සමථපූර්වාංගම විදර්ශනා භාවනාවය, විදර්ශනා පූර්වාංගම සමථ භාවනාවය යි භාවනා ක්‍රම දෙකක් ඇති බව මජ්ඣිම නිකායේ ධම්මදායාද සූත්‍ර අටුවාවෙහි පැහැදිලි කර ඇත්තේ ය. සමථ පූර්වාංගම විදර්ශනා භාවනා ක්‍රමය යනු ආනාපන කසිණාදි භාවනාවක් කොට උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය හෝ උපදවා පසුව විදර්ශනා භාවනාව කොට මඟපල ලබා ගැනීම ය. ඒ ක්‍රමයෙන් භාවනා කරන යෝගාවචරයෝ සමථයානික නම් වෙති. ආනාපානාදි භාවනාවන්හි නො යෙදී විදර්ශනා භාවනාව ම කොට එයින් ම සමාධිය ලබා මඟපල ලැබීමේ භාවනා ක්‍රමය විදර්ශනා පූර්වාංගම ශමථ භාවනා ක්‍රමය ය. මේ ක්‍රමයෙන් භාවනා කරන්නෝ විදර්ශනායානික නම් වෙත්. ශුෂ්ක විදර්ශක යනු ද ඔවුනට ව්‍යවහාර කරන තවත් නමෙකි. සෑම දෙන මඟපල ලැබිය යුත්තේ කියන ලද භාවනා ක්‍රම දෙකින් එකකිනි. එයට තුන්වන ක්‍රමයක් නැත. ඒ භාවනා ක්‍රම දෙකින් සමථ පූර්වාංගම භාවනා ක්‍රමය නිවන් ලැබීමේ දික් මඟ ය. විදර්ශනා පූර්වාංගම භාවනා ක්‍රමය නිවන් ලැබීමේ කෙටි මඟ ය.
මෙකල ඇතැම් අනුශාසකයෝ ‘කලින් සමථ භාවනාවක යෙදී සමාධියක් උපදවාගෙන මිස විදර්ශනා භාවනාවෙහි යෙදීමෙන් පලක් නැත ය’ යි අනුශාසනය කරමින් බුද්ධෝත්පාද කාලයකදී පමණක් කරන්නට අසන්නට ලැබෙන විදර්ශනා භාවනා මාර්ගය මහජනයාට අවුරති. ඔවුන්ගේ අනුශාසනා ගරු කොට සලකන බොහෝ දෙන බුදු සස්නෙන් ලැබිය යුතු උතුම් දෙය වන විදර්ශනා භාවනාවෙන් පිරිහෙති. සමථ භාවනාවක් කොට ධ්‍යානයක් ඉපදීම ලෙහෙසි කරුණක් නො වේ. නොයෙක් ජාතිවල ධ්‍යාන උපදවා ඒ ගැන පලපුරුද්ද ඇති මහ බෝසතුන් හා තවත් එවැනි අය අතීතයෙහි ධ්‍යාන උපදවා ඇත්තේ අඹුදරුවන් හැර, ධනය හැර, වනගතව පැවිදිව මුළු කාලය ම ඒ සඳහා යොදා භාවනා කිරීමෙනි. ධ්‍යාන ඉපිදවීමේ දුෂ්කරත්වය විශුඬිමාර්ගයෙහි මෙසේ දක්වා ඇත්තේ ය.
“ආදිකම්මිකස්ස හි කසිණපරිකම්මම්පි භාරෝ, සතේසු සහස්සේසු වා ඒකෝව සක්කෝති, කතකසිණ පරිකම්මස්ස නිමිත්තුප්පාදං භාරෝ, සතේසු සහස්සේසු වා ඒකෝව සක්කෝති. උප්පන්නේ නිමිත්තේ තං වඩ්ඪෙත්වා අප්පණාධිගමෝ භාරෝ, සතේස් සහස්සේසු වා ඒකෝව සක්කෝති.”
“මුලින් භාවනා කරන යෝගාවචරයා හට දෝෂයන් දුරු කොට සුදුසු පරිදි කසිණ භාවනාව කිරීම වුව ද බරෙකි. සියයකින් දහසකින් එකෙක් පමණක් එය සුදුසු සේ කිරීමට සමත් වෙයි. සුදුසු පරිදි භාවනා කරන්නහුට වුව ද නිමිත්ත උපදවා ගැනීම බරෙකි. සියයකින් දහසකින් එකෙක් පමණක් එය කර ගැනීමට සමත් වෙයි. නිමිත්ත උපන් කල්හි ද එය වඩා ධ්‍යානය උපදවා ගැනීම බරෙකි. සියයකින් දහසකින් එකෙක් පමණක් එය කර ගැනීමට සමත් වේය.” යනු ඉහත දැක්වූ පාඨයේ තේරුම ය. ධ්‍යාන ඉපදවීම අතිදුෂ්කර බැවින් සමථය වඩා ධ්‍යාන උපදවා විදර්ශනා වඩන්නට බලාපොරොත්තු වුවහොත් දහසකින් දස දහසකින් එකකුටවත් එය සිදු කරන්නට නො ලැබෙනු ඇත. මෙකල මසකට වරක් දෙකක් පොහෝ දිනවල සිල් සමාදන් වී මඳ වෙලාවක් භාවනා කරන්නවුන්ගෙන් ලක්ෂයකින් එකකුවත් ධ්‍යානයක් ලැබුව හොත් එය මහ පුදුමයෙකි. ඔවුනට විදර්ශනා භාවනාවක යෙදෙන්නට නො ලැබීම, ජීවිත කාලය අවසන් වනු ඇත.
බෞද්ධ කවුරුන් විසිනුත් මෛත්‍රී භාවනාදි සමථ භාවනාවල යෙදිය යුතු ය. එහෙත් බුදු සස්න පවත්නා මේ කාලයේදී විදර්ශනා භාවනාව නො හළ යුතු ය. බුදුසස්නෙන් ලැබිය යුතු උසස් ඵල ලැබීමට නම් විදර්ශනා භාවනාව කළ යුතු ම ය. බුදුසස්නේ සාරය විදර්ශනා හා මාර්ගඵලයෝ ය. එබැවින් තථාගතයන් වහන්සේ “ධ්‍යාන සමාධියෙන් පිරිහී එය නැවත ඇති කර ගැනීමට නො හැකි නිසා තමා බුදුසස්නෙන් පිරිහුනෙමි” යි තැවෙමින් සිටි අස්සජි නමැති භික්ෂුවට:-
“යේ තේ අස්සජි, සමණ බ්රාහ්මණා සමාධිසාරකා සමාධිසාමඤ්ඤා තේසං තං සමාධිං අප්පටිලභතං ඒවා හෝති, නෝචස්සු මයං පරිහායාමාති.”
(ඛන්ධකවග්ග සංයුත්ත)
යනු වදාළ සේක. “අස්සජි, යම් ඒ ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් සමාධිය සාරය කොට ඇත්තෝ ද, සමාධිය ශ්‍රමණභාවය කොට ඇත්තෝ ද, සමාධිය නොලබන්නා වූ ඔවුනට අපි පිරිහුණාහු නො වෙම් දැයි සිතේ ය” යනු එහි තේරුම ය. භාග්‍යවතුන් වහන්සේ එසේ වදාරා මාගේ ශාසනයෙහි සාරය සමාධිය නො වේ ය යි විදර්ශනාව දේශනය කළ සේක. එය ඇසීමෙන් අස්සජි භික්ෂූන් වහන්සේ සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියහ.
අස්සජි භික්ෂුවට කලින් උපදවාගෙන සිටි ආනාපාන චතුර්ථධ්‍යානයෙන් ප්‍රයෝජනයක් නො වීය. උන්වහන්සේ රහත් වූයේ ශුෂ්කවිදර්ශකයකු වශයෙනි. බොහෝ සූත්‍රවල ධ්‍යානාභිඥා උපදවා පසුව රහත්වීමේ ප්‍රතිපත්ති ක්‍රමයක් දක්වා ඇත ද සූත්‍ර ධර්ම විමසා බැලීමේ දී පෙනෙන්නේ කමටහන් ලබා ගැනීම සඳහා බුදුරදුන් වෙත ගිය බොහෝ භික්ෂූන්ට උන් වහන්සේ විදර්ශනා භාවනාව ම වදාළ බවය. භාවනාව අසාගෙන ගිය ඒ භික්ෂූන් ද විදර්ශනාවෙන් ම රහත් වූ බව ය. මේ බුදු සස්නෙහි මඟපල ලැබුවන්ගෙන් ඉතා ටික දෙනෙකුන් හැර සෙස්සෝ ධ්‍යාන නො ලැබූ ශුෂ්ක විදර්ශකයෝ ය. සුසීම සූත්‍රය ඒ බවට හොඳ නිදසුනකි.