නීවරණ පස අතුරෙන් යෝගාවචරයන්ට වඩා බාධා කරන්නේ, නිතර බාධා කරන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ දෙකිනි. තේරුම් ගැනීම දුෂ්කර වන්නේ ථීනමිද්ධ නීවරණය ය.
අභිධර්මයේ සැටියට කියත හොත් ථීන යනු එක් චෛතසිකයෙකි. මිද්ධ යනු තවත් චෛතසිකයෙකි. ථීන යනු සිත දුබල කරන, පණ නැති කරන, හකුළු වන, ක්‍රියාවෙහි ඉදිරියට යන්නට නොදී එතැන ම තබන, නවත්වන ධර්මයෙකි. මිද්ධ යනු චෛතසිකයන්ට එසේ කරන ධර්මයෙකි. ඒ චෛතසික දෙක සැම කල්හි ම එක් සිතක එකට ඇති වෙනවා මිස කිසි කලෙක එකිනෙක වෙන්ව ඇති නොවේ. එබැවින් ආභිධර්මිකයන්ට ද පොත්වල ලියා ඇති සැටියට වෙන් වෙන් වූ චෛතසික දෙකක් සැටියට පිළිගන්නවා මිස වෙන් කොට තේරුම් ගත නො හැකි ය. සිත ගැන විමසන, සිත පිරිසිදු කර ගැනීමට වෙර වඩන, යෝගාවචරයන්ට ද එක ම ස්වභාවයක් වශයෙන් මිස ඒ දෙක වෙන වෙනම තේරුම් ගත නො හැකි ය. ඒ චෛතසික දෙකෙන් ම සිදු කරන දෙයත් එක ම ය. එබැවින් තථාගතයන් වහන්සේ ඒ ධර්ම දෙක නීවරණ දෙකක් සැටියට නො වදාරා ථීනමිද්ධ නීවරණය යි එක් නීවරණයක් ලෙස වදාළ සේක.
ථීනමිද්ධ දෙක තුදුස් අකුශල චෛතසිකයන්ගෙන් දෙකකි. ඒවා අකුශල චිත්තයෙහි මිස කුශල චිත්තයෙහි කිසි කලෙක ඇති නො වේ. භාවනා කරන්නේ කුශල චිත්තයෙනි. එහි කිසි කලෙක අකුශල චෛතසික වූ ථීනමිද්ධයෝ ඇති නො වෙති. සිත කය දෙක නිශ්චලව තබා ගැනීමේ පුරුද්දක් නැති තැනැත්තාට එක් ඉරියව්වකින් නිශ්චලව ඉන්නා කල්හි ථීනමිද්ධය නැඟ එයි. භාවනාවෙන් වෙහෙසට පත් වූ කල්හි ද ථීනමිද්ධය නැග එන්නේ ය. ථීනමිද්ධ සහගත සිත් ඇති වන්නේ භාවනා සිත්වලට අතර ය. ඒවා ඇති වන්නට පටන් ගත් කල්හි ඒ සන්තානයෙහි ඇතිවන භාවනා චිත්තය ද දුබල වේ. එබැවින් යෝගාවචරයා නැවති නැවතී භාවනා කරයි. ඔහුට භාවනාරම්මණයෙහි සිත පැවැත්වීම මහ බරක් සේ දැනේ. අමාරුවෙන් සිත භාවනාවෙහි යෙදවුව ද නැවත නැවත නවතින්නට පටන් ගනී. සමහර විට ථීනමිද්ධය නිසා යෝගාවචරයා නින්දට වැටේ. ඇතැම් යෝගාවචරයෝ ඒ නින්දට වැටීම සමාධි වීමකැ යි රැවටෙති. “සමාධිමුඛෙන ථීනමිද්ධං වඤ්චේති” යනුවෙන් සමාධියේ ආකාරයෙන් ථීනමිද්ධය යෝගාවචරයන් රවටන බව නෙත්ති අටුවාවෙහි දක්වා ඇත්තේ ය. සමාධියේ ආකාරයෙන් ඇති වන ඒ නින්දෙහි එක්තරා රසයක් ඇත්තේ ය. ඒ නිසා ඇතැම් යෝගාවචරයෝ සමාධි වෙමි යි සිතා ඕනෑ කමින් ම වාඩි වී නින්දට වැටෙති. ඔවුහු නො දැනීම නිසා ඒ ථීනමිද්ධය ප්‍රහාණය කිරීමට උත්සාහ නො කරති. සමාධි රූපයෙන් එන නින්ද සමාධියට බාධාවකි. සමාධි වෙමි යි සිතා නින්ද වඩන යෝගාවචරයන්ට කිසි කලෙක සමාධියක් නො ලැබිය හැකිය. දැනට සමාධි වෙමියි කියා වාඩි වී නිශ්චල වන යෝගාවචරයෝ මේ ගැන විශේෂයෙන් කල්පනා කෙරෙත්වා!
යෝගාවචරයාහට යම් අවස්ථාවකදී සිත භාවනාවෙහි යෙදවීම, මහ බරක් ගෙන යාමක් සේ දැනෙනවා නම්, ඔහුගේ භාවනා චිත්තය නැවති නැවතී පවතිනවා නම්, ඇසි පිය බර වෙනවා නම්, ඇස් පියවෙනවා නම් ඇඟ පණ නැති වෙනවා නම්, ඇඟ ඒ මේ අතට බර වෙනවා නම්, නැමෙනවා නම් ඒ සිදුවන්නේ ථීනමිද්ධයෙකැයි දත යුතු ය. ඒවා සිදු වීම ථීනමිද්ධයෙන් කරන භාවනා මාර්ගය වැසීම ය. ථීනමිද්ධ නීවරණය තේරුම් ගත යුත්තේ එයින් සිදුවන කරුණුවලිනි.
නින්ද සැමට ම වුවමනා දෙයකි. එබැවින් සකල සත්ත්වයෝ ම නිදති. ඒ ස්වභාවික නින්ද ථීනමිද්ධයෙන් සිදුවන්නක් නොවේ. සකල ක්ලේශයන් ප්‍රහාණය කළ රහතුන්ට ද ස්වභාවික නින්ද ඇත. ථීනමිද්ධ නිසා ඇතිවන නින්ද ස්වභාවික නින්දට අතිරේක වශයෙන් ඇති වන්නකි.