“අත්ථි භික්ඛවේ අසුභනිමිත්තං, තත්ථ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස පහාණාය න භීය්‍යෝ භාවාය න වේපුල්ලාය.”
යනුවෙන් “අශුභ නිමිත්තෙහි සුදුසු සේ නිවැරදි සේ බෙහෙවින් සිතීම නූපන් කාමච්ඡන්දය නො ඉපදීමේ ද උපන් කාමච්ඡන්දය නො වැඩීමේ ද නො දියුණු වීමේ ද හේතුවය” යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. මෙහි අශුභ නිමිත්ත යයි වදාරා ඇත්තේ අශුභ භාවනාවෙන් උපදවාගත් ධ්‍යානයටත් කේශාදී ශරීර කොට්ඨාසයන්ට හා උද්ධුමාතකාදි අශුභ දශයටත් ය. අශුභ නිමිත්තෙහි සුදුසු සේ නිවැරදි සේ සිතීමය යි කියනුයේ පඤ්චස්කන්ධය අනිත්‍ය වශයෙන් ද, දුක් ගොඩක් වශයෙන් ද, තමාගේ කැමැත්ත අනුව නො පැවැත්විය හැකි දෙයක් හෙවත් ආත්ම නො වන්නක් වශයෙන් ද, කැත දෙයක් වශයෙන් ද සිතීම ය. සැලකීම ය. එසේ සිතන්නහුට ලස්සන තරුණ ස්ත්‍රී පුරුෂයන් ගැන කාමච්ඡන්දය ඉපදීම අඩුවේ. පෘථග්ජන ස්වභාවය නිසා හදිසියේ කාමච්ඡන්දයක් උපන්නත් එය දුරු වෙයි. නැවත නැවත ඇති වීම් වශයෙන් වැඩි නො වෙයි. නො දියුණු වෙයි.
“ඡ ධම්මා කාමච්ඡන්දස්ස පහානාය සංවත්තන්ති. අසුභනිමිත්තස්ස උග්ගහෝ, අශුභ භාවනානුයෝගෝ, ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා, භෝජනේ මත්තඤ්ඤුතා, කල්යාණමිත්තතා, සප්පාය කථා.”
යනුවෙන් කාමච්ඡන්දයාගේ ප්රහාණය පිණිස පවතින කරුණු සයක් මහාසතිපට්ඨාන සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ ය.
එකොළොස් වැදෑරුම් අශුභයන්ගේ නිමිති සිතට ගැනීම, අශුභ භාවනාවෙහි යෙදීම, ඉන්ද්රිය සංවරය, පමණට ආහාර වැළඳීම, කල්‍යාණ මිත්‍රයන් ඇති බව, සුදුසු කථාය යන මේ අටුවාවෙහි දැක්වෙන කරුණු සය ය.
අශුභ නිමිත්ත සිතට ගැනීමය කියනුයේ අශුභ නැති තැන සිට සිහි කරන කල්හි ද එය ඉදිරියේ ඇතුවාක් මෙන් සිතට පෙනෙන තත්ත්වය ඇති කර ගැනීම ය. අශුභ භාවනාවෙහි යෙදීමය යනු උපචාරාර්පණා සමාධි ඇති වන පරිදි හොඳින් අශුභ භාවනාවෙහි යෙදීම ය. ඉන්ද්රිය සංවරය යනු චක්ෂුරාදි ඉන්ද්රියයන් ට හමුවන රූපාදි ආරම්මණයන්හි නො ඇලෙන නො ගැටෙන සේ සිහියෙන් යුක්ත වීම ය. ඇතැම්හු රස අහර ලද හොත්, බොහෝ අහර ලද හොත් කුසය තද වනතුරු පමණ ඉක්මවා වළඳති. එසේ අහර නො ගෙන කුස ලිහිල්ව පවතින පරිදි අහර ගැනීම පමණට ආහාර වැළඳීම ය. සෑම මිත්‍රයෙක් ම කාමච්ඡන්ද ප්‍රහාණයට හේතු නො වේ. සෑගිරියෙහි විසූ මහාතිස්ස තෙරුන් වහන්සේ බඳු අශුභ භාවනාවෙහි යෙදෙන කල්‍යාණ මිත්‍රයන් වැනි අය ආශ්‍රය නිසා කාමච්ඡන්දය දුරු වේ. ඒ තෙරුන් වහන්සේ සෑගිරියේ සිට අනුරාධපුරය බලා පිඬු සිඟා වඩනා කල්හි එක් කතක සැමියා හා දබර වී උදෑසන ම හොඳින් ඇඳ පැළඳ අනුරාධපුරයෙන් නික්ම සිය ගම බලා යන්නී අතරමඟ දී තෙරුන් වහන්සේ දැක රාගයෙන් විපර්‍ය්‍යාස සිත් ඇත්තී මහ හඬින් සිනාසුණාය. තෙරුන් වහන්සේ ඒ හඬ කුමක්දෝ යි බලන්නාහු ඇගේ දත් ඇට පෙළ දැක අශුභ සංඥාව පහළ වී අර්හත්වයට පැමිණි සේක. බිරිය සොයමින් ඒ මඟ ආ ඇගේ සැමියා තෙරුන් වහන්සේ හමු වී “ස්වාමීනි, මේ මඟ ගැහැණියක් ආවාදැ” යි විචාළේ ය. අශුභ භාවනාව පුරුදු කරන තෙරුන් වහන්සේට ඒ ස්ත්‍රිය පෙනුණේ ස්ත්‍රියක් ලෙස නොව ගමන් කරන ඇට සැකිල්ලක් සේය. එ බැවින් තෙරුන් වහන්සේ “පින්වත, මේ මඟ ගියේ ස්ත්‍රියක ද පුරුෂයකු ද කියා මම නො දනිමි, ඇට සැකිල්ලක් නම් මේ මඟ ගමන් කළේය” යි වදාළහ. සුදුසු කථා නම් ශරීරයේ පිළිකුල් බව පිළිබඳ වූ කාමයන්ගේ ආදීනවය පිළිබඳ වූ කථාය.
රූප කයෙහි ආදීනව දැක්වෙන ධර්මයන් හා කාමයන්ගේ ආදීනව දැක්වෙන ධර්ම ද ආහාරයේ ප්‍රතිකූල භාවය දැක්වෙන ධර්ම ද සිහි කරන්නහුට කාමච්ඡන්දයේ ඉපදීම අඩු වේ. උපන් කාමච්ඡන්දය ද දුරු වේ. එබැවින් යෝගාවචරයන්ගේ භාවිතය සඳහා ඒ ධර්ම වලින් ස්වල්පයක් දක්වනු ලැබේ.