- අට්ඨිකඞ්කලූපමා කාමා,
- මංසපේසූපමා කාමා,
- තිණුක්කූපමා කාමා,
- අඞ්ගාරකාසූපමා කාමා,
- සුපිනකූපමා කාමා,
- යාචිතකූපමා කාමා,
- රුක්ඛඵලූපමා කාමා,
- අසිසූනූපමා කාමා,
- සත්තිසූලූපමා කාමා,
- සප්පසිරූපමා කාමා,
- අග්ගික්ඛන්ධූපමා කාමා.
(නිද්දෙසපාළි)
මේ පාඨය පාඩම් කරගෙන තිබීම යෝගාවචරයන්ට ප්‍රයෝජනය. මෙය ද විදර්ශනාවට අයත් ය. වස්තු කාමය ක්ලේශකාමය කියා කාම දෙවර්ගයකි. වස්තුකාමය නම් සත්ත්වයන් ඇලුම් කරන වස්තූහු ය. කාම වස්තූහු ය. ඒවා මෙහි අන් තැනක විස්තර කර ඇත. ක්ලේශ කාම යනු කාම වස්තූන් ගැන ඇතිවන ආශාව ය. ක්ලේශයක් වන බැවින් එයට ක්ලේශකාමය යි කියනු ලැබේ. කාමච්ඡන්ද නීවරණය යි කියනුයේ ද එයට ම ය.
1. අට්ඨිකඞ්කලූපමා කාමා.
කාමවස්තූහු ලේමස් නැති ඇටකැබෙල්ලක් වැනියෝ ය. ගවයන් මරා මස් කරන තැනක මස් කපා ගෙන විසි කර ඇති ඇට කැබෙල්ලක් සාගින්නෙන් පෙළෙන සුනඛයකුට හමුවුවහොත් ඌ එහි ඇති ලේ මස් ගඳ නිසා ඉමහත් ලෝභයෙන් එය සපන්නට වන්නේ ය. එහෙත් එයින් ඌ වෙහෙසට පත්වෙනවා මිස උගේ සාගින්න නො නිවෙන්නේ ය. එමෙන් ලස්සනය හොඳය කියා සලකන කාම වස්තූන් වැලඳගෙන රසයක් ලබන්නට උත්සාහ කරන කාමුකයන්ට වෙහෙස හැර අන්තිමට එයින් ලැබුණු එයින් ඉතිරි වුණු කිසි මිහිරක් නැත. එබැවින් කාමයෝ ලේ මස් නැති ඇට කැබලි වැනියෝ ය.
2. මංසපේසූපමා කාමා
කාමවස්තූහු මස් වැදැල්ලක් වැනියෝ ය. මස් වැදැල්ල එක් සතකුට ම නොව බොහෝ සතුන්ට ප්‍රයෝජනය ලැබිය හැකි බොහෝ සතුන් කෑමට බලාපොරොත්තු වන දෙයකි. එබැවින් එය බොහෝ දෙනාට සාධාරණ වස්තුවකි. කාමවස්තූන් අතර ද එක් අයකුට පමණක් ප්‍රයෝජනය ලැබිය හැකි එක් අයකු පමණක් කැමති වන අන්‍යයන් කැමති නොවන වස්තුවක් නැත. එබැවින් කාම වස්තූහු බොහෝ දෙනාට සාධාරණ ය. මස් වැදැල්ලක් ගෙන කපුටකු පියාසර කරතහොත් එය උදුරා ගැනීම සඳහා දුටු දුටු කපුටා ලුහුබැඳ ඌට කොටන්නට පටන් ගන්නේ ය. එමෙන් එක් කාම වස්තුවක් අයිති කර ගැනීමට එයින් ප්‍රයෝජන ලැබීමට බොහෝ දෙනා උත්සාහ කරන්නාහ. කාම වස්තුවක් අයිති කරගෙන සිටින්නහුට එය අත් හරනා තුරු සෙස්සන් ගෙන් බියක් ඇත්තේ ය. මාපියන් මරා දූන් පැහැර ගෙන යන්නේ, සැමියන් මරා අඹුවන් පැහැර ගෙන යන්නේ, හිමියන් මරා වස්තුව පැහැරගෙන යන්නේ, එක් අයකු අයිති කර ගෙන සිටින ඉඩමට අනිකකු පනින්නේ කාමයන්ගේ බහු සාධාරණ භාවය නිසා ය. මස් වැදැල්ල ගෙන යන කපුටාට නිදහස ලැබීමට නම් එය හළ යුතු ය. එමෙන් කාමයන් නිසා වන බියෙන් නිදහස් වීමට නම් කාමයන් හළ යුතු ය. බහු සාධාරණත්වය කාමයන්ගේ මහත් ආදීනවයෙකි.
3. තිණුක්කූපමා කාමා
කාමයෝ තණසුලු වැනියෝ ය. මේ රටේ පාවිච්චි කරන්නේ පොල්කොළ හුලු ය. රාත්‍රී කාලයේ පොල්කොළ හුලක් ගෙන ගමන් කරන තැනැත්තා එය නො හළ හොත් එයින් ඔහුගේ අත දැවෙන්නේ ය. එමෙන් කාම වස්තූන් අයිති කරගෙන ඒවා නොහැර ඒවායේ ම ඇලී සිටින්නවුන්ට අවසානයේ දී ඇති වන්නේ ශෝකාදි දුක් රැසකි.
“කාමතෝ ජායතී සෝකෝ - කාමතෝ ජායතී භයං,
කාමතෝ විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං.”
(ධම්ම පද)
කාමය නිසා ශෝකය හටගනී. කාමය නිසා භය ඇති වේ. කාමයන් හැර ඒවායින් මිදුණහුට ශෝකයක් නැත. ඔහුට බයක් ඇති වන්නේ කොයින් ද?
4. අඞ්ගාරකාසූපමා කාමා
කාමයෝ ගිනි අඟුරුවළකට බඳු උපමා ඇතියෝ ය. ගිනි අඟුරු වළෙහි ඇත්තේ මහත් දැවීමකි. එයට ළංවූ තැනැත්තා වැටුණු තැනැත්තා දැවෙන්නේ ය. එමෙන් කාම වස්තූන් ළං කරගෙන අයත් කර ගෙන සිටින තැනැත්තා ද ඒවායින් දැවෙන්නේ ය. කාම වස්තුවක් වන බිරියක අයත් කරගෙන සිටින පුරුෂයා හට ඒ කාම වස්තුවට යම්කිසි විපතක් වේය කියා ද නිතර ගින්නක් ඇත්තේ ය. ඈ තමා හැර අන් පුරුෂයකු හෝ යේදෝ යි ගින්නක් ඇත්තේ ය. ඇය වෙත අන් පුරුෂයෙක් පැමිණේය කියා ද ගින්නක් ඇත්තේ ය. ධනය රැස් කරගෙන සිටින්නහුට තමාගේ ධනය සොර සතුරෝ ගනිත් ද අන් කිසි ක්‍රමයකින් හෝ නැති වේ ද කියා නිතර ඇවිළෙන ගින්නක් ඇත්තේ ය. සමහර විට ඒ තැවීම නිසා ඔහුට රාත්‍රියේ නින්ද නො යන්නේ ය. එසේ අයිති කරගෙන සිටින තැනැත්තා දවන බැවින් කාමයෝ අඟුරු වළක් වැනියෝ ය.
5. සුපිනකූපමා කාමා
කාමයෝ සිහිනයන් වැනියෝ ය. නින්දට වන් තැනැත්තාට සමහරවිට ශෝභන නගර ග්‍රාම කෙත්වතු යාන වාහන උත්සවාදිය පෙනේ. සමහරවිට නොයෙක් වස්තූන් ද ලැබේ. අවදිව බලන කල ඒ සිහිනෙන් දුටු සිහිනෙන් ලැබුණු දේවලින් කිසිවක් නැත. කම්සැප විඳින්නහුට ද ඒ සැපය විඳින වේලාවේදී මිස ඉන්පසු එය නැත. ලබාගෙන ඇති කාම වස්තූහු ද කලකදී නැති වී යති. කාමවස්තූන් ඇත්තේ ද තමා මිය පරලොව යාමෙන් ඒ සියල්ලට ම අහිමි වේ. අතීත භව වලදී එක් පුද්ගලයකු අයිති කරගෙන සිටි කාම වස්තූහු ඉතා බොහෝ ය. වර්තමාන භවයේ දී ඒවායින් කිසිවක් ඔහුට නැත. වර්තමාන භවයේ දී අයත් කරගෙන පණ මෙන් ආදරයෙන් සිටින කාමවස්තූන් ද ඔහුට මරණින් පසු නැත. එබැවින් කාමයෝ සිහිනයක් බඳු ය.
6. යාචිතකූපමා කාමා
කාමයෝ තාවකාලික වශයෙන් අනුන්ගෙන් ඉල්ලා ගත් දේ වැනි ය. උත්සවයක් පැවැත්වීම සඳහා, ගමනක් යාම සඳහා, අනුන්ගෙන් තාවකාලික වශයෙන් යම්කිසි දෙයක් ගත් තැනැත්තාට එය සැමදාට ම තබා ගත හැකි නො වේ. හිමියන්ට ආපසු දීමට සිදු වේ. කොතෙක් කාම වස්තූන් අයිති කරගෙන සිටිය ද ඒ තැනැත්තාට ඒවා සැම කල්හි ම තබාගෙන සැමකල්හි ඒවායින් සැප විඳීමට නො ලැබේ. එබැවින් කාමයෝ අනුන්ගෙන් ගන්නා ලද වස්තූන් වැනිය යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
7. රුක්ඛඵලූපමා කාමා.
කාමයෝ ගසක ගෙඩි වැනියෝ ය. එක් පුරුෂයෙක් වනයෙහි මිහිරිපල ඇති ගසක් දැක එයට නැඟ පල අනුභව කරමින් ගසෙහි සිටී. පොරවක් ගත් අනිකෙක් එහි පැමිණ ගසෙහි ගෙඩි දැක මට ගස් නගින්නට නො පිළිවන. මම මේ ගස මුලින් කපා හෙළා ගෙඩි කමියි සිතා ගස කපන්නට පටන් ගනී. එසේ කරන කල්හි කලින් ගසේ සිටි තැනැත්තා ගෙඩි වලට ලෝභයෙන් ගසින් නො බැස සිටියහොත් ගස බිම වැටීමෙන් ඔහු ගේ අත් පා හෝ කැඩී යයි. ඔහු මරණයට හෝ පැමිණෙයි. එමෙන් එක් අයෙකු අයත් කරගෙන සිටින කාමවස්තූන් පැහැර ගැනීමට අනිකෙක් පැමිණි කල කලින් කාම වස්තූන් අයිති කරගෙන සිටි තැනැත්තා ඒවා නොහැර ඒවායේ ඇලී සිටියහොත් පසුව එන තැනැත්තාගෙන් පහර ලබා ඔහුට මැරෙන්නට හෝ මහත් දුකකට පත් වන්නට හෝ සිදු වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කාමයෝ ගසක ගෙඩි වැනියෝ යි වදාළහ.
8. අසිසූනූපමා කාමා.
කාමයෝ කඩුවක් හා මස් කපන කොටයක් වැනියෝ ය. කොටය මත තබා කඩුවෙන් පහර දෙන කල්හි මස් කැපී යන්නාක් මෙන් කාමයන් නිසා ගුණධර්මයෝ කැපී යති. සිල්වත්හු ශීලයෙන් පිරිහී දුශ්ශීලයෝ වෙති. සමාධි ඇත්තෝ සමාධියෙන් පිරිහෙති. භාවනා කරන්නේ භාවනාවෙන් පිරිහෙති. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කාමයෝ කඩුවක් හා කොටයක් වැන්නෝ යයි වදාළ සේක.
9. සත්තිසූලූපමා කාමා.
කාමයෝ සැත්හුලක් වැනියෝ ය. සැත්හුලය යි කියනුයේ පිහි කිණිසි ආදියේ උලටය. සැත්හුල ශරීරය සිදුරු කොට ශරීරයට ඇතුළුව සත්ත්වයනට ඉවසිය නොහෙන මහදුක් වේදනා ඇති කරන්නාක් මෙන් කාමවස්තූහු ද සත්ත්වයන්ගේ සිත් විද, සිත්වලට ඇතුළුව බොහෝ දුක් ඇති කරන්නා හ. විශේෂයෙන් ම සත්ත්වයන්ගේ සිත් සිදුරු කර සිත් වලට ඇතුළු වන්නේ ස්ත්‍රී රූපය නමැති කාමය ය. එය සිතට ඇතුළු වූ පුද්ගල තෙමේ ඒ පීඩාව නිසා රෑ නිදි නො ලබයි. සමහර විට ඒ නිසා උමතු වෙයි. රෝගාතුර වෙයි. ඇතැම්හු ඒ නිසා දිවි නසා ගනිති. ඇතැම්හු නො ලැබිය හැකි ස්ත්‍රීන් ලබා ගන්නට ගොස් වධයටත් බන්ධනයටත් පැමිණෙති.
10. සප්පසිරූපමා කාමා.
කාමයෝ සර්ප හිසක් වැනියෝ ය. ගත් තැනැත්තා මරණයට හෝ මැරෙන තරමේ මහත් දුකට හෝ පමුණුවනු ලබන බැවින් සර්ප හිස භයානක දෙයකි. කාමවස්තූන් අයිති කරගෙන සිටින්නහුට ඒවා නිසා නොයෙක් දුක් පැමිණේ. සමහරවිට සොරු පැමිණ තළා පෙළා බැඳ දමා වස්තුව ගෙන යති. සමහරවිට මරා දමා වස්තුව ගෙන යති. කාම වස්තූන් වන භාර්‍ය්‍යාවන් දූදරුවන් සතුටු කිරීමට ඔවුන් රැකගැනීමට යාමෙන් ද නොයෙක් විපත් පැමිණේ. ඔවුන් නිසා නොයෙක් පව්කම් කරන්නට සිදුවීමෙන් මරණින් මතු අපාගත වන්නට සිදු වේ. එබැවින් කාමයෝ සර්ප හිස වැනියෝ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
11. අග්ගික්ඛන්ධූපමා කාමා.
කාමයෝ ගිනි කඳක් වැනියෝ ය. වස්තුකාම ක්ලේශ කාම දෙකින් වඩා ම ගිනිකඳකට සමාන වන්නේ ක්ලේශ කාමය වූ රාගය ය. ගින්න යම් වස්තුවක හට ගත්තේ නම් ඒ වස්තුව දවා විනාශයට පමුණුවයි. එමෙන් බලවත් රාගය යමකු තුළ හට ගත්තේ නම් එයින් සිත කය දෙක ම දවා ඒ පුද්ගලයා විනාශයට පමුණුවනු ලැබේ.
දිනක් සද්ධාතිස්ස රජතුමා අන්තඃපුර ස්ත්‍රීන් හා විහාරයට ගියේ ය. එක් තරුණ පැවිදි නමක් ලෝහ ප්‍රාසාදයේ දොරකඩ සිට එයින් එක් කතක දෙස බැලී ය. ගමන් කරමින් සිටි ඒ කත ද ගමන නවත්වා පැවිදි නම දෙස බැලුවා ය. ඔවුන් තුළ එකිනෙකා ගැන හටගත් රාග ගින්නෙන් දැවී ඒ දෙදෙන එතැන ම මිය ගියහ. මේ කථාව මනෝරථපූරණියෙහි දක්වා ඇත්තේ ය. කැළණි විහාරයේ තරුණ පැවිදි නමක් ද එසේ ම රාග ගින්නේ දැවී මළ බව ද එහි ම සඳහන් වේ.
බොහෝ සත්ත්වයෝ කාමයන් නිසා මුළා වෙති. සත්ත්වයන් මුළා කරවා ඔවුන් විනාශයට පමුණුවන බැවින් වස්තු කාමයෙන් ගිනිකඳකට සමානය යි කිය හැකි ය.