ට ඇතැ”යි සිතා ඒ තෙරුන්ගෙන් ප්‍ර‍ශ්න ඇසූහ. එතුමා ඒ ප්‍ර‍ශ්නයන් විසඳා පයේ ඇඟිල්ලෙන් මහපොළොවට ගසා “මේ අචේතනික වූ මහපොලොවත් මගේ ගුණ දනී; ඔබ වහන්සේ මාගේ ගුණ නොදක්සේකැ”යි කියා අහසට නැගී තලගුරු වෙහෙරටම වැඩිසේක. (මේ පුවත මැදුම්සඟිඅටුවාවේ සල්ලෙඛසූත්‍ර‍වර්‍ණනාවෙහි එය.)

තලගුරු වෙහෙර

“තලගුරු වෙහෙර” හෙවත් තලඞ්ගරතිස්ස පබ්බත විහාරය කොහි පිහිටියේ දැයි සෙවිය යුතුය. සද්ධර්‍මාලංකාරයෙහි සිලුත්ත වස්තුවෙහි “එක් සමයෙක් හි ................. රුහුණුරට “තලගුරුතිස්” නම් පර්‍වතයෙහි වසන ධර්‍මදින්න මහතෙරුන් වහන්සේ දෙවුරුභා[1] නම් ගල්ලෙනක වසනසේකැ”යි කියවෙන බැවින් එය රුහුණේ පිහිටියේයයි දතයුතු.

විසූකාලය

මුන්වහන්සේ කාවන්තිස්ස - දුටුගැමුණු රජුන්ගේ කාලයේ දී විසූබව “සද්ධර්‍මාලංකාර”යෙහි සාලිරජ වස්තුවෙන් පෙනේ. සාලිරාජකුමාරයා ඉන් පෙර අත්බැව්හි මහවැලි ගඟ අසළ මුණ්ඩවාක නම් ගමේ ලෝකුරුවෙක්ව ඉපද සිටියේ ය. ශ්‍ර‍ද්ධාවත් වූ හෙතෙමේ තමාට ලැබුණු ඌරුමසක් පිස එයින් දන් දෙනු කැමතිව “මේ ලංකාද්වීපයෙහි සෘද්ධිමත් වූ යම්කිසි උත්තම ක්‍ෂීණාශ්‍ර‍වකෙනෙක් වෙත්නම් ඔවුන් අතුරෙන් රහත් අටදෙනෙකුන් වහන්සේ කරුණාකොට සෙට මාගේ ගෙට සිඟා වැඩිය මැනවැ”යි ඝෝෂා කෙළේය. ඉක්බිති තලගුරු වෙහෙර වසන ධම්මදින්න නම් මහතෙරුන් වහන්සේ තමන් වහන්සේගේ උපාධ්‍යාය වූ ගොධම්ම[2] තෙරුන්වහන්සේ වෙත ගොස් උන්වහන්සේ සමග අහසින් අවුත් මහාසමුද්‍ර‍ විහාරයෙහි වසන සඞ්ඝරක්ෂිත මහතෙරුන්වහන්සේ ය[3] කාලවෙලම්මක විහාරයෙහි[4] වසන මහානාග තෙරුන් වහන්සේය, උඩුකඩ විහාරයෙහි[5] වසන මහාසංඝරක්ෂිත තෙරුන්වහන්සේ ය, උණංගමු වෙහෙර වසන භූමිචාලක ධම්මගුත්ත මහතෙරුන් වහන්සේය, භාතියවංස විහාරයෙහි[6] වසන මහානාග තෙරුන් වහන්සේය, කල්ලතාපව්වෙහි[7] වසන මලියදේව මහතෙරුන් වහන්සේ ය යන මේ තෙරුන් සද්දෙනා වහන්සේ කැඳවාගෙන අහසින් ගොස් පිළිවෙලින් ගමට වන්සේක.”

රසවාහිනියේ සද්ධාසුමනාවගෙ කථාවෙහි ඇය මාගමින් අනුරාධපුරයට යන අතරමගදී ඇගේ දන පිළිගැනීමට නිරෝධයට සමවැද නැගිටි තලංගරසමුද්දපබ්බතවාසී මහාධම්මදින්න තෙරණුවෝ අහසින් වැඩියාහුයි කියවේ. සද්ධර්‍මාලංකාරයෙහි එම වස්තුවේ කියවෙන්නේ “තලගුරු මුහුදු පව්වෙහි වසන මහාධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේ” එහි පැමිණි බවයි. තලගුරුපව්ව මූද අසළ පිහිටි බව මේ පොත් දෙකෙන්ම ඔප්පු වේ.

මහාවංශයේ දුටුගැමුණු කථාවෙහි ඒ රජුගේ මරණමඤ්චකයේ දී ඔහු කළ පින් විස්තර කරන අභය මහාස්ථවිරතුමා මෙසේ කීය: “ඒ තෙරුන් වහන්සේලා පස්දෙනා අතුරෙන් ඇඹුල් සහිත තණබත් ගත් මලියදේව මහස්ථවිර තෙමේ සමන්කුළු පව්වෙහි නවසියයක් භික්‍ෂූන්ට දී වැලඳූසේක. පෘථිවීචාලක ධර්‍මගුප්ත ස්ථවිර තෙමේ ඒ පිණ්ඩපාතය කැලණි විහාරයෙහි පන්සියයක් භික්‍ෂූන් සමග බෙදාගෙන තෙමේත් වැලඳූසේක. තලගුරුවැසි ධම්මදින්න ස්ථවිර තෙමේ පුවඟු දිවයින දසදහසක් භික්‍ෂූන්ට බෙදා දී එය වැලඳූසේක. මංගණවැසි මහාසෘද්ධි ඇති කුඩාතිස්ස ස්ථවිර තෙමේ කෛලාශ විහාරයෙහි[8] සැට දහසක් දෙනාට බෙදා දී වැලඳූ සේක.

දුටුගැමුණු රජුගේ මේ ඇඹුල්තණබත් දානය සිදුවූයේ රජකම ලබන්ට පෙර “කොත්මලේ” හෝ කඳුරටේ අන්කිසි තැනක වසද්දී බුඑකෑසාය (අක්‍ඛක්‍ඛායික ජාතකය) පවත්නා කල්හිය. එබැවින් මලයමහාදේව (මලියදේව), තලගුරු වෙහෙර ධම්මදින්න, මංගණඛුජ්ජතිස්ස යන තෙරවරුන් දුටුගැමුණු රජුගේ බාලකාලයේ දී විසූ බව ඔප්පු වේ. [9]

මෙහි කියවුණු තෙරවරුන් කීපනමක් ගැන ජාතක අටුවාවේ වීසතිනිපාතයේ හත්‍ථිපාලජාතකවණ්ණනාවෙහි කියවෙන ප්‍ර‍වෘත්තිය මෙසේ යි:- මේ තාම්‍ර‍පර්ණිද්‍වීපයෙහි පඨවීචාලක - ධම්මගුත්තතෙරය, කටකන්‍දරවාසී ඵුස්සදේව තෙරය, උපරිමණ්ඩල මාලවාසී මහාසංඝරක්ඛිත තෙරය, මලියමහාදේව තෙරය, භග්ගිරිවාසී මහාදේව තෙරය, ගාමන්තපව්වෙහි වැසි මහාසීව තෙරය, කළුවැල්මඩුවේ මහානාග තෙරය යන මේ තෙරවරු කුද්දාලකසමාගමය, මූගපක්‍ඛසමාගමය, චුල්ලසුතසෝමසමාගමය, අයොඝරසමාගමය, හත්‍ථිපාල සමාගමය යන මේ රැස්වීම්වල දී සියල්ලන්ට පසුව පැමිණ පැවිදි වූ පුරුෂයෝ වූහ” යි. මෙයින් අදහස් කරනු ලබන්නේ තේමිය කුමාරාදීන් පැවිදි වූ අවස්ථාවලදී ඔවුන් අනුව පැවිදි වූ දහස් ගණන් පුද්ගලයන් අතරෙහි මේ තෙරවරුන් සිටි බවත් මේ තෙරවරුන් ඒ ඒ අවස්ථාවන්හිදී සියල්ලන්ට පසුව ඇවිත් පැවිදි වූ බවත් ය.

මේ ජාතක අටුවා පාඨයෙහි සත්නමකගේ නම් පෙනෙත්. එයින් මලියදේව, ධම්මගුත්ත දෙනමගේ නම් මහාවංශයේ දුටුගැමුණු කථාවෙහි ඇතුළත් ය. ඒ අටුවාවේ පෙනෙන හැමදෙනා වහන්සේම චරිත අපේ මේ ග්‍ර‍න්‍ථයෙහි විද්‍යමාන වෙති.

ජාතක අටුවාවෙහිම මූගපක්‍ඛජාතක වර්‍ණනාවේදී 1. මංගණ ඛුජ්ජතිස්ස[10] 2. මහාවංසක, 3. කටකන්‍දර ඵුස්සදේව, 4. මහා (සංඝ) රක්ඛිත, 5. භග්ගරිවැසි මහාතිස්ස, 6. මහාසීව, 7. මහාමලියදේව යන තෙර සත්නමගේ නම් දක්වා ඒ තෙරහු මූගපක්‍ඛසමාගමාදියේ සියල්ලට පසුව පැවිදි වූවෝ යයි දක්වා තිබේ. දුටු ගැමුණු කථාවෙහි කියවුණු තෙරවරුන් අතුරෙන් මංගණවැසි කුඩා තිස්ස තෙරුන්ගේ නම එහි ඇතුළත්ව තිබේ.

විශුද්ධිමාර්‍ගයේ ඉද්ධිවිධනිද්දෙසයෙහි මෙසේ කියන ලදි. “ධම්ම දින්නතෙර තිස්සමහා විහාරයේ මහසෑමලුවෙහි අපණ්ණක සූත්‍රයෙන් දහම් දෙසන්නේ විජිනිපත යටිකුරු කොට එහි සිටි පිරිසට අවීචිය පෙන්වීය; එය උඩිකුරු කොට බඹලොව දක්වා දෙව්ලොව පෙන්වීය. මෙසේ නරකභයින් තැති ගන්වා දෙව් සැපයෙන් පොළඹවා දහම් දෙසා බොහෝ දෙනකුන්ට ධර්‍මාවබෝධය කරවීය”

රසවාහිනියේ ධම්මදින්නවස්තුවෙහි මේ තෙරුන් නාගදීප චෛත්‍යය වඳින්ට ගිය ගමනක් ගැන සඳහන්ව තිබේ. එහි කියවෙන්නේ එතුමා තලගුරුපව්ව අසල තිස්සමහාවිහාරයෙහි විසූ බවයි.

මෙතුමන්ගේ බෑනා ව සුධම්මසාමණේරනම පැවිදිවීමට හිසකෙස් බානා අවස්ථාවෙහි රහත්ව ධම්මදින්න තෙරුන්ගේ ධර්‍මකථාවන් අසා තුන්පිටකය උගත්තේ යයි විභංග අටුවාහි පටිසම්භිදාවණ්ණනාවෙහි (4) කියා තිබේ.

  1. “මහාරබ්භකලෙණ” යයි රසවාහිනියෙහි පෙනේ.

  2. රසවාහිනියෙහි ගොධත්‍ථෙර යයි ද මහාවංසටීකාවෙහි ගොධිය මහා තිස්ස යය ද පෙනේ.

  3. මහාවංසකටීකාහි සමුද්දවිහාරවාසී මහානාග ස්ථවිරයයි පෙනේ.

  4. කාළවල්ලි මණ්ඩපවාසී (මහාවංසටීකා)

  5. චොරකණ්ඩක (මහාවංසටීකා) උපරඛණ්ඩ (රසවාහනී)

  6. භාතිය වංක (මහවංසටිකා)

  7. “කප්පලිනාගපබ්බතවාසී” යයි රසවාහිනියෙහි ද “කොටපබ්බතවාසී” යයි මහාවංසටීකායෙහි පෙනේ.

  8. කෛලාශ විහාරය සුවණ්ණභූමියේ සුධම්මපුරය අසළ පිහිටියේය. විස්තර සඳහා “ථෙරවාදී බෞද්ධචාර්‍ය්‍යයෝ” නමැති පොතේ 8-9 පිටු බැලිය යුතු.

  9. මංගණවැසි ඛුජ්ජතිස්ස තෙරුන්ගේ කථාව මෙහි අන්තැනක දැක්වේ. මේ කියවෙන ඛුද්දතිස්ස යන්නත් ඒ සඳහාම යොදන ලදැයි සිතිය හැක.