ස්තුති පූජාව

මල් පහන් සුවඳ දුම් කොඩි ආහාර පාන වස්ත්‍රාදිය මෙන් ම ස්තුතිය ද පූජා කළ යුතු දෙයකි. ගරු කළ යුත්තන්ට උත්තමයන්ට පූජා කරනුයේ ජනයා කැමති වන උසස් කොට සලකන වස්තූන් ය. ස්තුතිය ජනයා බෙහෙවින් කැමති වන උසස් කොට සලකන දෙයකි. සැලකිය යුතු උසස් පුද්ගලයන්ට, හිතවතුන්ට යම් යම් අවස්ථාවලදී තුතිපත් පිරිනමන්නේ එහෙයිනි. අන්‍යයන්ගෙන් ස්තුති ප්‍ර‍ශංසා ලැබීම අඩු ඇතැම්හු තමන් ගුණ වර්ණනාව කරවා ගැනීමට වන්දිභට්ට නමින් සේවකයන් කොටසක් තබා ගෙන සිටියහ. ඔවුහු සුදුසු අවස්ථාවල රජුන්ට ස්තුති ගී කියති. රජුන් ගමන් කිරීමේදී ඉදිරියෙන් පිටිපසින් තුති ගී කියමින් ගමන් කරති. මල් පහන් ආදියට වඩා ජනයා කැමති වන ස්තුති පූජාව බොහෝ අනුසස් ඇති පිනෙකි. වන්දනා ගාථා වන්දනා වාක්‍ය පිළියෙළ කර ඇත්තේ ගාථා නැති ව නො වැඳිය හැකිවාට පූජා නො කළ හැකිවාට නොව ස්තුති පූජාව සඳහා ය. රත්නත්‍ර‍යට ස්තුති වශයෙන් ගුණ කථනය කරන්නහුට එයින් වචනයක් පාසා පින් සිදු වේ. බොහෝ වචන ඇති වන්දනාවක් කියුව හොත් බොහෝ පින් සිදු වේ. ම් කාහට වුවත් වියදමක් නැති ව කළ හැකි උතුම් පින් කමෙකි. මෙයින් කල්ප අනූ සතරකට පෙර ලෝ පහළ වූ සිද්ධත්ථ සර්‍වඥයන් වහන්සේට සේන නම් බ්‍රාහ්මණයෙක් ගාථා සතරකින් ස්තුති කෙළේ ය. ඒ ගාථා මෙසේ ය.

1. උසභං පවරං වීරං මහේසිං විජිතාවිනං,

සුවණ්ණ වණ්ණං සම්බුද්ධං කෝ දිස්වා නප්පසීදති.

.

2. හිමවා පරිමෙය්‍යොව සාගරොව දුරුත්තරෝ,

තථෙව ඣානං බුද්ධස්ස කෝ දිස්වා නප්පසීදති.

.

3. වසුධා යථා අප්පමෙය්‍යෝ චිත්තා වන වටංසකා,

තථෙව සීලං බුද්ධස්ස කෝ දිස්වා නප්පසීදති.

.

4. අනිලජෝව සඞ්ඛෝභෝ යථාකාසෝ අසඞ්ඛියෝ,

තථෙව ඤාණං බුද්ධස්ස කෝ දිස්වා නප්පසීදති.

සර්‍වඥයන් වහන්සේට එසේ ස්තුති කිරීමේ පිනෙන් ඒ බ්‍රාහ්මණ තෙමේ අනූ සතර කපක් ම දෙවි මිනිස් දෙගතියේ සම්පත් විඳ අප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදිව සව්කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියේ ය. මේ අපදාන පාලියේ එන කථාවෙකි. එහි මෙය පරප්පසාදකථෙර අපදාන යන නමින් දැක් වේ.

මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර සෝභිත නම් බ්‍රාහ්මණයෙක් පදුමුත්තර සර්‍වඥයන් වහන්සේට ස්තුති කළා වූ පිනෙන් කල්ප ලක්‍ෂයක් දෙව් මිනිස් දෙගතියේ අනේකප්‍ර‍කාර සම්පත ලබා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සාගත යන නමින් පැවිදිව සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ සසර දුක් කෙළවර කළ බව ද අපදාන පාලියේ දැක් වේ. ඒ බ්‍රාහ්මණයාගේ ගාථා සතර මෙසේ ය.

1. යේ කේචි පාදපා සබ්බේ මහියා තේ විරූහරේ,

බුද්ධිමන්තෝ තථා සත්තා රූහන්ති ජින සාසනේ.

.

2. සත්ථාවාහෝසි සප්පඤ්ඤෝ මහේසි බහුකේ ජනේ,

විපථා උද්ධරිත්වාන පථං ආචික්ඛසේ තුවං.

.

3. දන්තෝ දන්ත පරිකිණ්ණෝ ඣායී ඣානරතේහි ච,

ආතාපී පහිතත්තේහි අපසන්තේහි තාදිහි.

.

4. අලංකතෝ පරිසාහි පුඤ්ඤ ඤාණේහි සෝභසි,

පභා නිද්ධාවතේ තුය්හං සූරියෝදයනේ ගාථා.