චාපාල චෛත්‍යයේදී මරුගේ ආයාචනය

විසල් පුර වැඩීම

ඉන් නික්ම වඩනා භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි විසල් පුරයට සම්ප්‍රාප්ත ව එහි පිඬු පිණිස හැසිර සවස් වේලෙහි චාපාල චෛත්‍යය වෙත එළැඹුණ සේක. එළැඹ පැණැවූ අස්නේ හුන් සේක්, එහි දී අනඳ තෙරුන් අමතා සතර සෘද්‍ධිපාදයන් වැඩු තැනැත්තහු විසින් කැමැති නම් කල්පයක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකි බව තුන් වරක් ම වදාළ සේක. වසවත් මරු අනඳ තෙරුනට භයංකර අරමුණක් දැක්වීමෙන් උන් වහන්සේ එය බලා හුන්හ. භාග්‍යවතුන් වහන්සේට තව දීර්ඝ කාලයක් වැඩ ඉන්නා ලෙස ආයාචනය කිරීමට අමතක විය. ඉක්බිති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන ගොස් රුක් මුලෙක හුන්හ.

අනඳ තෙරුන් නික්ම ගිය නො බෝ වේලාවෙකින් වසවත් මර භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ පසෙක සිට පරිනිර්වාණයට කාලය බව දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ ද මරහු අමතා එ තන් පටන් තුන් මසක් ගතවූ තැන පිරිනිවන් පානා බව වදාළ සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මෙ තුන් මසෙහි පමණක් සමවත් සමවැද ඉන් පසු එයට නො සමවදින්නෙමි” යි සිතින් නියම කැරැ ගත් සේක. (ආයුස්සංස්කාරය හළ සේක.) එ කෙණෙහි බිහිසුණු භූමිකම්පාවක් වි ය. අහස ගිගුරුම් ද ඇති විය. එ බව සලකා භාග්‍යවතුන් වහන්සේ එ වේලෙහි,

“බුද්‍ධ මුනි තෙම පුනර්භවය ඇති කරන කර්ම නිරාලය ව හැර දැමී ය. රණ බිමෙක මහා යෝධයකු සන්නාහයක් බිඳ ලන්නා සේ විදර්ශනා භාවනායේ ඇලුණේ ශමථ භාවනා වශයෙන් සංහිඳුණේ ආධ්‍යාත්මික ක්ලේශ රාශිය බිඳැලී ය. ප්‍රහීණ කෙලෙස් ඇත්තහුට බියෙක් නැත. ඒ බැවින් අභීත ව ම බුද්‍ධ මුනි තෙම ආයුස්සංස්කාරය හළේ යැ”යි 217 මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.

භූමිකම්පා හේතු අට

සිදු වූ භූමිචලනය දැක අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් භූමිකම්පාවට හේතු විචාළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ධාතු ක්ෂෝභයෙන් ද, මහ පින්වතුන් ගේ සෘද්ධ්‍යානුභාවයෙන් ද, බෝධිසත්ත්වවරුන් ගේ ප්‍රතිසන්ධියෙහි දී ද, බිහිවීමේ දී ද, බුදු වීමේ දී ද, ධම්සක් පැවැත්වීමෙහි දී ද, බුදු රදුන් ගේ ආයුස්සංස්කාර හරණයෙහි දී ද, පරිනිර්වාණයෙහි දී දැ”යි යන අට කාරණයෙන් පෘථිවි චලනය වන බව වදාළ සේක.

අනඳ තෙරුන් ගේ ඉල්ලීම

ඒ අසා අනඳ තෙරණුවෝ ශෝක භරිත ව කපක් ජීවත් වන ලෙස ආයාචනා කළහ. “ඒ ආයාචනය කළ යුතු වූයේ එයට පෙර ආයුස්සංස්කාරය හරින්නට පළමු වෙනැ” යි වදාරා එය ප්‍රතික්ෂේප කොට තුන් මසෙකින් පිරිනිවන් පානා බව වදාළ සේක.

කූටාගාර ශාලාවට වැඩීම

මෙයට පසු භාග්‍යවතුන් වහන්සේ මහා වනයෙහි කූටාගාර ශාලාවට වැඩි සේක. වැඩ, විසාලා පුර හාත්පස සිටින සියලු භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස් කරවන්නට අනඳ තෙරුනට නියෝග කළ සේක. භික්ෂූන් රැස් වූ පසු භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩි සේක. එ හිදී ඔවුනට සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්‍ධිපාද පඤ්චේන්ද්‍රිය, පඤ්චබල, සප්තබොද්ධ්‍යංග, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග යන මේ තමන් වහන්සේ ම දැන වදාළ බෝධි පාක්ෂික ධර්ම මනාව ඉගෙන පුරුදු පුහුණු කටයුතු බව විශේෂයෙන් වදාරා.

“මහණෙනි, කරුණායෙන් ඔබ හැම දෙනාට කියමි. සියලු සංස්කාරයෝ නැසෙන ස්වභාව ඇත්තෝ ය. එළැඹ සිටි සිහි ඇතිව ගුණ දම් වඩවු. ළඟ දී තථාගතයන් ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තුන් මසක් ගිය තැන තථාගත තෙම පිරිනිවෙන්නේ යැ”යි 218 වදාළ සේක.

ප්‍රජාවතීගෞතමී යශෝධරා දෙනම පිරිනිවන් පෑම

මේ සමයෙහි ම ප්‍රජාවතීගෞතමී මහා ස්ථවිරි ද එයින් පසු යශෝධරා මහාස්ථවිරී දැ යි යන දෙනම ද අවුත් භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන පෙළහර පා දම් දෙසා පිරිනිවන් පෑහ.