කාමච්ඡන්ද නීවරණය ය, ව්‍යාපාද නීවරණය ය, ථීනමිඬ නීවරණය ය, උඬච්ච කුක්කුච්ච නීවරණය ය, විචිකිච්චා නීවරණය යයි නීවරණ ධර්ම පසෙකි. නීවරණයෝ නම් යෝගාවචරයනට ධ්‍යාන මාර්ග ඵල ධර්මයන් උපදවා ගැනීමට ලබා ගැනීමට බාධා කරන ධර්මයෝ ය. නීවරණයන් දුරු කර නො ගෙන ධ්‍යානාදි ධර්මයන් කිසිවකුට නො ලැබිය හැකි ය. ධ්‍යානා දිය ලැබීමේ මහත් බලාපොරොත්තුවෙන් පන්සල් ජීවිතය හැර අරණ්‍යගත ව භාවනා කරන්නා වූ බොහෝ පැවිද්දන්ට අවුරුදු ගණනක් දුක් ගෙන ද උපචාර සමාධි මාත්‍රයක්වත් ලබන්නට නො හැකි වන්නේ ඔවුන් කෙරෙහි ඇති නීවරණයන් නිසා ය.
නීවරණයන් ගෙන් ගහණ වූ සිත් ඇති බොහෝ යෝගාවචරයෝ තමන් කෙරෙහි නීවරණයන් ඇති බව පවා නො දනිති. පන්සල් ජීවිතය හැර අරණ්‍යයට ගියා වූ භික්ෂු තෙමේ අරණ්‍යයට ගිය පමණින් තමා ශුද්ධ වූයේ ය යි සිතයි. නීවරණයන් නිසා සමාධිය නො ලබන්නා වූ ඒ භික්ෂු තෙමේ තමාට සමාධිය නො ලැබීම ගැන අනිකක් සිත යි. මෙය බොහෝ යෝගාවචරයන්ට වරදින කරුණෙකි. නීවරණ දුරු කර ගැනීම තබා තම තමන් කෙරෙහි ඒවා ඇති නැති බව තේරුම් ගැනීම පවා ඉතා දුෂ්කර කාරණයෙකි. කවර ආකාරයකින් වුවත් යෝගාවචරයන් විසින් නීවරණ තුනී කර ගත යුතු ය. එසේ නො කොට කොතෙක් කල් අරණ්‍යයේ සිටියත් කොතෙක් දුක් ගත්තක් කොතෙක් භාවනා කළත් භාවනාවෙන් බලාපොරොත්තු වන ඵලය නො ලැබිය හැකි ය. එබැවින් සෑම යෝගාවචරයකු විසින් ම නීවරණයන් ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු ය. නීවරණ මනස්කාරය භාවනාවක් වශයෙන් දක්වා තිබෙන්නේ ද එ හෙයිනි.