එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ විසූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂූහු මහජනයාගෙන් බොහෝ පූජාසත්කාර ලැබූහ. තීර්ථකයෝ මහජනයා විසින් නො සලකනු ලබන්නෝ වූහ. අල්ප ලාභීහු වූහ. එකල්හි මහ පිරිවැජි පිරිසක් ඇති සුසීම නම් පිරිවැජියෙක් රජගහ නුවර වාසය කළේ ය. බුදුන් වහන්සේ හා භික්ෂූන් වහන්සේ ලාභයෙන් අගතැන්පත්ව විසීමේත් තමන් මහජනයාගේ ගෞරවයට අහිමි වී අල්පලාභීව විසීමේත් හේතුව ගැන කල්පනා කළාවූ පිරිවැජියන්ට මේ අදහස පහළ විය. “ශ්‍රමණ ගෞතමයන් ජනයාගේ ගෞරවයට භාජනය වී සිටින්නේ මහජනයා ඔවුන්ට මෙතරම් පූජා සත්කාර කරන්නේ ඔවුන්ගේ ජාති ගෝත්‍රාදිය සලකා ගෙන නොවේ. ඔහු ශ්‍රේෂ්ඨ කවියෙකි. ඔහු මිනිසුන්ගේ සිත් ගන්නා කවි බැඳ ඔහුගේ ශ්‍රාවකයන්ට උගන්වයි. ශ්‍රාවකයෝ ඒ කවි උගෙන තමන් වෙත පැමිණෙන අයට ඒවා කියති. ඒවායින් අනුමෝදනා කරති. දේශනා පවත්වති. ඒවා අසන ජනයෝ පැහැදී ඔවුනට පූජා සත්කාර කරති. අපත් ශ්‍රමණගෞතමයන්ගේ කවි වලින් ටිකක් උගෙන අපේ ධර්මයට එකතු කොට මහජනයාට කියන්නට පටන් ගත හොත් ජනයා අප කෙරෙහි වඩා පහදිනවා ඇත. අපට බොහෝ පූජා සත්කාර කරනු ඇත.” මෙසේ කල්පනා කළා වූ පිරිවැජියෝ කවි උගෙන එනු පිණිස ඔවුන්ගෙන් එකකු බුදුරදුන් වෙත යැවීමට සාකච්ඡා කළහ. “සුසීම පිරිවැජි දක්ෂයෙකි. ඔහු ඉක්මනින් කවි උගෙන පෙළා ඒමට සමත් ය. ඒ නිසා ඔහු ශ්‍රමණ ගෞතමයන් වෙත යවමු.” යි කතා කරගෙන ඒ බව සුසීමට දන්වා ඔහු බුදුන් වහන්සේ වෙත පිටත් කළහ. ඔහු බුදුන් වහන්සේ කරා කෙලින් ම යාමට බිය නිසා ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත ගොස්, පිළිසඳර කථා කොට තමා ද බුදු සස්නෙහි මහණදම් පිරීමට කැමති බව සැල කෙළේය.
ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඔහු කැඳවා ගෙන බුදු රදුන් වෙත එළඹ වැඳ එකත් පසෙක හිඳ “මේ සුසීම පිරිවැජි තෙමේ නුඹ වහන්සේගේ සස්නෙහි මහණදම් පුරන්නට කැමැත්තෙමියි කියන්නේය”යි සැල කෙළේ ය. “ආනන්දය, එසේ නම් සුසීම පැවිදි කරව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සුසීම පිරිවැජි තෙමේ බුදුසස්නෙහි පැවිද්ද හා උපසම්පදාව ලැබී ය.
එකල්හි බොහෝ භික්ෂූහු තමන් රහත් වූ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළෝ ය. සුසීම භික්ෂු තෙමේ අර්හත්වය ප්‍රකාශ කළ භික්ෂූන් වෙත ගොස් පිළිසඳර කතා කොට “ඇවැත්නි, ඔබ වහන්සේලා විසින් බුදු රදුන් ඉදිරියේ අපට ඉපදීම කෙළවර විය. අපි විසින් ශාසන ප්‍රතිපත්තිය පුරා නිම කරන ලද්දේ ය, කළ යුතු සියල්ල කරන ලද්දේ ය. අපට මතු කළ යුත්තක් නැත්තේ ය යි අර්හත්වය ප්‍රකාශ කරන ලද බව සත්‍යයක් දැයි”යි කීය. ඒ භික්ෂූහු “එසේය”යි පිළිතුරු දුන්හ. “ඇවැත්නි, එසේ නම් ඔබ වහන්සේලා අනේකප්‍රකාර සෘධිප්රාතිහාර්ය්යයන් කිරීමට සමත් වන්නහු ද? ඔබ වහන්සේලා බොහෝ දෙනකුන් වීමට හා බොහෝ දෙනකුන් සේ පෙනී සිට නැවත එකකුවීමට ද, නොපෙනී සිටීමට, බිත්ති පර්වත විනිවිද යාමට, පොළොවෙහි මෙන් අහසෙහි ගමන් කිරීමට, දිය මත ගමන් කිරීමට, හිර සඳ අත ගෑමට, බ්‍රහ්ම ලෝකය දක්වා මේ ලෝකය තමාගේ වශයෙහි පැවැත්වීමට, දුර ශබ්ද ඇසීමට, දුර ඇති දෑ දැකීමට, දෙවියන් දැකීමට, අනුන්ගේ සිත් දැකීමට, පෙර ජාති සිහි කිරීමට, සත්ත්වයන් මැරී කර්මානුකූලව ඒ ඒ ජාතිවල උපදිනු දැකීමට, සමත් වන්නහු දැ”යි විචාළේ ය. “අපි සමත් නොවෙමු” යි භික්ෂූහු කීහ. “ඔබ වහන්සේලාට රූපයන් ඉක්මවා සිටින ශාන්ත අරූප සමාපත්ති හෝ ඇත්දැ”යි විචාළේ ය. භික්ෂූහු “නැතය”යි පැවසූහ. “ඇවැත්නි, එසේ නම් ඔබ වහන්සේලා බුදුරදුන් ඉදිරියෙහි ප්‍රකාශ කළ අර්හත්වය කුමක්දැ”යි සුසීම භික්ෂුව ඇසී ය. “ඇවැත්නි, අපි ධ්‍යාන නැති ශුෂ්කවිදර්ශකයෝ ය, ප්රඥාවිමුක්තයෝ” යි ඒ භික්ෂූහු කීහ. එකල්හි සුසීම භික්ෂූ තෙමේ “ඇවැත්නි, නුඹ වහන්සේලාගේ කීම මට තේරුම් ගත නොහැකි ය, එය විස්තර කර දෙනු මැනව”යි කීය. “සුසීමය, ඔබට තේරුම් ගත හැකි වුවත් නො හැකි වුවත් අපි ප්රඥාවිමුක්තයෝය”යි ඒ භික්ෂූහු කීහ.
සුසීම භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් ඒ භික්ෂූන් හා ඇති වූ කථාව උන් වහන්සේට සැල කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “පුබ්බේ ඛෝ සුසීම ධම්මට්ඨිති ඤාණං, පච්ඡා නිබ්බානෙ ඤාණං” යනුවෙන් “සුසීමය, පළමුව විදර්ශනාඥානය ඇති වන්නේ ය. පසුව නිවන් දක්නා වූ ලෝකෝත්තර මාර්ගඥානය ඇති වන්නේය”යි වදාළහ.
තමාට එය නො තේරෙන්නේය කියා විස්තර කර දෙන ලෙස සුසීම භික්ෂුව ඇයැද සිටි කල්හි, භාග්‍යවතුන් වහන්සේ සුසීමගෙන් ප්‍රශ්න කරමින් පඤ්චස්කන්ධයේ අනිත්‍යාදි ලක්ෂණයන් දක්වමින් ඔහුට ධර්ම දේශනය කළ සේක. ධර්ම දේශනාවසානයෙහි සුසීම භික්ෂු තෙමේ ද සව්කෙලෙසුන් නසා ශුෂ්ක විදර්ශකයකු වශයෙන් අර්හත්වයට පැමිණියේ ය. සුසීම භික්ෂුවට ධ්‍යාන සමාධියක් නො තිබිණ.
“මග්ගෝ වා හි ඵලං වා න සමාධි නිස්සන්දෝ, න සමාධි ආනිසංසෝ, න සමාධිස්ස නිප්ඵත්ති, විපස්සනාය පන සෝ නිස්සන්දෝ, විපස්සනාය ආනිසංසෝ, විපස්සනාය නිප්ඵත්ති.”
(සුසීම සුත්තට්ඨ කථා)
මාර්ගය හෝ ඵලය සමාධියේ ඵලයක් නො වේ. සමාධියේ අනුසසක් නො වේ. සමාධියේ නිපදවීමක් නො වේ, එය වනාහි විදර්ශනාවේ ඵලයෙකි. විදර්ශනාවේ අනුසසෙකි. විදර්ශනාවේ නිපදවීමකිය” යනු අටුවා පාඨයේ තේරුම ය.
පසුව ධර්මය සොරා ගැනීමට තමා පැවිදිවීම ගැන සුසීම භික්ෂු තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව අයැදී ය. නිදානවග්ග සංයුත්තයේ මහාවග්ගයේ එන මේ සුසීම සූත්‍රයෙන් බුදුරදුන් සමයෙහි විසූ බොහෝ රහතුන් ධ්‍යාන නැති ශුෂ්ක විදර්ශකයන් බව පැහැදිලි වේ. කරුණු මෙසේ හෙයින් ‘ධ්‍යාන නො වඩා විදර්ශනාව පමණක් වඩා මඟපල නො ලැබිය හැකිය’ යන මෙය වැරදි මතයක් බව දත යුතු ය.