උරුවේලායෙන් පිටත් වීම උපකයා හමු වීම

භාග්‍යවතුන් වහන්සේ කිහිප දිනක් බෝ මැඩ අසලැ වාසය කොට, ඉක්බිති, බරණැස් නුවර බලා අටළොස් යොදුන් මහ මඟට පිළිපන් සේක. මෙසේ වඩනා උන්වහන්සේට බෝ මැඬටත් ගයාවටත් අතරෙහි දී උපක නම් ආජීවකයෙක් හමු වීය.84 හෙ තෙම බුදුරජාණන් වහන්සේ දැක පැහැදී, “ආයුෂ්මතාණෙනි, ඔබ ගේ ඇස් ආදී ඉන්ද්‍රියයෝ ප්‍රසන්න හ. ශරීර වර්ණය පිරිසිඳුය. ඔබ කිනම් ශාස්තෘවරයක්හු උදෙසා පැවිදි වූ ද නොහොත් ඔබ ගේ ශාස්තෘ කවරෙක් ද? කාගේ ධර්මයෙක් ඔබට රිසියෙයි දැ?” යි ඇසීය.

එ විට ඔහුට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ,

85මම් තුන් භවයට අයත් සියලු දෑ මැඩ ලූයෙම් වෙමි. සියල්ල දනිමි. භවයට අයත් සියල්ලෙහි නො ඇලුණෙමි. භවයට අයත් ඒ සියල්ල දුරැලූයෙම් වෙමි. රහත්පල නැමැති විමුක්තිය ලැබ සියලු සසර දුකින් මිදුණෙම් වෙමි. එසේ වූ මම් තමා සත්‍යාවබෝධය කොට කවරක්හු ආචාර්‍ය්‍ය වශයෙන් දැක්විය හෙම් ද? (මට ඇදුරෙක් නැත. මම ම මගේ ම උත්සාහයෙන් සත්‍යය අවබෝධ කෙළෙමි.)

“මේ සත්‍යාවබෝධයෙහි මට කිසි බාහිර ඇදුරෙක් නැත. එබැවින් මට සම කෙනෙක් (අද) නැත. දෙවියන් සහිත ලොවෙහි මට සම පුද්ගලයෙක් නැත.”

“මම් අද ලොවැ එකම රහත් පුද්ගලයා වෙමි. එක ම නිරුත්තර ශාස්තෘ වෙමි. එක්ම සම්මා සම්බුදුවරයා වෙමි. ක්ලේශාග්නිය නිවීමෙන් සිසිල් වූයෙමි. නිවුණෙකිමි. ඒ මම් බරණැස යෙමි. අවිද්‍යායෙන් අඳුරු වූ (අවිද්‍යා නින්දෙහි වැටී සිටින) ලොවෙහි (ධර්ම ලාභය සඳහා ප්‍රබෝධය ඇති කරනු පිණිස) අමා බෙරය ගසන්නෙමි” යි වදාළ සේක.

එවිටැ “ඔබ තමන් ප්‍රතිඥා කරන පරිදි අනන්තජින වීමට සුදුස්සෝ යැ” යි උපක කී ය. ඔහු ගේ වචනයට භාග්‍යවතුන් වහන්සේ,

“රහත් බවට පත් මා වැන්නෝ ඒකාන්තයෙන් ජින නම් වෙති. උපකය, සියලු පාපයෝ මා විසින් දිනන ලදහ. එ හෙයින් මම ජින වෙමි” යි වදාළ සේක.

ඒ අසා උපක තෙම “එසේත් විය හැකි යි, ඇවැත්නි” යි කියා හිස සලා භාග්‍යවතුන් වහන්සේට වඩිනට මඟ හැරැ (පාරෙන් අයින් වැ) දකුණු දෙසට, ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ද උතුරු දෙසට වැඩි සේක් ගයා පෙදෙස ඉක්මැ රෝහිතවාස්තු, උරුවිල්වාකල්ප, අරුණාලය, සාරථිපුර ආදී ග්‍රාමනිගමයන් පසු කොට ගංගා නදියෙන් එ තෙරැ වී බරණැස් නුවරට පැමිණිසේක.

මේ වනාහි ඇසළ පුණු පොහෝ දා ය.