න්‍යග්‍රෝධාරාමයට පැමිණීම
දිනපතා රජ ගෙට කලින් යමින්, බුදු ගුණ කියමින්, ඒ ස්ථවිර තෙම බුදුරජාණන් වහන්සේ ගේ නෑ සමූහයා උන්වහන්සේ කෙරෙහි පැහැද වූයේ ය. පැහැදුණු ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේ වැඩි විට විසීම පිණිස නිග්‍රෝධ ශාක්‍යයාගේ උයන පිළියෙල කළහ.
බුදුරජාණන් වහන්සේ නගරයට වඩින විට සුවඳ මල් ආදිය ගෙන පෙර මඟට යන ශාක්‍යයෝ මනා ලෙස සැරසුණ නගරවාසි ළදරු ළදැරියන් පළමු කොට ඉදිරියට යැවූහ. ඔවුනට පසු ව රජ කුමර කුමරියෝ ගමන් කළහ. රජහු ඔවුනට පසු ව තුමූ ම සුවඳ මල් ආදියෙන් පූජා කරමින් භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කරවා ගෙන ගියහ. බුදුරජාණන් වහන්සේ ද විසි දහසක් පමණ රහත්තු ද පනවා තුබුණු අසුන්හි වැඩහුන්හ. ස්වභාවයෙන් ම මානාධික ශාක්‍යයෝ “සිදුහත් කුමරු අපට වයසින් බාලය. අපේ බෑනණුවෝ ය, අපේ මුණුබුරෙකි” යන ආදීන් සිතනුවෝ තුමූ නමස්කාර නො කොට ළදරු කුමර කුමරියන් ලවා ම නමස්කාර කැරැවූහ.
ඔවුන් ගේ අදහස් දත් සර්වඥයන් වහන්සේ මාන මර්දනය කළ යුතු යැ යි සලකා, අභිඥපාදක136 ධ්‍යානයට සමවැද ඉන් නැඟිට අහස් නැඟ මහ පෙළහරක් දැක්වූ සේක. ඒ දුටු ශුද්ධෝදන රජතුමා “පින්වතුන් වහන්ස, ඔබ උපන් දින අසිත තවුසා වන්දවන්නට එළවූ ඔබ ගේ පාද පෙරැළි ඔහුගේ ජටා මස්තකයෙහි පිහිටියා දැක ඔබ වැන්දෙමි. ඒ මගේ පළමු වැඳීම යි. වප් මගුල් දින දඹ සෙවනැ සිරි යහනෙහි දී ඔබේ පෙළහර දැක දෙවෙනි වැඳීම කෙළෙමි. දැන් මින් පෙරැ කිසි කලෙකත් නොදුටු විරූ මේ පෙළහර දැක ද ඔබේ පා වඳිමි. මේ තුන් වන වැඳීම යැ”යි කියා බුදුරජාණන් වහන්සේට නමස්කාර කෙළේ ය. ඒ දුටු කිසි ද ශාක්‍ය රජකු විසින් නොවැඳ සිටිය හැකි නො වූයෙන් සියල්ලෝ ම උන්වහන්සේ වැන්දහ.
මල්ල රජ කුමරුන් සිවු දෙනෙකුන් පැවිදිවීම
පාවා නුවර මල්ල රජුන් සිවු දෙනෙකු ගේ පුත්‍ර වූ ගෝධික සුබාහු වල්ලීය උත්තිය නම් මිත්‍ර කුමරහු කිසි කටයුත්තක් නිසා ඒ දිනවල එහි විත් සිටියෝ එදා භාග්‍යවතුන් වහන්සේ දැක් වූ පෙළහර දැක පැවිදි වූහ. විදසුන් වඩා නොබෝ දිනෙකින් රහත් වූහ.
වෙස්සන්තර ජාතකය දෙසීම
මෙසේ භාග්‍යවතුන් වහන්සේ නෑයන් ලවා වන්දවා ඔවුන් ගේ මානය බිඳ, පණවන ලද අස්නේ වැඩහුන් සේක. සියලු නෑ රජහු ද සංසුන් ලීලායෙන් හුන්හ. එකල මහත් මල් වැස්සෙක් වට. ඒ මුල්කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය137 වදාළ සේක. ධර්ම කථාවසානයේ සියල්ලෝ වැඳ තමන් ගෙවල් කරා ගියහ.
වෙසක් අව පෑලවිය දා
බුදුරජාණන් වහන්සේ නෑයනට එදා වදාළ බණ ඇසූ ශාක්‍ය රජහු පෙරළා සිය නිවෙස් යන්නෝ ධර්ම ශ්‍රවණ ප්‍රීතියෙන් මත් වූවෝ, පසු දා දනට පැවරීමට සිහිමඳ ව ගියහ. භාග්‍යවතුන් වහන්සේ එදා රෑ නිග්‍රෝධාරාමයෙහි දවස් යැවූ සේක.