උද්ධච්ච යනු අකුශල චෛතසිකයෙකි. කුක්කුච්ච යනු ද අකුශල චෛතසිකයෙකි. මේ දෙකින් ම යෝගාවචරයන්ට බාධා කරන්නේ, භාවනා මාර්ගය ආවරණය කරන්නේ සිත නො සන්සුන් කිරීම වූ එක් ආකාරයකිනි. එබැවින් ඒ ධර්ම දෙක එක් නීවරණයක් වශයෙන් වදාරා ඇත්තේ ය.
ථීනමිද්ධ දෙක භාවනාව ආවරණය කරන්නේ එකට ඉපිද එකට බැඳී සිටගෙන ය. උද්ධච්ච කුක්කුච්චයන්ගේ ආවරණය එසේ නො වේ. උද්ධච්ච කුක්කුච්ච දෙක එක්ව සිටගෙන ද ආවරණය කරයි. කුක්කුච්චයේ සම්බන්ධයක් නැතිව උද්ධච්චය පමණක් ද ආවරණය කරයි. කුක්කුච්චය ආවරණයක් වන්නේ යෝගීන්ගෙන් ඉතා ටික දෙනකුට පමණ ය. ඒ ටික දෙනාට වුව ද ආවරණය වන්නේ කලාතුරකිනි. උද්ධච්චය සියලු ම යෝගීන්ට නිතර නිතර බාධා කරන නීවරණයෙකි.
උද්ධච්චය යනු භාවනාවට බැසගත් යෝගාවචරයාගේ චිත්තපරම්පරාව දිගට ම භාවනාවෙහි යෙදීම් වශයෙන් පවතින්නට නො දී භාවනාරම්මණයෙන් පිටත වූ නානාරම්මණයන් කරා චිත්ත පරම්මරාව යවන නානාරම්මණයන් සම්බන්ධයෙන් නානා කරුණු සම්බන්ධයෙන් නොයෙක් සිත් උපදවන ධර්මයෙකි. එක් ආරම්මණයක හෝ එක් අරමුණු කොට්ඨාසයක හෝ සිතට පවතින්නට නො දීම සිත නො සන්සුන් කිරීමය යි ද වික්ෂිප්ත කිරීම යයි ද කියනු ලැබේ. සිත නොසන්සුන් කරන ඒ උද්ධච්චය සමාධියට විරුද්ධ ස්වභාවයෙකි.
අනා පදම් කළ තෙත් මැටි පිඩ උඩ සිට පොළොවට හෙලූ කල්හි පොළොව බදාගෙන නො සැලී සිටින්නාක් මෙන්, සමාධියෙන් යුක්ත සිත පැමිණි ආරම්මණය තදින් ගෙන එහි නො සැලී පිහිටයි. සමාධියේ ආනුභාවයෙන් ඒ සිත් පරම්පරාවෙහි ඉදිරියට ඇතිවන සිත් ද අන් අරමුණු නො ගෙන ඒ අරමුණු ම හෝ ඒ කොටසට අයත් අරමුණු හෝ ගනිමින් ඒවායේ මැනවින් පිහිටමින් උපදී. එබැවින් සමාධිය ඇති යෝගාවචරයාට අතරක් නැතිව බොහෝ වේලාවක් තමාගේ සිත භාවනාරම්මණයෙහි පැවැත්විය හැකි වේ. සුළං පිරවූ පන්දුව බිම හෙලූ කල්හි පොළොව අල්ලා නො ගෙන උඩ පනින්නාක් මෙන් ඇතැම් සිත්, පැමිණි අරමුණ තදින් නො ගෙන එයින් ඉවත් වන ආකාරයෙන් එහි සැලෙන ආකාරයෙන් උපදී. එසේ වන්නේ ඒ සිත්වල ඇති උද්ධච්ච චෛතසිකය නිසා ය. උද්ධච්චයේ ස්වභාවය සිත අරමුණෙන් අරමුණට යැවීම ය. එක් අරමුණක් ගෙන උපන් උද්ධච්ච සහගත සිත ළඟට අන් අරමුණක් ගන්නා උද්ධච්ච සහගත සිතක් උපදී. එයට අනතුරුව තවත් අරමුණක් ගන්නා උද්ධච්ච සහගත සිත් උපදී. සියලුම අකුසල් සිත් උද්ධච්චයෙන් යුක්ත ය. යෝගාවචරයකුට භාවනා කරන කල්හි උපන් උද්ධච්චය දුබල නම් භාවනාරම්මණයෙන් අන්යාරම්මණයන් ගන්නා සිත් මඳක් උපදී. ඉන්පසු ඔහුගේ සිත භාවනාරම්මණයට පැමිණේ. උද්ධච්චය බලවත් වූ කල්හි බොහෝ වේලාවක් නානාරම්මණයන් පිළිබඳ සිත් උපදී. එයින් ලබා ඇති සමාධිය ද දුබල වේ. උද්ධච්චය යටපත් කොට සිත භාවනාවට ගත ද ඉක්මනින් පිටතට යේ.
උද්ධච්චය කාමච්ඡන්දාදිය සේ සිතෙන් වෙන් කොට තේරුම් ගත හැකියක් නො වේ. උද්ධච්චය යෝගාවචරයන්ට ඇති ඉමහත් බාධාවෙකි. උද්ධච්ච පීඩාවේ තරම ද භාවනා පුරුදු නො කළ කෙනකුට පොත් කියවා තේරුම් ගත නො හැකි ය. මේ උද්ධච්චය නිසා යෝගාවචරයකුට සිත විනාඩි කීපයක් එක් අරමුණක තැබීම වුව ද අති දුෂ්කර ය.
උද්ධච්චය කාමච්ඡන්දය හා එක්වී යෝගාවචරයාගේ සිත භාවනාරම්මණයෙන් ඉවත් කොට කාම වස්තූන් කරා යවන්නේ ය. ව්‍යාපාදය හා එක් වී යෝගාවචරයාගේ සිත ව්‍යාපාද වස්තූන් කරා යවන්නේ ය. උද්ධච්චය භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාගේ සිත ඔහු හා කිසිම සම්බන්ධයක් නැති ඔහුට කිසි වුවමනාවක් නැති රටේ තොටේ වැඩවලට රටේ වෙසෙන අයගේ හොඳ නරක ගැන අතීත සිදුවීම් ගැන නැවත නැවත යවන්නේ ය. උද්ධච්චය නිසා සමහරවිට යෝගාවචරයාගේ සිත ඔහු කරන භාවනාව සම්බන්ධයෙන් ද වික්ෂිප්ත වන්නේ ය. භාවනාව පටන් ගත් කල්හි මාගේ සමාධිය දැන් දියුණු ය, මට දැන් හොඳ වැටහීමක් ඇත ය, මාගේ තත්ත්වය අසවල් අසවල් අය හා සාකච්ඡා කළ යුතු ය, ඔවුන්ගේ තතු විමසන්නට ඕනෑය යනාදි සිත් ඇතිවීම භාවනාව සම්බන්ධයෙන් වන වික්ෂේපය ය. එබඳු වික්ෂේපයක් වේ නම් එය උද්ධච්චය නිසා වන්නක් බව තේරුම් ගෙන එය දුරු කර ගන්නට වෑයම් කළ යුතු ය. වික්ෂිප්ත වීම උද්ධච්චයේ ක්‍රියාවක් බව නො තේරෙන යෝගාවචරයාහට උද්ධච්චය දියුණු වේ.
කරන ලද පව්කම් සම්බන්ධයෙන් හා කළ හැකි අවස්ථාවේදී නො කර, අවස්ථාව ඉක්ම ගිය කුශලයන් සම්බන්ධයෙන් පසු කාලයේ දී ඇතිවන තැවීම - දුක්වීම කුක්කුච්ච නම් වේ. කෙලෙසුන් නැඟී සිටින කල්හි ඒ කෙලෙසුන්ට වසඟ වූ පුද්ගලයාට පව්කම් කිරීම මිහිරිය. නැඟී සිටි කෙලෙසුන් සන්සිඳී ගිය පසු, වරද තේරුම් ගැනීමේ නුවණ පහළ වූ පසු පව් කළවුන්ට කළ වරද - කළ අපරාධ සම්බන්ධයෙන් “මා විසින් කළේ වරදෙක, මට වූයේ වැරදීමක” කියා පසුතැවිල්ලක් ඇති වේ. ඒ තැවිල්ල තුනුරුවන්ට මාපියන්ට පැවිද්දන්ට ගුණවතුන්ට වරද කළවුන්ට හා මිනීමැරීම් ස්ත්‍රීන් අනාථ කිරීම් අනුන්ගේ දේපොල පැහැර ගැනීම් ආදී බලවත් අපරාධ කළවුන්ට වඩා ම ඇති වේ. කෙලෙසුන්ට වසඟවීම නිසා කළ යුතු කළ හැකි අවස්ථාවේ දී මාපියන්ට සැළකීම් දන්දීම් පෙහෙවස් විසීම් ආදී පින්කම් නො කොට අවස්ථාව ඉක්ම වූ පුද්ගලයන්ට කෙලෙස් සන්සිඳී නුවණ පහළ වී කාරණය තේරුම් ගත් පසු නො කොට හළ කුශලයන් සම්බන්ධයෙන් කුක්කුච්චය ඇති වේ. විනය නූගත් පැවිද්දන්හට කැපදෙයක සිතා අකැප වැඩ කොට කළ දෙය අකැප වැඩකැයි දැන ගස් පසු ද, කැප දෙයක් කොට පසු කාලයේ දී කළ දෙය අකැප දෙය යන හැඟීම් ඇති වීමෙන් ද, කළ දෙයේ වරද නිවරද බව තේරුම් ගත නො හැකි වීමෙන් ද කුක්කුච්චය ඇති වේ. පසුතැවීමට හේතුවන කරුණු ඇති යෝගාවචරයන්ට භාවනා කරන කල්හි ඒ අතීත කරුණු සිහිවන්නට පටන් ගනී. පසුතැවෙන ද්වේෂමූලික සිත් ඇති වන්නට පටන් ගනී. මෙයින් යෝගාවචරයාට භාවනාරම්මණයෙහි සිත පිහිටුවා ගැනීම අපහසු වේ. සිත භාවනාරම්මණයට ගත ද නැවත නැවතත් එයින් බැහැර වන්නට පටන් ගනී. ඒ කුක්කුච්චයෙන් කෙරෙන ආවරණය ය.