සත්ත්වයා ගේ සිත කිලිටි කරන නුවණැස අඳුරු කරන, අන්ධ කරන, නිවන් මඟට බසින්නට නො දී සත්ත්වයන් පඤ්චකාම නමැති මඩ ගොහොරුවෙහි ගිල්වා තබන, සසර දික් කරන, නිවන්මඟට බට පුද්ගලයන් ගේ ඉදිරි ගමනට බාධා කරන, නිවන්මඟ අවුරන, සමහර විට නිවන් මඟට බට පුද්ගලයන් ආපසු හරවා නැවතත් පඤ්චකාම නමැති මඩ වළට ම හෙළන නීවරණ නාමයෙන් හඳුන්වන ධර්ම පසක් ඇත්තේ ය. නිවන් සොයන යෝගාවචරයන් විසින් ඒ ධර්ම දැන සිටිය යුතු ය.
ඒ ධර්මයෝ සාමාන්‍යයෙන් සකල සත්ත්වයන්ගේ ම සතුරෝ ය. විශේෂයෙන් යෝගාවචරයන් ගේ සතුරෝ ය. පිටතින් එන සතුරාගෙන් ගැලවීම පහසුය. නීවරණයෝ යෝගාවචරයන් කෙරෙහි ම හට ගෙන, ඔවුන් තුළ ම වැඩී, ඔවුනට අනර්ථ කරන සතුරෝ ය. එ බැවින් ඔවුන්ගෙන් ගැලවීම දුෂ්කර ය. සතුරකු සේ පෙනී සිටින සතුරාගෙන් ගැලවීම පහසු ය. මිත්‍ර රූපයෙන් පෙනී සිටින සතුරාගෙන් ගැලවීම දුෂ්කර ය. නීවරණයෝ මිත්‍ර රූපයෙන් එන සතුරෝ ය. එ බැවින් යෝගාවචරයන්ට ඔවුන්ගෙන් ගැලවීම දුෂ්කර ය. යෝගාවචරයන් නීවරණයන්ට වසඟ වී බෙහෙවින් පිරිහෙන්නේ මිත්‍රරූපයෙන් එන නීවරණයන් හැඳින ගත නො හැකි වීම නිසා ය. ගෙයකට මිත්‍ර රූපයෙන් පැමිණි සතුරා ගෙහිමියා හැඳින ගත හොත් එයින් ම ඔහු බිය වී පලා යන්නේ ය. එ මෙන් සන්තානයෙහි හටගත් නීවරණය, යෝගාවචරයා තමා ගේ සතුරකු බව තේරුම් ගතහොත් හැඳින ගතහොත් එයින් ම ද ඒ නීවරණය දුරු වන්නේ ය. යෝගාවචරයා නීවරණය හැඳින ගත නොහී එය පිළිගත හොත් ඒ නීවරණය සම්බන්ධයෙන් යෝගාවචරයාට සක්කාය දෘෂ්ටිය ඇති විය හැකි ය. තණ්හාව ඇති විය හැකි ය. සම්මෝහය ඇති විය හැකි ය. එයින් උපන් නීවරණය පඳුරු ලා වැඩෙන්නේ ය. යෝගාවචරයා එයට වසඟ වී නිවන් මඟ පසු බසින්නේ ය. සමහර විට භාවනාව සම්පූර්ණයෙන් ම හැර නිවන් මඟින් ඉවත්ව පඤ්චකාම නමැති මඩ වළට ම බසින්නේ ය.
පොතපතින් හෝ ඇසීමෙන් හෝ නීවරණයන්ගේ නම් දැන සිටි පමණින් හෝ තමා තුළ හට ගන්නා නීවරණයන් හැඳින ගත නො හේ. නොයෙක් ආකාරයෙන් පහළ වන නීවරණයන් හැඳින ගැනීම අතිදුෂ්කරය. සසර දුකින් මිදීම පිණිස ගිහිගෙය හැර, නෑයන් හැර, ධනය හැර, නිවන් මඟට බැසීමක් වශයෙන් පැවිදි වන පින්වතුන්ගෙන් ඇතැම්හු ඔවුන් තුළ නැඟී ආ නීවරණයන් විසින් නැවත ගිහිගෙට යවනු ලබති. එහෙත් ඔවුහු තමන්ට ගිහිවන්නට සිදු වූයේ තමන් තුළ හටගත් නීවරණයන් නිසා බව නො දනිති. සිවුරු හැර යාමේ හේතුව ඔවුන්ගෙන් විමසුවහොත් ඔවුන් සිවුරු හැරීමේ හේතුව වශයෙන් කියන්නේ අන් කරුණෙකි. එසේ කියන්නේ ඔවුහු තමන් තුළ හට ගන්නා නීවරණ හැඳින ගැනීමට අපොහොසත් නිසා ය. ඇතැම් ගිහි පින්වත්හු සසර කලකිරී නිවන් ලබනු රිසියෙන් සිල් රැකීමට, භාවනා කිරීමට පටන් ගනිති. භාවනාවෙහි යෙදීම් වශයෙන් නිවන් මඟට බැස සිටින ඒ උපාසකෝපාසිකාවෝ සමහර විට නීවරණයන් විසින් බාධා කිරීම නිසා කරගෙන ගිය ශීලසමාදානය හා භාවනාව අත්හරිති. එහෙත් ඔවුහු නීවරණයන් මඟ හරස් කිරීම නිසා තමන් නිවන් මඟින් ඉවත් වූ බව නො දනිති. “දැන් සිල් සමාදන් නො වන්නේ, භාවනා නො කරන්නේ කුමක් නිසා දැ” යි ඔවුන්ගෙන් ඇසුවහොත් ඔවුන් කියන්නේ නීවරණයන් නිසා ඒවා හළ බව නොව අනික් කරුණකි. එසේ කියන්නේ නීවරණයන් ඇති වීම ඔවුනට නොදැනුණු නිසා ය.
නීවරණයන් ගැන දැනීම නැති, ස්වසන්තානයෙහි පහළ වන නීවරණයන් හැඳින ගැනීමට නො සමත් යෝගාවචරයකුට භාවනාවෙහි යෙදී විදර්ශනා ඥානය දියුණු කොට මඟඵල ලැබිය නො හැකි ය. සමාධිය වඩා ලෞකික ධ්‍යානයක් වුව ද නො ලැබිය හැකි ය. මෙකල ආරණ්‍ය සේනාසනවල හා භාවනා මධ්‍යස්ථානවලත් තවත් තැන්වලත් භාවනා කරන්නෝ බොහෝ ඇතහ. ඔවුන් අතර භාවනාවෙන් දියුණුවක් ලත් අය එතරම් දක්නට නැත්තේ නීවරණයන්ගෙන් කැරෙන බාධාව නිසා ය. භාවනා කොට දියුණුවක් ලැබිය හැකි වීමට නම්, නැඟ එන නීවරණයන් දුරු කර ගැනීමේ ශක්තියක් යෝගාවචරයාට තිබිය යුතු ය. තමා තුළ නැඟ එන නීවරණයන් හඳුනා ගැනීමේ ශක්තියක් නැති යෝගාවචරයා හට කිසි කලෙක නීවරණයන් පැරදිය නො හැකිය. ඔහු නීවරණයන් විසින් පරදවනු ලැබ භාවනාවෙන් හෝ ඉවත් වෙයි. භාවනාව නො හළේ ද දියුණුවක් නො ලබයා සැමදා ම එක තත්ත්වයේ ම හෝ සිටී. සමාධිය හා විදර්ශනා ඥානය දියුණු කරගත හැකි වීමට තමන් තුළ පහළ වන නීවරණයන් තේරුම් ගත හැකි ශක්තිය ඇති කර ගත යුතු ය. පොත පත කියැවීමෙන් හා ඇසීමෙන් නීවරණයන් ගැන ලබා ඇති දැනුමෙන් පමණක් තමා තුළ පහළ වන නීවරණයන් තේරුම් ගත නො හැකි ය. තමා ගේ සිත ගැනත්, තමා කෙරෙහි පහළවන කාමච්ඡන්දාදීන් ගැනත්, විමසිල්ලෙන් සිට ඒ දැනුම ඇති කර ගත යුතු ය.
කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය කියා නීවරණ ධර්ම පසක් ඇත්තේ ය.