“අත්ථි භික්ඛවේ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු තත්ත යෝනිසෝමනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා ථීනමිද්ධස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා ථීනමිද්ධස්ස න භීය්යෝභාවාය න වේපුල්ලාය.”
“මහණෙනි, පළමු ඇති වන වීර්ය්යයක් ද එයට බලවත් වීර්ය්යයක් ද බාධා මැඩ ඉදිරියට ම යන බලවත් වීර්ය්යයක් ද ඇත. එය සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නූපන් ථීනමිද්ධයේ නො ඉපදීමට ද උපන් ථීනමිද්ධය නො වැඩීමට හා නො දියුණු වීමට ද හේතුවය” යනු එහි තේරුම ය. වීර්ය්යය ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීමය යනු වීර්ය්යයේ අනුසස් මෙනෙහි කිරීම ය.
“ඡ ධම්මා ථීනමිද්ධස්ස පහාණාය සංවත්තන්ති අතිභෝජනේ නිමිත්තග්ගාහෝ, ඉරියාපථසම්පරිවත්තනතා, ආලෝකසඤ්ඤා මනසිකාරෝ, අබ්භෝකාස වාසෝ, කල්යාණමිත්තතා, සප්පායකථාති.”
යනුවෙන් අටුවාවල ද ථීනමිද්ධ දුරු වීමේ හේතු සයක් දක්වා ඇත. ආහාර ගැනීම ගැන දැනීමය, ඉරියව් වෙනස් කිරීමය, ආලෝකයන් මෙනෙහි කිරීමය, එළිමහනේ විසීමය, කල්යාණමිත්රයන් ඇති බවය, සුදුසු කථාය යනු ඒ කරුණු සය ය.
බඩ තද වන පරිදි උගුර ළඟට එනතුරු ආහාර වළඳා වාඩිවී භාවනා කරන්නට වන් කල්හි හිස මත මහ බරක් පටවන්නාක් මෙන් ථීනමිද්ධය නැඟ එන්නේ ය. පමණට ආහාර වළඳා භාවනාවට පටන් ගත් යෝගාවචරයාහට ඉක්මනින් ථීනමිද්ධය නො එන්නේ ය. මෙ පමණ ආහාරයෙන් ථීනමිද්ධය ඇති වන්නේ ය. මෙපමණ ආහාර ගත් කල්හි ථීනමිද්ධය නො එන්නේ ය යි දැන ක්රියා කරන යෝගාවචරයා හට ථීනමිද්ධය ඇති නො වේ. භාවනාව සතර ඉරියව්වෙන් ම කිරීම සුදුසු ය. එක් ඉරියව්වකින් භාවනා කරන කල්හි ථීනමිද්ධය ඇති වුවහොත් ඉරියව්ව වෙනස් කිරීමෙන් එය දුරු කර ගත හැකි ය. රාත්රී කාලයේ හෝ දවල් කාලයේ හෝ ථීනමිද්ධය ඇති වුවහොත් ඒ වෙලාවට ඇති ආලෝකයක් බලා මඳ වේලාවක් එය මෙනෙහි කිරීමෙන් ද ථීනමිද්ධය දුරු වේ. ථීනමිද්ධයෙන් තොරව නො නිදා වැඩ කරන වීර්ය්යවත් කල්යාණ මිත්රයන් සේවනය කිරීමෙන් ද ථීනමිද්ධය දුරු වේ. ධුතඞ්ගයන් පිළිබඳ වූ ද, වීර්ය්යය පිළිබඳ වූ ද, නො නිදා සිටීම පිළිබඳ වූ ද, කථා ඇසීම හා කිරීමත් ථීනමිද්ධ දුරු වීමේ හේතුවකි.
පාඩම් ඇති ධර්මයක් සජ්ඣායා කිරීම සක්මන් කිරීම ඇමදීම ආදි කයින් කරන වැඩක යෙදීම, ඇල් දියෙන් මුහුණ අත් පා සෝදා ගැනීම, නෑම යන මේවායින් ද ථීනමිද්ධය දුරු කර ගත හැකි ය. කියන ලද එක් ක්රමයකින් වත් එය දුරු කර ගත නො හේ නම් නින්දක් නිදා ගැනීමෙන් එය දුරු කර ගත යුතු ය.