කාළුදායි තෙරුන් ගේ පැමිණීමෙන් දින හත අටෙක් ගත වීය. මැදින් මස පසළොස්වක් පොහොය පැමිණි යේ ය. හේමන්ත සෘතුව ලැබූයෙන් කිඹුල්වත් පුරට භාග්‍යවතුන් වහන්සේ වැඩම කැරැවීමට සුදුසු කාලයැයි කාළුදායි ස්ථවීර සිතී ය. සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ගමන වර්ණනා කරනුයේ135
“වහන්ස, දැන් වෘක්ෂයෝ ගිනි අඟුරු වැනි රතු පැහැති මල් දලු ඇත්තෝ, පරණ කොළ වැටී පල දරන කාලයට පැමිණියෝ වෙත්. ඒ වෘක්ෂයෝ ගිනි දැල් සහිත වූවන් සේ බබලත්. මහා වීරයන් වහන්ස. භගීරථ පරම්පරායෙහි වූවනට (ශාක්‍යයනට) අනුග්‍රහ පිණිස වඩින්නට දැන් කාලය වේ.
“පිපුණු මල් ඇති වෘක්ෂයෝ හැම අතට සුවඳ විහිදුවත්. පුරාණ පත්‍ර හැර දමා (වැටීමෙන් පසු) ඵල බලාපොරොත්තුවෙන් සිටින්නෝ වෙත්. වීරයන් වහන්ස, දැන් මෙයින් පිටත් වන්නට කාලය යි.
“ඉතා ශීත හෝ උෂ්ණ නැත් ම ය, වහන්ස. සෘතුව සැප පහසු ගෙන දෙයි. ගමනකට යෝග්‍ය ය, ආපසු හැරී රෝහිණී ගඟින්134 එතෙරැ වන ඔබ වහන්සේ ශාක්‍ය කෝලිය රජු හු දකිත් වා.”
“ගොවි තෙම මතු බලා ම කුඹුර හායි. හාන්නහු විසින් ද මතු බලා වී වපුරනු ලැබේ. ධන රැස් කරන වෙළෙඳහු මතු බලා සමුද්‍ර තරණය කරත්. මම ද ඔබ වහන්සේ කිඹුල්වතට වැඩම කරවන්නට යම් බලාපොරොත්තුවෙකින් සිටියෙම් ද ඒ මගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වේ වා.
“එක් වරෙකින් නො නැවැතී ගොවියා යලි යලි ධාන්‍ය වපුරත්. වැස්ස ද නැවැත නැවැත වසී. නැවැත නැවැත ද ගොවීහු කුඹුරු හාත්. නැවැත නැවැත හැල් ආදී ධාන්‍ය රටට ලැබේ.
“යාචකයෝ ද යලි යලි කුලයන් කරා එළඹෙත්. දානපතීහු ද යලි යලිත් දන් දෙත්. එසේ වීමෙන් නැවැත නැවැත ස්වර්ගයෙහි උපදිත්.
“යම් කුලයෙක මහා ප්‍රාඥ වූ වීර පුරුෂයෙක් වේ නම්, හෙතෙම මනා පිළිවෙතින් සත්වන මුතුන් මිත්තන් දක්වා පරම්පරා යුග සතක් ශුද්ධ කරයි. දෙලෝ වැඩ දන්නා හෙයින් මුනි යන නම සත්‍ය වශයෙන් ලත් දේවාතිදේව වූ භාග්‍යවතුන් වහන්සේ එයටත් වඩා පාප නිවාරණයෙහිත් යහපතෙහි අනුන් පිහිටුවා ලීමෙහිත් සමර්ථ සේකැ” යි සිතමි.
“මහර්ෂින් වහන්සේ ගේ පියා ශුද්ධෝදන මහ රජාණෝ යි. යම් උත්තමාවක් බෝ සතුන් කුසින් දරා සිට මරණින් මතු දෙව්ලොවැ දෙව් පුතෙක් ව ඉපිද සැප විඳී ද, ඒ මායා දේවි පින්වතුන් වහන්සේ ගේ මෑණියෝ යි. මෙයින් කළුරිය කළ ගෞතම ගෝත්‍රජ වූ ඕ තොමෝ දෙව් ලොවැ ඉපිද දේව සමූහයා පිරිවරා මහත් සැප විඳී”
යන ආදීන් ගමන වර්ණනා කොට කිඹුල්වත් පුරයට වඩින්නට ආයාචන කෙළේ ය.
කිඹුල්වත බලා පිටත් වීම මැදින් දින මැදි පෝදා, කිඹුල්වත් පුරයට පැමිණීම වෙසක් පසළොස්වක් දා
භාග්‍යවතුන් වහන්සේ සිය ගමනින් වන මහදභිවෘද්‍ධිය දැක අංග මගධ දෙරටින් පැවිදි ව රහත් වූ දස දහසක් පමණ වූ ද, කිඹුල්වතින් අවුත් පැවිදි වූ දස දහසක් පමණ වූ දැයි විසිදහසක් වූ රහතුන් පිරිවරා පිටත් වූ සේක්, මඟ දී බොහෝ දෙනා තමන් වහන්සේ ගෙන් බණ ඇසීම් ආදියෙන් අපමණ වැඩ සිදු කැරැගන්නා බැවින් පා ගමනින් ම දවසකට යොදුන බැගින් දෙ මසකින් වැඩ වෙසක් පසොළාවක් දා කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්ත වූ සේක. මේ කාලයෙහි කාළුදායි තෙරණුවෝ සියලූ ම දිනයෙහි සෘද්‍ධියෙන් කිඹුල්වත් පුර රජගෙට ගොස් දන් වළදා රජ ගෙයින් භෝජන පාත්‍රය බැගින් ගෙනවුත් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ. ඒ එ ගමනේ දී භාග්‍යවතුන් වහන්සේ වැළැදු ආහාරය විය.