යටකී පරිදි බුදුරජාණන් වහන්සේ කොසඹෑ පුරයෙන් නික්මුණු පසු එහි වැසි උපාසකවරු “භික්ෂූන් ගේ අසමගි බැවින් විවාද හේතුවෙන් බුදුරජාණන් වහන්සේ ඉන් පිටත් වූ සේකැ” යි සිතා කලහකාරී භික්ෂූනට සත්කාර නැවැත්වූහ. ඒ භික්ෂූහු ද ආහාර නැති බැවින් පීඩිත ව ටික දිනෙකින් ම සමග වූහ. ඉක්බිති උපාසකවරුනට ඒ බව දැන්වූ හ. “භාග්‍යවතුන් වහන්සේ කමා කරවා ගත් පසු පෙර මෙන් ම අපි ඔබට සලකන්නමු” යි ඔහු කීහ. භික්ෂූහු ද වස් කාලය බැවින් පිටත යෑනො හැකි වැ ඒ තුන් මස ආනන්දාදි අන් තෙරුනට ලැබෙන ආහාර පානාදියෙන් යැපෙමින් දුක සේ ගත කළ හ.
භාග්‍යවතුන් වහන්සේ ඇතකු ගේ උපස්ථාන ඇති ව පාරිලේයක වනයෙහි වසන බව දඹදිව පතළ වී ය. සැවැත් නුවරින් අනේපිඬු සිටු, විශාඛා උපාසිකා ආදී ප්‍රභූහු භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා ගෙනෙන ලෙස අනඳ තෙරණුවනට පණිවුඩ එවූහ. දිශාවාසි පන්සියයක් පමණ භික්ෂුහු ද වස් පවරා කොසඹෑ නුවර වුසූ අනඳ තෙරුන් වෙත එළැඹ “ස්වාමීනි, අපට භාග්‍යවතුන් වහන්සේ ගෙන් දහම් අසන්නට සැලැස්සුව මැනැවැ”යි අයැදූ හ.