“අත්ථි භික්ඛවේ, මෙත්තා චේතෝවිමුක්ති, තත්ථ යෝනිසෝමනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා ව්යාපාදස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා ව්යාපාදස්ස පහාණාය, භීය්‍යෝභාවාය න වේපුල්ලාය.”
“මහණෙනි, මෙත්තා චේතෝවිමුක්තියක් ඇත. එය පිළිබඳව සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නූපන් ව්‍යාපාදය නො ඉපදීමටත් උපන් ව්‍යාපාදය දුරුවීමටත් නො වැඩීමටත් නො දියුණුවීමටත් හේතු වේය යනු එහි තේරුම ය.
අන්‍යයන්ට හිතවත් බව මෙත්තා නමි. එයින් යුක්ත වූ සිත නීවරණාදියෙන් මිදී ඇති බැවින් මෙත්තාචේතෝ විමුක්ති නමි. එනම් මෛත්‍රී සහගත සිත ය. නිතර එය පවත්වා ගැනීමට සිතීම එහි අනුසස් සිතීම මෙත්තා චේතෝවිමුක්තිය පිළිබඳව සුදුසු පරිදි සිතීම ය.
“ඡ ධම්මා ව්යාපාදස්ස පහාණාය සංවත්තන්ති, මෙත්තානිමිත්තස්ස උග්ගහො, මෙත්තාභාවනානුයෝගෝ, කම්මස්සකතා පච්චවෙක්ඛණා, පටිසඞ්ඛාන බහුලීකතා, කල්යාණමිත්තතා, සප්පාය කථා.”
යනුවෙන් ව්‍යාපාදය දුරුවීමේ හේතු සයක් අටුවාවල දක්වා ඇත්තේ ය. මෛත්රීකර්මස්ථානය උගෙනීම, උගත් මෛත්‍රිය නැවත නැවත පැවැත්වීම, කර්මය තමා අයත් දෙය වන බව මෙනෙහි කිරීම, දෙදෙනාට ම කර්මය හිමි බව සිහි කොට කර්ම කර්ම ඵල දක්නා නුවණින් යුක්ත වීම අස්සගුත්ත තෙරුන් වහන්සේ වැනි මෛත්‍රීභාවනාව බොහෝ කොට කරන කල්‍යාණමිත්‍රයන් ඇති බව, සුදුසු කථා ඇති බව යනු ඒ කරුණු සය ය.
මෙහි මෛත්රීකර්මස්ථානය උගෙනීමය යි කියන ලදුයේ උපචාර සමාධය ඇති වන තුරු පූර්වභාගයෙහි කරන මෛත්‍රී භාවනාවට ය. කර්මය තමා අයත් දෙය වන බව මෙනෙහි කිරීමය යනු මම මාගේ කර්මයෙන් ම මෙලොව ඉපද මාගේ කර්මයෙන් ම පරලොව යන්නේ වෙමි. ඔහු ගැන මා කිපුණේ ද එයින් ඔහුට වන හානියක් නැත. ඒ ඔහු ගේ ශීලාදිය මට නැසිය නො හැකි ය. මා කිපුණහොත් එහි විපාකය හිමි වන්නේ ඔහුට නො ව මට ය. ඔහු මට වරදක් කෙළේ ය. අලාභයක් කෙළේ ය කියා මා කිපුණ හොත් එය මා විසින් මට ම තවත් වරදක් කර ගැනීම ය. තවත් හානියක් කර ගැනීම ය. වරද කළ අනුන්ට කිපීම නම් ගිනි අඟුරු හෝ අසූචි අතට ගෙන අනුන්ට පහර දීමට තැත්කිරීම වැනිය යනාදීන් කර්මය තමා අයත්වන බව මෙනෙහි කිරීම ය. තමා ගැන අනුන් කිපුණු විට ද මොහුගේ කිපීමෙන් මට වන හානියක් නැත. මාගේ ශීලාදිය ඔහුට නො නැසිය හැකි ය, කර්ම විපාක ඔහුට ද ඇත්තේ ය, කිපීමේ විපාකය ඔහුට ම වන්නේ ය යනාදීන් අනුන් ද කර්මය අයත් කොට ඇතියවුන් බව මෙනෙහි කළ යුතු ය. එසේ කරන කල්හි නූපන් ව්‍යාපාදය නූපදී. උපන් ව්‍යාපාද ද දුරු වේ.
අස්සගුත්ත තෙරුන් වහන්සේ මේ බුදුසස්නෙහි මෛත්‍රියෙන් වාසය කරන භික්ෂූන්ගෙන් අගතැන්පත් රහතන් වහන්සේ ය. බුදුරදුන් ජීවමාන කාලයේ රජගහ නුවර සකුලුදායි නම් පිරිවැජියෙක් විසුවේ ය. ඔහු පිරිවැජි පිරිසක නායකයෙකි. බුදුරජාණන් වහන්සේ ඔහුට දෙවරක් දහම් දෙසූ සේක. චූළසකුලුදායි සූත්‍රය හා මහා සකුලුදායී සූත්‍රය ඔහුට දේශනය කළ ධර්මයෝ ය. දහම් ඇසුව ද ඔහු මඟපලයකට නො පැමිණියේ ය. චූළසකුලුදායි සූත්‍රය ඇසීමෙන් ඔහු බුදු සස්නෙහි පැහැදී තෙරුවන් සරණ ගොස් තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියේ ය. ඔහුගේ ශ්‍රාවකයන් විසින් ඔහුට බුදුසස්නෙහි පැවිදිවීමට ඉඩ නොදෙන ලදි. බුදුරදුන් හමුවී දහම් අසන්නටත් ලැබී, පැවිදිවීමටත් කැමැත්ත ඇති වී ඔහුට එය වැළකී ගියේ අතීත අකුශල කර්මයකිනි. පෙර සකුලුදායි කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදිව විසුවේ ය. ශාසනයෙහි උකටලී වූ ඔහු ගේ මිත්‍ර භික්ෂුවක් තමා සිවුරු හැර යන්නට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු ට කීයේ ය. සකුලුදායි ඒ භික්ෂුවගේ පාසිවුරුවලට ලෝභ කොට සිවුරු හැර යාමේ ගුණ වර්ණනා කෙළේ ය. ඒ භික්ෂුව පාසිවුරු සකුලුදායි භික්ෂුවට දී සිවුරු හැර ගියේ ය. සකුලුදායිගේ පැවිදිවීම වැළකී ගියේ ඒ පාපකර්මය නිසා ය.
තථාගතයන් වහන්සේ දෙවරක් ම ඔහුට දහම් දෙසූයේ අනාගතයෙහි සකුලුදායි මේ සස්නෙහි පැවිදිව මෛත්‍රියෙන් වාසය කරන භික්ෂූන් ගෙන් අග්‍රවන බව දැකීමෙනි. එබැවින් උන් වහන්සේ නොයෙක් කරුණු සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා අග්‍රස්ථානයෙහි තබා වදාළ නුමුත් මෛත්‍රී විහාරීන්ගෙන් අග්‍රස්ථානයෙහි භික්ෂුවක් නො තැබූහ. සකුලුදායි පිරිවැජි තෙමේ ධර්මාශෝක රජුගේ කාලයේ දී පැළලුප් නුවර කුල ගෙයක ඉපිද පැවිදිව සව්කෙලෙසුන් නසා රහත්ව අස්සගුත්ත නම් තෙරුන් වහන්සේ විය. උන්වහන්සේ මෛත්‍රියෙන් වාසය කරන්නවුන්ගෙන් අග්‍ර වූහ. දඹදිව සියලු භික්ෂූන්ගෙන් අවවාදාචාර්ය වී වත්තනිය නම් වූ අරණ්‍ය සේනාසනයෙහි විසූහ. උන්වහන්සේගේ මෛත්‍රී බලයෙන් තිස්යොදුනක් පමණ වූ වත්තනිය වනයේ වෙසෙන තිරිසන් සත්ත්වයෝ ද ඔවුනොවුන් කෙරෙහි මෙත්සිත් ලැබූහ. තිස් යොදුනක් පමණ වූ ඒ වනය එක ම භාවනා ස්ථානයක් විය. පිරිස බොහෝ බැවින් උන්වහන්සේ අහසෙහි සම්කඩ අතුරා එහි වැඩ සිට ඔවුනට කමටහන් කියා දුන්හ. කල් යාමෙන් ශ්‍රාවකයන් වැඩි වීම නිසා තෙරුන් වහන්සේ පිඬු පිණිස ද පිටත නො ගොස් එහි ම වෙසෙමින් කමටහන් කියා දීමෙහි යෙදුණහ. ධර්මාශෝක නරේන්ද්රතුමා තෙරුන් වහන්සේගේ ගුණ අසා උන් වහන්සේ වැඩම කරවා ගැනීම සඳහා තෙවරක් දූතයන් යැවී ය. භික්‍ෂුසඞ්ඝයාට අනුශාසනය කිරීම කඩවන බැවින් තෙරුන් වහන්සේ රජුගේ ආරාධනාවට ද නො වැඩියහ. මේ කථාව චූළසකුලුදායි සූත්‍ර අටුවාවෙහි සඳහන් වේ.
ව්‍යාපාදය ඇති නො වීමට සුදුසු කථා නම් මෛත්‍රියෙහි අනුසස් පිළිබඳ වූ ද, කෝපයෙහි ආදීනව පිළිබඳ වූ ද, ඉවසීමේ අනුසස් පිළිබඳ වූ ද කථා ය. එබඳු කථා කිරීමෙන් හා කරනවා ඇසීමෙන් ද ව්‍යාපාදය දුරු වේ. ව්‍යාපාද නීවරණය ඇති නො වීම පිණිස මෙනෙහි කළ යුතු ධර්ම මෙතැන් පටන් දක්වනු ලැබේ.