ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම

විසිවන වස පමණේ දී වජ්ජිරට දුර්භික්ෂයෙක් විය. එයින් එහි වුසූ සුදින්න භික්ෂු වෛශාලි පුරයට නික්ම ගියේ ය. එහි කලන්ද ග්‍රාමයෙහි සිය පියා ගේ ගෙට පැමිණි දෙවෙනි දිනෙහි ම පෙර ගිහි කාලයෙහි භාර්යයා වැ සිටි ස්ත්‍රිය ගේ උපායට හසු විය. ඒ කාරණයේ දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් රැස් කරවා ප්‍රථම පාරාජික ශික්ෂ පදය පැණැවූ සේක. බුදු වූ තැන් පටන් කොට මුල් විසි වර්ෂයෙහි භාග්‍යවතුන් වහන්සේ ඕවාදපාතිමොක්ඛය දෙසූ සේක.

ඕවාද පාතිමොක්ඛය නම්,

“සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා

සචිත්තපරියොදපණං - එතං බුද්ධාන සාසනං”

.

“ඛන්තී පරමං තපො තිතික්ඛා

නිබ්බානං පරමං වදන්ති බුද්ධා

න හි පබ්බජිතො පරූපඝාතී

න සමණො හොති පරං විහෙඨයන්තො”

.

“අනුපවාදෝ අනුපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො

මත්තඤ්ඤුතා ච හත්තස්මිං පන්තං ච සයනාසනං

අධිචිත්තේ ච ආයෝගෝ එතං බුද්ධාන සාසනං”

යන මෙය යැ.

මෙහි අර්ථය: “සියලූ අකුසලින් දුරු වීම, කුසල් කිරීම හා දියුණු කිරීම, තමාගේ සිත පිරිසිදු කිරීම යන මේ බුදුවරයන්ගේ අනුශාසන යි.”

“ඉවසීම මේ සස්නෙහි උතුම් තපස යි, බුදු පසේ බුදු මහ රහත් හු නිර්වාණය උතුම්කොට කියත්. අන්හට හිංසා පීඩා කරන්නා පැවිද්දෙක් ශ්‍රමණයෙක් නො වේ.

“උපවාද නො කිරීම, හිංසා පීඩා නොකිරීම, ප්‍රාතිමුඛ්‍ය (ශික්ෂාපද) ශීල ඉන්ද්‍රිය සංවර ශීල දෙක රැකීම, භෝජනයෙහි පමණ දැනීම (ආජීව පාරිශුද්‍ධි ශීලය හා ප්‍රත්‍යය සන්නිඃශ්‍රිත ශීලය), විවේක සෙනස්නෙක විසීම, අෂ්ට සමාපත්තීන් ලැබීමෙහි විර්‍ය්‍ය වැඩීම යන මේ දෑ කළ යුතු’ ය යනු බුදුවරයන් ගේ අනුශාසන යි.”

බුද්‍ධත්වයෙන් විසි වන හවුරුද්දෙහි වර්ෂර්තුයෙන් පසු සැවැත් නුවර වසන සේක්, මේ ඔවාදපාතිමොක්ඛය නවතා ආණපාතිමොක්ඛය දෙසීමට අණ කළ සේක. එයට හේතුව නම්: සැවැත් නුවරැ පූර්වාරාමයෙහි පසොළොස්වක් පොහෝ දිනෙක රාත්‍රියෙහි බුදු රජාණන් වහන්සේ භික්ෂු සමූහයා පිරිවරා හුන්සේක. ප්‍රථම යාමය ගත වූ කල අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ වැඳ, ප්‍රථම යාමය ඉක්ම ගිය බවත් භික්ෂු සංඝයා බොහෝ වේලා ඉඳගෙන හුන් බවත් කියා, පාමොක් දෙසීමට ආයාචන කළහ. එහෙත් බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම්භූතව හුන් සේක. දෙවෙනි යාමය ගත වූ විටත් අනඳ තෙරණුවෝ එ බව දැන්වූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම්භූත වැ හුන්සේක. නැවත අන්තිම යාමය ගත වැ අරුණු නැඟී කල්හි ද, අනඳ තෙරණුවෝ පළමු සේ ම දැන්වූහ. තෙවෙනි වරැ “ආනන්දය, පිරිස අපිරිසුදු යැ”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

එවිට කිනම් පුද්ගලයකු සලකා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක් දැයි නුවණින් බලන මුගලන් තෙරණුවෝ භික්ෂු සමූහයා අතරෙහි හුන් දුශ්ශීල පුද්ගලයකු දුටුහ. දැක උහු වෙත එළැඹ, “ඇවැත, නැගිටින්න. යුෂ්මතා භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, භික්ෂූන් හා එක්වැ විසීමෙක් යුෂ්මත්හට නැතැ”යි වදාළහ. හෙ තෙම නොම නැගිට්ටේ ය. දෙවෙනි තෙවැනි වාරයන්හි ද නැඟිට යන්නට කී නමුත් හේ එය නො තැකී ය. ඉක්බිති මුගලන් තෙරණුවෝ ඔහු අත අල්ලා දොරින් පිටත යවා දොර වසා යතුරු ලා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඒ පවත් දන්වා පාමොක් දෙසීමට ආයාචන කළහ.

“මෞද්ගල්‍යායනය, ආශ්චර්‍ය්‍ය යි! ඒ පින් මඳ පුද්ගලයා තම අත අල්ලා පිට කරන තුරුත් රැඳුණේ වේ දැ” යි වදාරා දම් දෙසන සේක්, මුහුදේ ආශ්චර්‍ය්‍ය ධර්ම අටක් ඇති නියාත් සස්නෙහිත් එසේ ම ආශ්චර්‍ය්‍ය ධර්ම අටක් ඇති නියාත් දෙසූ සේක.