කිඹුල්වත් පුර වැඩීම

බෝසතාණන් වහන්සේ ගිහි ගෙන් නික්ම පැවිදි වූ තැන් සිට ම ශුද්ධෝදන රජතුමා උන් වහන්සේගේ තොරතුරු සොයා දැන අවුත් තමාට දැන්වීමට අසරු දූත පිරිසක් යෙදී ය. බෝසතාණන් වහන්සේ යන එන හැම තැනම උන්වහන්සේට නො දැනෙන සේ මේ දූත පිරිස වෙළා හැසුරුණහ. දිනපතා කිඹුල්වත් නුවරට කිහිප දෙනෙක් පැමිණෙති. රජුට තොරතුරු දන්වති, මෙසේ මාරුවෙන් මාරුවට කිඹුත් පුරට යමින් එමින් සාවුරුද්දකට වැඩි කලක් ඔහු මේ රහස් සේවයෙහි යෙදුනාහ. බෝසතාණන් වහන්සේ බුදු වී දම්සක් පවත්වා රජගහ පුර වැඩ එහි වසන තොරතුරුත් ශුද්ධෝදන රජතුමාට සැපයූවෝ ද මේ රහස් දූතයෝ ය. ශුද්ධෝදන රජතුමා ඔවුන් ගෙන් තොරතුරු දැන “දැන් පුත්‍රයාණන් වහන්සේ තම නුවරට වැඩම කැරැවීමට කාලයැ” යි සිතී ය. සිතා එහි වඩින්නට ආයාචනා කරන පිණිස ඇමතියකු රාජපුරුෂයන් දහසක් පිරිවර කොට දී රජගහ නුවර භාග්‍යවතුන්වහන්සේ වෙතට යැවී ය. හේ කිඹුල්වත සිට රජගහ පුර දක්වා වූ සැට යොදුන් මාර්ගය ගෙවා වේළුවනාරාමයට පැමිණියේ ය. එ වේලෙහි දම් දෙසමින් හුන් බුදු රජාණන් වහන්සේ ගේ කථාව අසා හේ පිරිවර දහසක් දෙනා හා රහත් බව ලබා පැවිද්ද ඉල්වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ඒහිභික්ෂු ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි උපසපන් කළ සේක. රහත් වූවායින් පසු මධ්‍යස්ථ වීම ආර්‍ය්‍යන් ගේ ස්වභාවයක් බැවින් ඒ තෙරණුවෝ රජු එවූ පණිවුඩය භාග්‍යවතුන් වහන්සේට දැන්වීමෙහි යුහුසුලු නො වූහ.

සුදොවුන් රජ ද කල් යනු දැක පළමු පරිද්දෙන් ම තවත් දහසක් පිරිවර සහිත වූ ඇමැතියකු යැවූයේ ය. ඒ පිරිස ද පළමු පිරිස සේ ම රහත් ව තුෂ්ණිම්භූත වූයෙන්. මෙසේ පුරුෂයන් දහස බැගින් පිරිවර කොට ඇති ඇමැතියන් නව දෙනකුන් වරින් වර යවා, ඒ සියලු දෙන ම රහත් වැ පැවිදි ව තුෂ්ණිම්භූත වූයෙන්, බෝසතුන් හා එක දා උපන් කාළුදායි නම් ඇමැතියා කැඳවා “දරුව, කාළුදායි, මගේ පුත්‍රයා දකිනු කැමැත්තෙන් කැඳවා ගෙනෙනු පිණිස නව දහසක් පුරුෂයන් සහිත නව දෙනෙකුන් යැවූ මුත් කිසිවෙක් අවුත් ආරංචි මාත්‍රයකුත් නො කී ය. මරණය කවර දා වේ දැ යි නියම නැත. මැරෙන්නට පළමු පුත්‍රයාණන් දක්නා කැමැත්තෙමි. මගේ පුත්‍රයා කැඳවා ගෙන එන්නට නුඹට හැකි දැ”යි ඇසී ය. “දේවයිනි. මහණ වෙන්නට අවසර දෙතොත් එය කරන්නෙමි” හේ කී ය. “නුඹ කැමැත්තක් කැරැ ගෙන මා පුතු දැක්වුව මැනැව”යි රජ කී ය, හේ ද “යහපතැ” යි කියා පුරුෂයන් දහසක් සහිත ව ගොස් බණ අසා රහත් වැ ඒහි භික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි උපසපන් බව ලැබී ය.