30. වත්තබ්බක - නිග්‍රෝධ මහතෙර

(බු.ව. 440 - 467 පමණ)

මේ තෙරුන් සාමණේරකල චණ්ඩාලතිස්සභය උපන්නේය. එතුමාත් එතුමාගේ උපාධ්‍යායස්ථවිරතුමාත් මුහුදෙන් එතෙර නොගොස් කොළ කා ජීවත් වන මිනිසුන් වසන ගමක් සොයාගොස් එය ආශ්‍ර‍යකොට වසන්නෙමුයි සිතා පිටිසර දෙසට යන්නාහු සත්දිනකින් ආහාරයක් නොලැබූහ. හැරදමා ගිය ගමක තල්ගසක ගෙඩි තිබෙණු දුටු සාමණේරනම මහතෙරුන් වළකද්දීම ගසට නැග කුඩා පිහියකින් තල්වල්ල කපන්ට පටන්ගති. ඒ අතර පිහියේ තලය ගැලවී බිම වැටුණි. එවිට සාමණේරනම තල්කොළ ඉරා එකට ගැටගසා වැලක් සාදා එය බිමට පාත්කොට “ස්වාමීනි, පිහියාතලය මෙහි බැන්දොත් යෙහෙකැ”යි කීය. තෙරනම සාමණෙරයන්ගේ උපාය ගැන සතුටුව පිහිය තලය බැන්දවිට එය උඩට ගෙන තල්වල්ල කපාහෙළීය. ගසෙන් බැස තල්ගෙඩි කපා තෙරුන්ට පිළිගන්වා තෙමේත් අනුභවකොට තල්ගෙඩි තිබෙන තුරු එහි නැවතී සිට කොළකන මිනිසුන් වසන ගමක් අසළට පැමිණ හැරදැමූ විහාරයක නවාතැන් ගත්හ. තෙරනම විහාරයට ඇතුල්ව උන්නේය සාමණේරනම නිරාහාරව සිටිනමුත් සෑමලුවේ වැටී හිඳගෙන තණකොළ ඉදුරුවේය. වනයට ගොස් මීපැණි සොයාගෙන පලාකොළත් කඩාගෙන එන මිනිස්සු මලුවේ තණ කොළ සෙලවෙනු දැක මුවෙක් දෝ හෝයි සිතා ළංව බලන්නාහු හෙරණුන් දැක පුවත් විචාරා මීපැණි ටිකක් දී තමන් වසන තැනට යන ලකුණුද කියා ගියහ. සාමණේරතැන මීපැණි ගෙන ගොස් පානයක් සාදා තෙරුන්ට දී තෙමේත් බී උදෑසන තෙරුන් සමග මිනිසුන් වසන තැනට ගියේය. මිනිස්සු තමන් අනුභව කරන අල කොළ ආදිය පිළිගැන්වූහ. ඒ මිනිසුන් ආශ්‍ර‍ය කොට ඒ විහාරයෙහි වසන තෙරණුවෝ මා මහලු බැවින් කුමක් සිදුවුවත් කම්නැත; තෝ ජීවිතය රැකගන්නට උත්සාහකරව”යි තෙරණුහට අවවාද කළහ. දුර්භික්‍ෂය නිසා මිනිසුන් මරා කන්නෝ පසුකලක ඒ තෙරුන් මරා කෑහ. නිග්‍රෝධ සාමණෙරතෙමේ ඔවුන්ට අසුනොවී සිට භය සංසිඳුණු පසු උපසම්පන්නව ධර්‍මය ඉගෙන ත්‍රිපිටකධාරීව වත්තබ්බකනිග්‍රෝධස්ථවිර නමින් ප්‍ර‍කට විය. වළගම්බා රජු නැවත රාජ්‍යයට පැමිණි පසු පිටරට ගිය භික්‍ෂූහු නිග්‍රෝධතෙරුන් සොයාගොස් පිරිවරාගත්හ. ස්ථවිරතුමා ඒ භික්‍ෂූන් සමග අනුරාධපුරයට ගොස් මහබෝධියත් මහාසෑයත් ථූපාරාමයත් වැඳ නුවරදෙසට ගියේය. දකුණු දොරටුවට පැමිණෙන්ට මත්තෙන් නව තැනක දී තුන්සිවුරු ලැබුණාහ. නුවර තුළට පැමිණි තැන් පටන් ලැබුණු සත්කාරය අප්‍ර‍මාණ විය. (මෙය ඤාණවිභඞ්ග අටුවාවෙනි)