ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහ පුරයෙන් භික්ෂු සඞ්ඝයා සහිත ව පිටත් ව චාරිකායෙහි යෙදුණු සේක්, රාජගහ නාලන්දා යන දෙ නුවර අතර වූ අම්බලට්ඨිකා නම් උයනෙහි රජහු පිණිස කරවා තුබුණ ගෘහයට වැඩි සේක. පිරිනිවන් පෑමට සමීප වූ කාලය බැවින් “ශීලය මෙ සේ ය. ප්‍රඥාව මෙසේ ය. ශීලයෙහි පිහිටා වැඩූ (විදර්ශනා) ප්‍රඥාව මහත් ඵල ඇත. (විදර්ශනා) ප්‍රඥායෙහි වැඩූ සිත කාමාශ්‍රව, භවාශ්‍රව, දෘෂ්ට්‍යාස්‍රව, අවිද්‍යාශ්‍රව යන මොවුන්ගෙන් මනා ව මිදෙතැ” යි මේ කථාව ම බෙහෙවින් වදාළ සේක.
අම්බලට්ඨිකායෙන් නාලන්දාවට
නැවැත අම්බලට්ඨිකායෙන් පිටත් ව භික්ෂු පිරිස සහිත වූ භාග්‍යවතුන් වහන්සේ නාලන්දා පුරයට වැඩ එහි පාවාරික අඹ වනයෙහි වුසූ සේක. එහිදී බොහෝ සෙයින් ශීල සමාධි ප්‍රඥා කතාව ම වදාළ සේක.