3. මලියදේව මහතෙර

“මලියදේව” නාමය ලක්දිව ඉතාප්‍ර‍කටය. එතුමා මෙහි සිටි අන්තිම රහත්නම යයි ජනප්‍ර‍වාදයක් තිබෙතත් එතුමන් දුටුගැමුණු කාලයටත් පෙර වැඩසිටි බව පොත්වලින් පෙනේ. සාලිය කුමරු ඉන් පෙර ජාතියේ දී දුන් දනක් පිළිගැනීමට කොටගල වැසි මලියමහාදේවතෙරනම වැඩියේ යයි මහාවංසටීකා - සද්ධර්‍මාලංකාර - රසවාහිනී යන පොත්වල කියවේ. මහාවංසටීකාවෙහි මේ නම පෙනෙන්නේ මලියමහාදේව වශයෙනි. අංගුත්තර ඒකනිපාත අටුවාහි මලියදේව මහාදේව යන නම් දෙකම එක තෙරනමට යොදා තිබේ. එබැවින් මලියමහාදේව යන්නත් ඒ තෙරුන්ටම ව්‍යවහාරවීම නොහැකි නොවේ.

මෙහි මලිය යන්නේ තේරුමක් නැත. මලය යන්නේ තේරුමක් තිබේ. මලයරට උපන් දේව ස්ථවිරතුමා මලයදේව විය හැක. නමුත් මලිය යන්න බොහෝ තැනක ලිය වී තිබෙන බැවින් එය හැරදැමිය හැකි නොවේ. මැඳුම් මඟිඅටුවාහි ඡඡක්ක සූත්‍ර‍වර්‍ණනාවෙහි (1024 පිට) එක් පාඨභේදයක මාලෙය්‍යදේවත්‍ථෙරො යයි පෙනේ. මාලදිවයිනේ උපන් අයකුට “මාලෙය්‍ය” හෝ “මාලිය” නාමය යෙදිය හැකි බැවින් මෙය මාලියදේව නො විය හැකිදැයි විමසිය යුතු. පෙර බෞද්ධ සිංහලයන් විසූ මාලදිවයින්වල උපන් තෙරනමක් මෙහි විසීම සිදුවිය නොහැක්කක් නොවේ.

අංගුත්තර-ඒකනිපාත අටුවාහි මලයදේවතෙරුන් සම්බන්ධයෙන් මේ කථාව පෙනේ:- මලියදේව තෙමේ තුන්වස් ඇති භික්‍ෂුවක් වූ කල කල්ලකගම මණ්ඩලාරාම මහා විහාරයෙහි[1] ධර්‍මය ඉගෙන ගත්තේ ය. එක් දිනක් පිඬු පිණිස හැසිරෙන ඒ භික්‍ෂුනම දුටු එක් උපාසිකාවක් කැඳකිණිස්සක් දී පුත්‍ර‍ස්නේහය උපදවා ගෙයතුළ හිඳුවා ප්‍ර‍ණීතාහාර වලඳවා තොරතුරු විචාරා “ඉගෙනීම කරනතෙක් මම ඔබට උපස්ථානකරමි”යි කීය. නිතර එතැන වලඳන ඒ භික්‍ෂුනම උපාසිකාවට “සුවපත් වේවා, දුකින් මිදේවා” යන වචනවලින් පමණක් අනුමෝදනා කෙළේය. වස් අවසානයේදී භික්ෂුනම සිවුපිළිසිඹියා සමග රහත්ඵලය ලැබී. ආරාමාධිපති මහතෙරණුවෝ “මහාදේවය, අද විහාරයට මහාජනයා රැස්වෙයි, ඔවුන්ට ධර්‍මදානය දෙව”යි කීහ. තරුණ භික්‍ෂූහුත් සාමණේරවරුත් “අද ඔබගේ පුත්‍ර‍යා ධර්‍මදේශනා කරන්නේ යයි උපස්ථාන කළ උපාසිකාවට දැනුම් දුන්හ. එවිට උපාසිකාව “සියල්ලෝ බණ කියන්ට නොදනිති. මාගේ පුත්‍ර‍යා මෙතෙක් කල් “සුවපත් වේවා, දුකින් මිදේවා” යන වචන මිස අන් කිසිවක් කියන්ට අසමර්‍ථවීය”යි කීය. නමුත් සෙස්සෝ “එයින් කම් නැත බණ අසන්ට එව”යි කීහ. මලියදේව තෙමේ ධර්‍මාසනයෙහි හිඳගෙන ත්‍රිපිටකය අලලා ඒ වාක්‍ය දෙකේ අර්‍ථ විස්තර කරමින් රාත්‍රිය ගෙවෙනතෙක් ධර්‍මදේශනා කෙළේය. උපාසිකාව සෝවාන් විය.

මැඳුම්සඟි අටුවාහි ඡඡක්කසූත්‍ර‍වර්‍ණනාවෙහි මෙසේ දැක්වේ:- මලියදේව මහතෙරුන් ලෝමහපායේ පහතමාලයේ දී ඡඡක්ක සූත්‍ර‍ය දෙසූවිට සැටනමක් භික්‍ෂූහූ රහත් වූහ. මහාමණ්ඩපය, සෑගිරිය, ශාක්‍යවංශවිහාරය, කූටාලි විහාරය, අන්තරසොබ්භ, මුතියංගණ, වාතකපර්‍වතය, පැදුම් ගෙය, දිගාවැව, ලෝකකන්‍දරය, ගාමෙණ්ඩවාල යන තැන්හි දෙසූවිටත් සැටනම බැගින් රහත්වූහ. සිතුල්පව් විහාරයට පැමිණ දෙසූවිට හැටවස් පිරි මහතෙර සැටනමක් ද රහත්බව ලැබූහ. ඉක්බිති තිස්සමහාවිහාරයෙහිද කැලණියේ නාගමහාවිහාරයෙහි ද කළු තොට (කාළකච්ඡ) ගමෙහි ද දෙසූවිටත් සැටනම බැගින් රහත්වූහ. මෙසේ මේ තෙරුන් මේ සූත්‍ර‍ය දෙසූ සැටතැනකදී සැටනම බැගින් රහත් වූහ.

මුන්වහන්සේ ලෝහප්‍රාසාදයේ දී දහම් දෙසීයයි කීමෙන් දුටුගැමුණු කාලයට පසුව සිටියාහයි සැකකළ හැකිවේ. අප විසින් මුලදී දක්වන ලද්දේ මෙතුමන් දුටුගැමුණු කාලයට නුදුරු අතීතයෙහි වැඩසිටිබවයි. ලෝහප්‍රාසාදයක් දුටුගැමුණු කාලයට පෙරදීත් තිබුණේය. දේවානම්පියතිස්ස රජු විසිනුත් ලෝහප්‍රාසාදයක් කරවන ලද බව:-

“තතො මහාබොධිඝරං ලොහපාසාදමෙව ච

සලාකග්ගං ච කාරෙසි භත්තසාලං ච සාධුකං”

යන මහාවංසයේ 15 වෙනි පරිච්ඡේදයේ එන ගාථාවෙන් පෙනේ. දුටුගැමුණු රජ ඒ පරණ ප්‍රාසාදය ඉවත්කොට එතැන්හි ඒ නමින් ම මහාප්‍රාසාදයක් කරවීය. ඒ බව “තං හි පච්ඡා විද්ධංසෙත්‍වා දුට්ඨගාමිණී මහාරාජා සුවණ්ණඛචිතං කත්‍වා කාරෙසි” යන මහාවංසටීකා පාඨයෙන් ඔප්පු වේ.

  1. කෑගල්ලේ වට්ටාරම විය හැක.