ඇසට පෙනෙන, කනට ඇසෙන, නාසයට-දිවට දැනෙන, කයට දැනෙන, සිතට හසුවන-දැනෙන අරමුණු හා විරුද්ධ ස්වභාවය අරමුණට අනනුකූලස්වභාවය ව්‍යාපාද නම් වේ. එය ඇති වූ කල්හි බතක් පිළුණු වී ගියාක් මෙන් ඉදුණු ගෙඩියක් කුණු වී ගියාක් මෙන් සිත නො මනා ස්වභාවයකට පැමිණේ. “මෙය දැකීමෙන් ඇසීමෙන් මේ දෙය සිදු වීමෙන් මාගේ සිත නරක් වූයේ ය”යි මිනිසුන් සමහරවිට කියන්නේ ව්‍යාපාදය නිසා සිතට ඇති වූ ඒ නො මනා ස්වභාවය ගැන ය. ඒ සිත කුණු කරන ස්වභාවය එය ඇති වු පුද්ගලයාගේ හා අන්‍යයන්ගේ ද දියුණුව හා සැපය නසන බැවින් ව්‍යාපාද නම් වේ. ද්වේෂය ක්‍රෝධය වෛරය විරුද්ධත්‍වය නො සතුට නො රිස්සුම පිළිකුල භය යන වචන වලින් කියැවෙන්නේ ද ඒ ඒ ආකාරයෙන් ඇතිවන ව්‍යාපාදය ය. ඥාති ව්‍යසනාදිය නිසා ඇතිවන ශෝකය ය, අනුන්ගේ සම්පත් නො ඉවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව ය, තමාගේ දෙයින් අනුන්ට ප්‍රයෝජනයක් යහපතක් වීම නො ඉවසන තමා අයත් දෙයක් අනුන්ට නො දෙන ස්වභාවය වූ මාත්සර්ය්‍ය ය, කළ පව්කම් ගැන තැවෙන ස්වභාවය වූ කුක්කුච්චය යන මේ පාප ධර්මයෝ ද ව්‍යාපාදය හා බැඳී උපදනා ධර්මයෝ ය. ව්‍යාපාදයෙන් තොරව ඒවා ඇති නො වේ. ස්වර්ග මාර්ගය භාවනා මාර්ගය හා නිර්වාණ මාර්ගය වසන බැවින් ඒ ව්‍යාපාද නීවරණ නම් වේ.
අන්‍යයා හා තදින් සැපෙන්නා වූ ආකාරයෙන් අන්‍යයාට රිදවන ආකාරයෙන් අන්‍යයා විනාශ කරන ආකාරයෙන් අන්‍යයන්ට විරුද්ධව ඉදිරිපත් වන ආකාරයෙන් ඇතිවන ගින්නක් සේ දරුණු ව්‍යාපාදය ක්‍රෝධ නම් වේ. එය බෙහෙවින් ඇති වන්නේ දුබල සතුරන් සම්බන්ධයෙනි. සතුරු වස්තුව කෙරෙන් හෝ පුද්ගලයා කෙරෙන් ඈත්වන ස්වභාවයෙන්, පලායන ස්වභාවයෙන්, පස්සට යන ස්වභාවයෙන් ඇතිවන ව්‍යාපාදය භය නම් වේ. එය බෙහෙවින් ඇති වන්නේ බලවත් සතුරා සම්බන්ධයෙනි. විරුද්ධව ඉදිරිපත් වන ආකාරය ද නැති, පලා යන ස්වභාවය ද නැති, එතැනම ඇකිළෙන ස්වභාවයෙන් ඇතිවන ව්‍යාපාදය පිළිකුල නම් වේ. අපවිත්‍රව වෙසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් හා නොමනා නීච ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ද අසූචි මළකුණු ආදි අපවිත්‍ර වස්තූන් සම්බන්ධයෙන් ද පිළිකුල නම් වූ ව්‍යාපාදය ඇති වේ.
මේ ව්‍යාපාදය වනාහි නිවන ගැන මඳ හැඟීමකුදු ඇති නොවන පරිදි, සත්ත්වයන්ගේ නුවණැස වසා ඔවුන් පස්කම් සැප සෙවීමෙහි යොදවා නිවන ආවරණය කරන කාමච්ඡන්ද නීවරණය සේ බොහෝ ජනයාට නිතර ඇතිවන නීවරණයක් නොවතුදු දීර්ඝ කාලයකට සගමොක් දෙක ම වැසී යන දරුණු පව්කම් සිදු කරවන නීවරණයෙකි. දීර්ඝ කාලයකට සගමොක් මං වසන මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුවරුන්ගේ කයෙහි ලේ සෙලවීම, සඞ්ඝයා භේද කිරීම යන ප්‍රතිකාරයක් නැති දරුණු පව් සිදු කෙරෙන්නේ ව්‍යාපාදයෙනි.
මේ ව්‍යාපාදය නිසා මා පියන්ට අපරාධ කිරීම, පැවිද්දන්ට වරද කිරීම, සිල්වතුන්ට ගුණවතුන්ට වරද කිරීම, බුදුපිළිමවලට දාගැබ්වලට විහාරවලට බෝධිවලට වරද කිරීම යන මේවායින් ද සගමොක් මඟ වැසේ. එහෙත් ඒ වරද වලට ප්‍රතිකාරයක් ඇත්තේ ය. එනම් සමා කර ගැනීම ය. එසේ කළ කල්හි ඔහුට ස්වර්ගමෝක්ෂාවරණය නො වේ.
“දෝසේන හි දුට්ඨෝ මාතාපිතූසු පි චේතියේ පි බෝධිම්හි පි පබ්බජිතේසු පි අපරජ්ඣිත්වා මය්හං ඛමථාති අච්චයං දේසේති, තස්ස සහ ඛමාපනේන තං කම්මං පටිපාකතිකමේව හෝති.”
(මනෝරථපූරණී)
අනේකාකාර ව්‍යාපාදයන් අතුරෙන් දහම් පොත්වල ‘අරති’ යන නමින් හඳුන්වා ඇති භාවනාව නො රිස්සීම එපාවීම වූ ව්‍යාපාදය යෝගාවචරයන්ට ඉතා බාධක වූ සියුම් වූ ව්‍යාපාද නීවරණය ය. බොහෝ යෝගාවචරයන් භාවනාවෙන් ඉවත් වන්නේ නිවන් මඟින් ඉවත් වන්නේ එපාවීම් ආකාරයෙන් ඇතිවන ඒ ව්‍යාපාදය නිසා ය. නිවන් මඟට බැසීම් වශයෙන් අරණ්‍යයකට හෝ අන් ජනශූන්‍යස්ථානයකට හෝ එළඹ භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාහට මැසි මදුරු ආදි සතුන්ගෙන් පීඩා ලැබේ. සමහර විට වුවමනා පරිදි ආහාර පාන නොලැබී යාමෙන් අපහසු වේ. එක් තැනක හිඳ භාවනාවෙහි යෙදෙන කල්හි බොහෝ ශාරීරික වේදනා ඇති වේ. සමහර විට රෝග ද හට ගනී. ඒවායින් පීඩාවට පත්වන යෝගාවචරයාහට භාවනාව එපා වීම් ආකාරයෙන් ව්‍යාපාද නීවරණය ඇති වේ. භාවනාවෙහි යෙදෙන ඇතැමුන්ට වැඩිකල් ගත නොවී ම සතුටු වීමට කරුණු ඇති වේ. ඇතැමුන්ට බොහෝ කල් භාවනාවෙහි යෙදුණේ ද සතුටු වීමට තරම් දෙයක් සිදු නොවේ. අමුතු සමාධියක් හෝ ඥනයක් ඇති නො වේ. ආලෝකයක් තරම දෙයකුදු ඇති නො වේ. එයින් ද යෝගාවචරයනට භාවනාව එපාවීම වූ ව්‍යාපාද නීවරණය ඇති වේ. සියුම් බැවින් ඒ ව්‍යාපාදය ව්‍යාපාදයක් ලෙස තේරුම් ගැනීම දුෂ්කර ය. එයින් භාවනාමාර්ගය ආවරණය වූ යෝගාවචරයාහට ‘අද විවේක ගෙන සෙට භාවනා කරමි’ යි සිතේ. පසු දිනයෙහි ද ‘අද මේ කටයුත්ත කොට සෙට භාවනා කරමි’ යි සිතේ. එසේ සිතී ඔහු භාවනාවෙහි නොයෙදී අන් කටයුතුවල යෙදෙයි. ඒ ව්‍යාපාදයෙන් කරන ආවරණය ය. සමහර විට එසේ සතිය මාසය භාවනාව නවත්වා අන්තිමේ දී අන් කටයුතු වලට ම බැස සම්පූර්ණයෙන් ම යෝගාවචරයා නිවන් මගින් බැහැර වේ. එසේ නො වන්නට යෝගාවචරයෝ පරෙස්සම් වෙත්වා! ඉතා ම බාධක ව්‍යාපාද නීවරණය, මේ අරති නම් වූ භාවනාව එපාවීමේ ව්‍යාපාදය ය.
අනිකකු විසින් තමාට චෝදනා කළ කල්හි, තමාගේ ගෞරවයට හානි වන පරිදි අවගුණ පැතිර වූ කල්හි, කේලාම් කියා අන්‍යයන් තමා කෙරෙහි කලකිර වූ කල්හි, තමාගේ වැඩ වලට බාධා කළ කල්හි, තමාගේ භාණ්ඩ ගෙන නුසුදුසු සේ පරිහරණය කොට ඒවා නරක් කළ කල්හි, තමාට ලැබෙන ලාභ නැති කළ කල්හි, තමා වාසය කරන තැන අපවිත්‍ර කළ කල්හි, ආචාර්ය්‍යෝපාධ්‍යායාදීන්ට අවමානයක් කළ කල්හි, මාපියාදීන්ට අවමානයක් අලාභයක් කළ කල්හි, කෝපයක් ඇති වේ. ඒ ව්‍යාපාද නීවරණය ය. හික්මීමක් නැති පුද්ගලයෝ එබඳු අවස්ථාවලදී අනුන්ට බැණ අත්පාවලින් පහර දී සමහර විට දඬු මුගුරු හා ආවුධ ද පාවිච්චි කොට අනුන්ට පීඩා කොට තුමූ ද අමාරුවට පත් වෙති. හික්මීමක් ඇති යෝගාවචරයන් එසේ කෝලාහල නො කරතත් ඒ ව්‍යාපාදය එකෙණෙහි ම දුරු කර නො ගතහොත් ඔවුනට එය භාවනාව ආවරණය කරන්නක් වේ. භාවනාවෙහි යෙදෙන්නට වන් කල්හි සිත භාවනාරම්මණයෙහි නො පැවතී තමන්ට කළ වරදට හා එය කළ පුද්ගලයා දෙසටත් නැවත නැවත හැරෙන්නට පටන් ගනී. ඒ කෝපය දුරු කර ගන්නා තුරු ඔහුට සමාධියක් නො ලැබේ. ලබා ඇති සමාධියක් හෝ ඥාන විශේෂයක් තිබුණේ නම් ව්‍යාපාදය නිසා එය ද පිරි හේ.
ඇතැමුන්ට තමන්ට කිසි සම්බන්ධයක් නැති රටේ වෙසෙන අන්‍යයන් කරන වරදවල් ගැන සියුම් ද්වේෂයක් ඇති වේ. එද ව්‍යාපාද නීවරණය ය. සියුම් බැවින් එය ව්‍යාපාදයක් වශයෙන් ඔවුනට නො දැනේ. ඒ සියුම් ද්වේෂය බෙහෙවින් ඇති වන්නේ ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන්ට ය. භාවනාව සඳහා වනගත වී සිටින සික පද අකුරට ම පිළිපදන සිල්වත් ඇතැම් යෝගීන්ට අනුන්ගේ වරද සම්බන්ධයෙන් ඇතිවන ඒ සියුම් ව්‍යාපාදය ආවරණයක් වන්නේ ය. ඇතැම් යෝගීහු “අසවල සල්ලාලයෙක, පරස්ත්‍රීන් දූෂණය කරන්නෙක, සොරෙක, මුදල් රවටා ගැනීමට පින්කම් කරන්නෙක, සඟසතු දෙය පැහැර ගන්නෙක, අසවල් භික්ෂුව බුදුන් වැඳීම පවා නො කරන්නෙක, අසවල් භික්ෂුව මුදල් සැපයීමෙහි යෙදී සිටින්නෙක, අසවල් භික්ෂුව රහසේ කම්සැප විඳින්නෙක, මත්පැන් පානය කරන්නෙක, අසවල් භික්ෂුව සිල් පෙන්වා ලොව රවටන්නෙක, අසවල් පන්සලේ අය මේ මේ වැරදි වැඩ කරන්නාහ”යි අනුන්ගේ වරද ගැන නිතර සිතමින් හමුවන අය හා අනුන්ගේ වරදවල් ගැන කතා කරමින් කල් යවති. ශාසනය ශුද්ධ කිරීම ගැන සිතති. කතා කරති. ඒ සියුම් ද්වේෂය ප්‍රහාණය නො කළ හොත් ඔවුනට සමාධියක් ඇති නො වේ. විදර්ශනාව ද දියුණු නො වේ. ඒ ද්වේෂය ඇති පුද්ගලයා භාවනාවට වන් කල්හි ඔහු ගේ සිත භාවනාරම්මණයෙහි නො පවතී. වරද කරන අනුන් කරා ම ඔහුගේ සිත නැවත නැවත යන්නේ ය. ඒ නිසා භාවනා දියුණුවක් ඔහුට නො වේ. මේ කාරණය සඳහා තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදරා ඇත්තේ ය.
“පරවජ්ජානුපස්සිස්ස-නිච්චං උජ්ඣානසඤ්ඤිනෝ,
ආසවා තස්ස වඩ්ඪන්ති-ආරා සෝ ආසවක්ඛයා.”
“අනුන්ගේ වරද සොයන ස්වභාවය ඇත්තා වූ නිතර අනුන්ගේ දොස් කියන්නා වූ පුද්ගලයා හට ආශ්‍රවයෝ වැඩෙන්නාහ. ධ්‍යානාදීන් අතුරෙන් එක ධර්මයකුදු ඔහුට නො වැඩෙන්නේ ය. එබැවින් ඔහු අර්හත්වයෙන් දුර සිටින්නෙක” යනු ඒ ගාථාවේ තේරුම ය.