“අත්ථි භික්ඛවේ, විචිකිච්ඡාඨානියා ධම්මා, තත්ථ අයෝනිසෝමනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා විචිකිච්ඡාය උප්පාදාය උප්පන්නස්ස වා විචිකිච්ඡාය භීය්‍යෝභාවාය වේපුල්ලාය.”
“මහණෙනි, විචිකිච්ඡා ඇති වීමට ස්ථාන වන ධර්මයෝ ඇත්තාහා. එහි නුසුදුසු සේ මෙනෙහි කිරීම් බහුල බව නූපන් විචිකිච්ඡාව ඉපදීමේත් උපන් විචිකිච්ඡා නැවත නැවත ඇතිවීම් වශයෙන් වැඩීමේත් දියුණුවීමේත් හේතුව ය” යනු එහි තේරුම ය.
විචිකිච්ඡාව ම විචිකිච්ඡා ඇති වන බිම ය. යම්කිසිවක් ගැන විචිකිච්ඡාවක් ඇති වූ පසු එහි පිහිටා ඒ ගැන සිතන්නා වූ පුද්ගලයා හට එය සැක කළ යුතු බවට බොහෝ කරුණු මතු වී එයි. එයින් ඔහුට ඇති වූ විචිකිච්ඡාව තහවුරු වේ. ඒ නිසා නැවත නැවත විචිකිච්ඡාව ඇති වේ. සුළුවෙන් ඇති වූ විචිකිච්ඡාව දියුණු වී මහත් වේ. විචිකිච්ඡාව නැතිවීමට හේතු සෙවීම නො කොට විචිකිච්ඡාව තහවුරු වන දියුණු වන කරුණු මෙනෙහි කිරීම විචිකිච්ඡාව ගැන නුසුදුසු පරිදි මෙනෙහි කිරීම ය.