කුසිනාරාව දක්වා ගමන

භාණ්ඩ ග්‍රාමයට වැඩීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙන් භාණ්ඩග්‍රාමයට වැඩි සේක. වැඩ එහි දී ආර්‍ය්‍ය ශීල, ආර්‍ය්‍ය සමාධි, ආර්‍ය්‍ය ප්‍රඥා, ආර්‍ය්‍ය විමුක්ති යන සතර ධර්මයන් අනුබෝධ ප්‍රතිවේධ නො කිරීම් හේතුයෙන් තමන් වහන්සේත් භික්ෂු සමූහයාත් දික් සසර හැසුරුණු බවත්, එහෙත් දැන් එ සතර ධර්මයෙන් අනුබෝධ ප්‍රතිවේධ කළ බවත්, තෘෂ්ණාව සුන් කළ බවත්, එ හෙයින් ඉන් මතු භවයක් නැති බවත් වදාළ සේක. එහි වැඩ හිඳිමින් ශීල සමාධි විමුක්තීන් පිළිබඳ කථායෙන් ම කල් ගෙවූ සේක.

අම්බග්‍රාමදිය පසු කිරීම

එයින් පිටත්ව පිළිවෙළින් හස්තිග්‍රාමය, ආම්‍රග්‍රාමය, ජම්බුග්‍රාමය යන ගම් පසු කොට භෝගනගරයට වැඩ එහි ආනන්දචෛත්‍ය ස්ථානයෙහි වුසූසේක. එහි දී භික්ෂූනට සතර මහා අපදේශයන් 219 වදාළ සේක.

පාවා නුවරට වැඩීම

එහි ටික දිනක් වැස ඉන් පිටත්ව පාවා නුවරට වැඩ එහි චුන්දකාර්මාර පුත්‍රයා ගේ අඹ වනයෙහි වූ විහාරයෙහි වුසූ සේක. චුන්දකාර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වැඩි බව අසා එහි ගොස් වැඳ පසෙක උන්නේ ය. ඔහුට බුදුරජාණන් වහන්සේ බණ වදාළ සේක. සතුටු වූ චුන්ද තෙම දනට නිමන්ත්‍රණය කොට ගොස් පසු දා බුද්‍ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මධුර වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සංග්‍රහ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ භෝජනාවසානයෙහි චුන්දයාට අනුමෝදන බණ වදාරා එයින් නික්ම වැඩි සේක.

රෝගය මතුවීම

පෙරැ බේලුව ගම දී ලෝහිත පක්ඛන්දිකා රෝගය හට ගත් විට භාග්‍යවතුන් වහන්සේ එය දස මසක් ම නො හට ගන්නා ලෙස අධිෂ්ඨාන කොට සමාපත්ති බලයෙන් මැඩලූ සේක. ඒ දස මස ගත වූ බැවින් සැඟවී තුබුණු රෝගය මතුවිය. ඒ මතු වූයේ චුන්දයා ගේ දානය වැළැඳීමෙන් පසුය. එහෙත් චුන්දයාගේ සිනිඳු වූ බොජුන් වැළැඳි හෙයින් රෝගය මුල දී මෙන් බලවත් ව නො නැංගේ ය. එ භෝජනය නො වැළඳු සේක් නම් එ දින රෝගය ඉතා බලවත් ව දරුණු ලෙස නැඟෙන්නේ ය. සමාපත්ති බලයෙන් එ දිනත් එය මැඩ පැවැත්විය හැකි වුවත්, බුද්‍ධ ශරීරය පවා රෝග පීඩාවනට ගොදුරු වන බවට සිය සිරුර ම ආදර්ශ කොට පෙන්වා භවය කෙරෙහි සිය සව්වන් කළකිරුවීමෙහි අදහසින් ටික වේලාවක් රෝගය එසේ ම තිබෙන්නට ඉඩ හැරි සේක.

පුක්කුස නම් මල්ලරාජ පුත්‍රයා පැහැදීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස කැටුව කුසිනාරා පුරයට වඩනා සේක්, ක්ලාන්ත බව දන්වා මහ රුකක් මුල හිඳගත් සේක. එසේ හිඳ පිපාසා ඇති බව වදාරා අනඳ තෙරුන් ලවා පැන් ගෙන්වා වැළඳු සේක. එ කල්හි ආළාරකාළාම තවුසාගේ ශ්‍රාවකයෙක් වූ පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයෙක් කුසිනාරාවේ සිට පාවා නුවරට යන්නේ රුක් මුල හුන් බුදුරජාණන් වහන්සේ දැක වැඳ පසෙක හිඳ ගත්තේ ය. එසේ හුන් ඔහුට භාග්‍යවතුන් වහන්සේ බණ වදාරා ඔහු ශරණ ශීලයෙහි පිහිටුවා, ඔහු පිදූ රන්වන් මට සිලුටු වස්ත්‍ර දෙකින් එකක් තමන් වහන්සේ පිළිගෙන අනෙක අනඳ තෙරුනට පිළිගන්නවා ඔහුට බණ වදාළ සේක. ඔහු ගිය පසු අනඳ තෙරණුවෝ තමා ලත් වස්ත්‍රයත් භාග්‍යවතුන් වහන්සේට එළවූහ. බුදුරජාණන් වහන්සේ එකක් හැඳ අනෙක පෙර වූ සේක. එ කලැ උන් වහන්සේ ගේ ශරීරය එදා වැළඳු විශිෂ්ට ආහාර හේතුයෙනුත් “පෙර බුදුවරයන් වැඩි අමාමහ නිවන් පුරට අද ප්‍රවිෂ්ට වන්නෙම්” යැ යි හටගත් බලවත් සොම්නසිනුත්, බුදු වූ දිනයෙහි මෙන් ම, ගිනි දැල් නැතිව දිලිසෙන ගිනි අඟුරු රැසක් මෙන් අතිශයයෙන් දීප්තිමත් ව බැබැළුණේ ය.

කුකුත්ථා නදිය කරා වැඩීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිස හා කුකුත්ථා නම් නදිය වෙත වැඩි සේක. වැඩ, නදියට බැස ජලස්නානය කොට පැන් වළඳා ඉන් නැඟී නදී තීරයෙහි වූ අඹ වනයට එළැඹි සේක. ඒ වේලායෙහි අනඳ තෙරණුවන් භාග්‍යවතුන් වහන්සේ ගේ ජලශාටිකාව (නාන කඩ) මිරිකමින් ගඟෙහි පරක්කු වූ බැවින්, සමීපයෙහි සිටි චුන්දක ස්ථවිරයන් අමතා සඟළ සිවුර සතර පටක් කොට පණවා සිංහ ශය්‍යායෙන් සැතැපුණු සේක. ඉක්බිති එහි වැඩි අනඳ තෙරුන් අමතා. බුදු වන දාට පෙර දා සුජාතාව දුන් භෝජනය ද ඒ පිරිනිවන්පාන දිනට පෙර දා චුන්ද කර්මාරපුත්‍රයා දුන් භෝජනයද සමඵල බව220 වදාළ සේක.

කුසිනාරා පුර වැඩීම

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඉන් පිටත්ව හිරණ්‍යවතී ගඟින් එතෙර වී කුසිනාරා පුරයට වැඩි සේක. වැඩ, එහි වූ මල්ල රජුන් ගේ උපවර්තන නම් සල් උයනට පැමිණි සේක. පැමිණ එහි රජුන් ගේ සැතැපීමට සාදා තිබුණ ඇඳ යමක ශාල වෘක්ෂයන් අතුරෙහි තබා පිළියෙල කරන්නට අනඳ තෙරුනට නියම කළ සේක. අනඳ තෙරණුවෝ ද එ සේ ම ශයනය පැණවූහ. භාග්‍යවතුන් වහන්සේ එහි සිංහ ශය්‍යායෙන් සැතැපුණු සේක.