“මුගලන් තෙර දෙව්ලොව ද නිරයේ ද ඇවිද අවුත් සත්වයන් කළ පින් පව් හා ඒවායේ විපාක මිනිස්නට කියයි. එ හෙයින් මිනිස්සු ශ්‍රමණ ගෞතමයනට මහත් සත්කාර කරති. එ බැවින් මුගලන් තෙරහු මරා දැමීම යුතු ය”යි කියා තීර්ථකයෝ කුමන්ත්‍රණ කළහ. ඉක්බිති ඔහු සිය දායකයන්ගෙන් සමාදන් කොට කහවණු දාහක් ලබා පල් සොරුනට දී ඒ සමයෙහි කාලසිලා පර්වතයෙහි වුසූ මුගලන් තෙරුන් මැරීමෙහි ඔවුන් මෙහෙයූහ. සොරු ද එහි ගොස් උන් වහන්සේගේ වාසස්ථානය පිරිවැරූහ. උන් වහන්සේ ඒ බව දැන ස්වීය ඍද්‍ධි බලයෙන් කෙසි සිදුරෙන් නික්ම වැඩියහ. සොරහු ද තෙරුන් නො දැක ගොස් තවත් දිනෙක අවුත් එ සේම වැටලූහ. එදා පන්සලෙහි කැණිමඬල බිඳ අහස් නැඟ වැඩියහ. මෙසේ එ දෙ වරෙහි ම සොරුනට සිය අදහස සිදු කළ හැකි නො වීය. තුන් වන වාරයෙහි තෙරහු තමන් කළ පාප කර්මයෙක නො වැළැක්විය හැකි සේ විපාකය එළැඹ සිටි බව දැන පිටත නො ගොස් එහි ම හුන්හ. එ කල සොරු විත් උන් වහන්සේ තළා ඇට පොඩි කොට දමා “මළහ” යි සිතා පඳුරක් මත්තේ හෙළා පලා ගියහ. තෙරණුවෝ ධ්‍යාන බලයෙන් ශරීරය ස්ථිර කොට ගෙන අහසින් රජගහ පුර වැඩ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ තමන් කාලශිලා ප්‍රදේශයෙහි දී පිරිනිවන් පානා බව දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ ද ධර්මයක් දේශනා කරන ලෙස තෙරුනට වදාළහ. තෙරණුවෝ ද නොයෙක් සෘද්‍ධි ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා බණ වදාරා භාග්‍යවතුන් වහන්සේ ගේ පා මුලැ වැටී වැඳ අවසර ගෙන කාලශිලා වනයට වැඩ එහි දී පිරිනිවන් පෑහ. මෙය වූයේ සැරියුත් තෙරුණුවන් පිරිනිවුණු තන් පටන් දෙ සතියකින් පසු අව පසළොස්වක දා ය.
සැවතින් රජගහ පුර වැඩීම
බුදුරජාණන් වහන්සේ මුගලන් තෙරුන් ගේ ද ධාතුන් ගෙන චෛත්‍යයක් කරවා රජගහ පුරයෙන් පිටත් ව පිළිවෙළින් වඩනා සේක්, ගංගානදී තීරයට පැමිණ එහි හිඳ සැරියුත් මුගලන් දෙ නම ගේ පිරිනිවීම මුල් කොට ගෙන බණ වදාරා නැඟී සිට එහි දකුණු දිග උක්කවේලා නිගමයට වැඩි සේක.