සරභ නම් භික්ෂු සිවුරු හැර පරිව්‍රාජක ව බුද්‍ධ ධර්මය තමා හොඳින් දත් බවත්, එය දැන ම තමා බුදු සස්න හළ බවත් මහජනයා මැද කියා ඇවිදී. රජගහ පුර පිඬු පිණිස හැසිරෙන භික්ෂූහු ඒ කථාව අසා අවුත් භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. සැළ කොට සප්පිනිකා නදී තීරයෙහි වූ ඒ පිරිවැජියන් ඉන්නා ආරාමයට වඩින්නට අයැදූහ. භාග්‍යවතුන් වහන්සේ ද එහි වැඩ පැණවූ අනෙහි හුන් සේක.
හිඳ සරභ පරිව්‍රාජකයා අමතා ඔහු එසේ කියන බව සැබෑ දැ යි විචාළ සේක. පිරිවැජි තෙම නිශ්ශබ්ද විය. “සරභය, කියව, තොප විසින් ශ්‍රමණශාක්‍ය පුත්‍රයන් ගේ ධර්ම ය කුමක් හැටියට දැන ගන්නා ලද ද? ඉතින් තොප ගේ දැනීම අසම්පූර්ණ නම් ඒ අඩු හරිය මම් සම්පුර්ණ කැර දෙන්නෙමි. ඉදින් තොප ගේ දැනීම සම්පූර්ණ නම් මම එය මැනැවින් පිළිගන්නෙමි. කියව”යි වදාළ සේක.
තුන් වන වර දක්වා ඇසූ නුමුත් හේ කර බා ගෙන ම නිහඬව උන්නේය. සෙසු පිරිවැජියෝ සරභයා අමතා “ඔබ ශාක්‍ය පුත්‍රීය ධර්මය තේරුම්ගත් නියාව කියන්නැ”යි කීහ. හේ නිහඬව ම බිම බලාගත් වන ම හුන්නේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ගේ සම්‍යක් සම්බුද්ධත්වයේ අඩුවක් හෝ ආස්‍රව ක්‍ෂයයේ අඩුවක් හෝ ධර්මයේ අනෛර්යයාණික බවක් කිසි ද කෙනකු විසින් සකාරණව පැවැසිය නොහැකි නියාව වදාරා දහම් දෙසා එ තැනින් ම අහස් නැඟ නික්මි සේක. භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි පසු පිරිවැජියෝ සරභයාට රළු පරොස් බසින් බැණ වැදුණහ.
ඒ පිරිස් මැද දී භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අසා මහත් පිරිසක් ධර්මාභිසමය ලැබූ හ.