සුදොවුන් රජු

භාග්‍යවතුන් වහන්සේ කපිල පුරයෙහි පිඬු සිඟීම, යශෝධරාව සුදොවුන් රජුට දැන්වීම

පසු ද භික්ෂාචාර වේලාව පැමිණි විට විසිදහසක් රහතුන් පිරිවරා කපිලවාස්තු පුර වැද වහසල් දොරැ සිට ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩි සේක.

නුවර වැසියෝ ප්‍රසාදයන්හී සී මැදුරු කවුලු හැර “අප ස්වාමි වූ සිද්‍ධාර්ථ කුමාරයෝ පිඬු සිඟති” යි විස්මය ප්‍රාප්ත ව බලා ගත් වණම උන්හ.

යශෝධරා දේවී භාග්‍යවතුන් වහන්සේ පිඬු සිඟා වඩනා විත්තිය අසා මේ මගේ ස්වාමි පුත්‍රයෝ පෙර මෙ නුවර රන්වන් රිය නැඟී සූසැටක් ආභරණ පැලැඳ මිණි රැසින් දිලෙන මහඟු වොටුන්නක් හිස ලා ලක්ෂයක් අගනා මුත්හරෙකින් උරමඬල සරහා දේවේන්ද්‍ර ලීලායෙන් මහ පෙළහරින් වැඩියෝ, දැන් කෙස් දැළි රවුළු ගා දමා, කසාවත් හැඳ පෙරව, පාත්‍රයක් අතින් ගෙන පිඬු සිඟත් ල. කිමෙක ! ඒ වෙස ඔබට හොබී දෝ නැද්දෝ” යි මා බැලුව මනා යැ” යි සිතා, සී මැදුරු කවුළුව හැර බලන්නී, ෂඩ්වර්ණ බුද්‍ධ රශ්මි මාලායෙන් දිලිසෙමින් ස්වීය ශරීරාලෝකයෙන් මුළු වීථය හොබවමින් අනුපමෙය ශ්‍රීන් විරාජමාන ව වඩනා සාමිදරුවාණන් වහන්සේ දුටුවා ය. දැක ප්‍රීතියෙන් මත් වැ

“අහෝ සිද්‍ධාර්ථයෙනි, එදා මධ්‍යම රාත්‍රියෙහි මා වැනි පක්ෂපාත ස්ත්‍රීයකටත් නො දන්වා රාහුලයා වැනි ප්‍රිය දරු පැටියා දැක, අත ගා සිඹ සනසාලීම් පමණකුත් නො කොට, පලා ගියේ මෙ වැනි ආශ්චර්‍ය්‍ය ශ්‍රීයක් ලබනුවට වේ ද! මෙ බඳු ශරීර ප්‍රභාවක් පතා ඔබ ගිය දෑ ද! මෙ බඳු ශාන්ත පිරිසක් බලා ගිය දෑ ද! මේ නුවරත් රාජ්‍යශ්‍රියත් හැරැ ඔබ ගිය ගමන නම් යහපත් ම ය.! රාජශ්‍රිය හැර ඔබ මහණ වූ නියා යහපත්මය.! ඔබ ලත් සැප ඔබට හොබීමය. පෙර ඔබ වින්ද රාජ්‍ය ශ්‍රියට වඩා ඔබගේ මේ සිඟන රාජ්‍යය මට නම් ඉතා රුචි යැ”යි කියා ගාථා අටෙකින් කෙසග පටන් නිය අග තෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ රූපය වර්ණනා කොට, සිය මයිලණුවන් සුදොවුන් මහ රජාණන් කරා දිව, “ඔබ පුතණුවෝ වීථියෙහි පිඬු සිඟා යෙති” යි කීවා ය.

බුදු රජුන් හමුව කථා කිරීම

රජ එ බස් අසා කලබල වී සළුව හඳිමින් ම යුහුසුළු වැ ගොස, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සිට, “ස්වාමීනි, අපට ලජ්ජා ඇති කරවන්නේ ඇයි ද? සිඟා ඇවිදින්නේ කුමට ද? මේ භික්ෂු පිරිසට රජ ගෙයින් ආහාර ලැබිය නො හැකි යැ යි රටට අඟවන සේක්දැ” යි ඇසී ය.

එවිටැ “මහරජ, මේ අපේ වංශයේ සිරිත යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“ස්වාමීනි, අපේ වංශය නම් මහා සම්මත ක්ෂත්‍රිය වංශය යි. එහි පිඬු සිඟා ඇවිද්ද කිසි රජෙක් නො වී යැ” යි රජ කීය. එවිට බුදුරජාණන් වහන්සේ,

“මහරජ, ඒ ඔබේ වංශය යි. අපේ වංශය නම් දීපංකර කොණ්ඩඤ්ඤ ආදී බුදුවරයන් ගේ වංශය යි. ඒ බුදුවරු ද සෙසු ඉන් පෙරැ සිටි නොයෙක් දහස් ගණන් බුදුවරු ද පිඬු සිඟා හැසුරුණෝ ය. පිඬු සිඟීමෙන් ම දිවි පැවැත්වූවෝ යැ”යි වදාරා වීථිය මැද සිට මැ රජුට දහම් දෙසන සේක්,

රජුට බණ දෙසීම

“නැඟී සිටින්න, පමා නො වන්න, සුචරිත ධර්මය පුරන්න, ධර්මාචාරී තෙම මෙ ලොවැ ද පරලෙව්හි ද සුවසේ වෙසේ138 යැ” යි වදාළ සේක.

මේ ධර්ම කථාව ඔස්සේ සිත යැවූ රජතුමා එහි සිටියේ ම සෝවාන් වී ය.

සුදොවුන් රජු සකෘදාගාමි වීම, ප්‍රජාවතී ගෝතමී සෝවාන් වීම

ඉක්බිති රජ්ජුරුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් පාත්‍රය ලබාගෙන බුද්‍ධ ප්‍රමුඛ විසි දහසක් රහතුන් මාලිගාවට, වැඩම කරවා ගෙන ගොස්, වඩා හිඳුවා දන් වැළැඳවූහ. වළඳා අන්තයෙහි භාග්‍යවතුන් වහන්සේ අනුමෙවෙනි බණ වදාරණ සේක්.

“සුචරිත ධර්මය පුරුදු කළ යුතු. දුසිරිතෙක් ලොව වේ ද, ඒ නො ම කළ යුතු. මෙසේ ධර්ම චාරී වූ පුද්ගල තෙම මෙ ලෝ පර ලෝ දෙක්හි ම සුව සේ කල් ගෙවා”139 යැ යි වදාළ සේක.

එය අසා ශුද්ධෝදන රජුරුවෝ සකෘදාගාමී වූහ. ප්‍රජාවතී ගෞතමී දේවී සෝවාන් වූහ.

නාටිකාවන්ගේ වන්දනා

ඉක්බිති බෝසත් කලැ නාටිකා වැ සිටි රජ කුමරියෝ අවුත් භාග්‍යවතුන් වහන්සේ වැන්දහ. ශුද්ධෝදන රජ්ජුරුවෝ යශෝධරාවට ද අවුත් වඳින සේ දන්වා යැවූහ. එය ඇසූ යශෝධරා තොමෝ,