ද්‍රෝණ බමුණාට වදාළ බණ

එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නුවරටත් සේතව්‍යා නුවරටත් අතරැ මහ මඟින් වඩනා සේක් රුක් සෙවණකට වැඩ ටික වේලාවක් විවේකී වැ හුන් සේක. මේ වේලාවේදී ඒ මඟින් යන ද්‍රෝණ නම් බමුණෙක් එහි කිසි තැනෙක භාග්‍යවතුන් වහන්සේ ගේ අඩි සටහන දුටුයේ ය. අන් අයගේ පිය සටහන්වලත් මෙහිත් වෙනසක් දැක විමසනුයේ “මෙය නම් අපූරු එකෙක. මෙය කාගේ පිය සටහනෙක් දැ”යි විපරම් කරනුයේ, ඒ අහළ රුක් සෙවණෙක වැඩ ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටී ය. “පෙර කිසි කලෙක නොදුටු විරූ අපූර්ව රූපශෝභායෙන් යුත් ශාන්ත පෙනුමක් ඇති මේ තැනැත්තා කවරෙක් දැ?” යි දැනගනිමි” යි සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ කථාකරනුයේ,

“ඔබ දෙවියෙක් දැ?” යි ඇසී ය.

“නැත” යි උත්තරය විය.

“ඔබ ගාන්ධර්වයෙක් ද?”

“නැත,”

“ඔබ යක්ෂයෙක් ද?”

“නැත.”

“ඔබ මනුෂ්‍යයෙක් ද?”

“නැත.”

භාග්‍යවතුන් වහන්සේ දුන් උත්තරවලින් ඔහුට කිසිත් වටහාගත නො හැකි වැ, මා ඇසූ හැම ප්‍රශ්නයටම ඔබ නැතැ”යි කියති. ඔබ ඒ කී “දෙවි ආදී කිසිවෙකුත් නො වෙත් නම් කවරෙක් දැ?” යි යළිත් බමුණා ප්‍රශ්න කෙළේ ය.

“ඔබ කියන දේව ගාන්ධර්ව යක්ෂ මනුෂ්‍ය යන නම් ලබන අය තුළ පවත්නා ආස්‍රව (කෙලෙස්) කිසිවකුත් මා තුළ නැත. එ බැවින් මම් ඒ කිසිවෙක් නො වෙමි. ඔවුන් තුළ පවත්නා ඒ සියලු ආස්‍රවයෝ මුලින් ම නැසූ, දත යුතු සියල්ල අවබෝධ කළ මම් “බුද්‍ධ” නම් වෙමි. දියෙහි හැදුණු වැඩුණු නෙළුම් මල් දියෙන් ඉහළ නැඟ දිය ස්පර්ශ නො කොට (වතුරේ නො ගැවී) සිටුනා සේ, ලොවැ මිනිසුන් මැද උපන්නත් ඔවුන් කෙරෙහි පවත්නා කෙලෙස් දුරු කොට ඔවුන්ගෙන් ඉහළ නැග ඔවුනට නොබැඳී සිටිමි. එසේ වූ මා බුද්‍ධ නැමැ”යි දත යුතු යැ”යි වදාළ සේක. බමුණා පැහැද බුදුරජුන් සරණ ගිය උපාසකයෙක් වී ය.