එක් සමයෙක අන්‍ය තීර්ථකයන් ගේ උපාසකවරු තම පුත්‍රයන් බෞද්ධෝපාසකයන් ගේ දරුවන් හා රැස් ව ක්‍රීඩා කරන්නවුන් දැක ඔවුන් ගෙට ආ විට “තොප ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයනට වැඳුම් පිදුම් නො කළ යුතුයි, ඔවුන් ගේ විහාරයට වත් නො යෑ යුතු යැ” යි කියා එය නොකරන ලෙසට ඔවුන්ගෙන් දිවුරුම් ගත් හ. දිනක් ඒ ළමෝ ජේතවන විහාර දොරටුව සමීපයෙහි පිටත රැස් ව සෙල්ලම් කළහ. ක්‍රීඩා කොට වෙහෙසී පිපාසිත වූ ඔහු “නුඹ ගොස් පැන් බී අපටත් ගෙනෙන්නැ”යි කියා එක් බෞද්‍ධ දරුවකු විහාරයට යැවූ හ. හෙ තෙම විහාරයට වැද බුදුරජාණන් වහන්සේ වැඳ පැන් බී, පැන් ගෙන යන්නටත් ඕනෑ බව දැන්වී ය. එ විට බුදුරජාණන් වහන්සේ “නුඹ ගොසින් එහි සෙසු ළමයිනුත් පැන් බොන්නට මෙහි ම එවන්නැ”යි වදාළ සේක. හෙ තෙමේ ද එ සේ ම කෙළේ ය. බුදුරජාණන් වහන්සේ එහි පැන් බීමට ආ මිසදිටු ළමුන් කැඳවා ධර්ම කථායෙන් අවවාද කොට පහදවා තිසරණ පන්සිල්හි පිහිටුවා ලූ සේක. එ ළමෝ ගෙවලට ගොස් එපවත් මා පියනට කීහ. ඔහු “අපේ දරුවෝ නො මඟැ ගියහ” යි දොම්නස්ව හැඬුවෝ ය. සමීප ගෘහවාසීහු අවුත් ධර්මාවවාද කොට ඔවුන්ගේ ශෝකය නිවූ ය. ඔහු ද සතුටු ව “මේ ළමුන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ට ම දෙම්හ” යි මහත් නෑ සමූහයා හා එක් ව ඒ දරුවන් විහාරයට ගෙන ගොස් බුදුරජාණන් වහන්සේ ට බාර කළහ. බුදුරජාණන් වහන්සේ ද ඔවුනට දම් දෙසූ සේක. දේශනාවසානයෙහි එ සියලූ මිසදිටු පිරිස තිසරණයෙහි පිහිටා බෞද්ධෝපාසක වූහ. ඉක්බිති ඔහු නැවත බණ දහම් ඇසීමෙන් නුවණ මුහුකුරුවා සෝවාන් පෙළෙහි පිහිටියහ.