1. අනිච්චා

පළමුවන භාවනා පදය.

අනිච්ච යන වචනයේ තේරුම පළමු පැවති ආකාරය වෙනස් වන්නා වූ ද, ගිනිදැල් නිවී යන්නාක් මෙන් සම්පූර්ණයෙන් නැති වන්නා වූ ද දෙය යනුයි. සකල සංස්කාරයෝ ම අනිත්‍යයෝ ය. ඇති වන සංස්කාරයන් අතර විනාඩියක් තබා තත්පරයකුදු පවත්නා එක සංස්කාරයකුදු නැත්තේ ය. විදර්ශනා නො කරන අන්ධ පෘථග්ජනයන් දින ගණන් සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් කල් පවත්නා දේ ලෙස මනුෂ්‍ය ශරීර තිරශ්චීන ශරීර හා ශරීරාවයවයන්හි ද ගස් වැල් කොළ මල් ගෙඩි ආදියෙහි ද පස් ගල් රන් රිදී මුතු මැණික් යකඩ තඹ පිත්තල ඊයම් ආදියෙහි ද ඇසිපිය හෙළන තරම් කාලයකුදු පවත්නා කිසිවක් නැත්තේ ය. ඒ බව වැටහෙන තරමට, පෙනෙන දැනෙන තරමට දියුණු කරගත් විදර්ශනාඥානය උසස් විදර්ශනාඥානය ය. නො දියුණු සාමාන්‍ය විදර්ශනාඥානයට දැනෙන්නේ, සාමාන්‍ය විදර්ශනා-ඥානයෙන් දත හැක්කේ, සංස්කාර පරම්පරාවන් ගේ නැති වී යාම වූ අනිත්‍ය ස්වභාවය ය.

යෝගාවචරයන් විසින් මුලින් කළ යුත්තේ සංස්කාර පරම්පරාවන්ගේ නිරෝධය හෙවත් නැති වී යාම වූ ඖදාරික අනිත්‍යස්වභාවය බැලීම ය. ක්‍ර‍මයෙන් එය කෙටි කරමින් බල බලා ක්ෂණයක් පාසා සිදුවන සංස්කාරයන්ගේ නිරෝධය දැකිය හැකි වන පරිද්දෙන් ඥානය දියුණු කළ යුතු ය. එයට කල් ගත විය හැකි ය. මතු දැක්වෙන ක්‍ර‍මයට සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය බලමින් සිහි කරමින් සිටින යෝගාවචරයාට ක්‍ර‍මයෙන් තියුණු වූ සියුම් වූ විදර්ශනාඥානය ඇති වන්නේ ය.

මේ පොළොවෙහි අතීතයේ විසූ ගණනින් ප්‍ර‍මාණ නොකළ හැකි බොහෝ මනුෂ්‍යයෝ සිටි බවට ලකුණකුදු ඉතිරි නො වී විනාශ වූහ. දැනට වෙසෙන මනුෂ්‍යයෝ ද එසේ ම විනාශ වන්නාහ. වර්ෂ ලක්ෂගණනකට කෝටි ගණනට ආයු ඇති ආනුභාව සම්පන්න දෙවියෝ ද කල්ප ගණන් ආයු ඇති මහානුභාව සම්පන්න බ්‍ර‍හ්මරාජයෝ ද විනාශයෙන් කෙළවර වන්නාහ. ඇත් අස් ගව එළු බැටළු බලු කපුටු ආදීහු ද විනාශයෙන් කෙළවර වන්නාහ. ඇඳ පුටු මේස අල්මාරි පෙට්ටි ආදි නන්වැදෑරුම් භාණ්ඩයෝ ද දහස් ගණන් ලක්ෂගණන් කෝටිගණන් ධන වැය කොට තනා ඇති ගෙවල් ද රථ යන්ත්‍ර‍ ආදිය ද යන මේ සියල්ල විනාශයෙන් කෙළවර වන්නාහ. පොළොවේ ගස් වැල් ඇළ දොල ගඞ්ගා වැව් පොකුණු ද විනාශයෙන් කෙළවර වන්නේ ය. මහකඳු මහසයුරු මහපොළොව ඉර සඳ යන මේ විශාල වස්තූහු ද කල්පාන්තයේ දී ගිනි ගත් කපුරු සේ කිසිවක් ඉතිරි නො වී විනාශ වන්නාහ. එබැවින් සකල සංස්කාරයෝ ම අනිත්‍යයෝ ය.

තමාගේ පඤ්චස්කන්ධය ගැන මෙසේ නුවණින් බලනු. මා සම්බන්ධ අතීත භවයන්හි ඇති වූ සංස්කාරයෝ අතීත භවවලදී ම නිරුද්ධ වූහ. අතීත භවයෙන් මේ භවයට ආ කිසි සංස්කාරයක් නැත. එ බැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය. වර්තමාන භවයේ ඇති මේ සංස්කාර සියල්ල මේ භවයේදී ම නිරුද්ධ වන්නේ ය. මේ භවයේ ඇති කිසි සංස්කාරයක් හෙවත් නාමයක් හෝ රූපයක් අනාගත භවයට නො යන්නේ ය. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය, ප්‍ර‍ථම වයසේ දී පැවති සංස්කාරයෝ ප්‍ර‍ථම වයසේ දී ම නිරුද්ධ වන්නාහ. මධ්‍යම වයසට නො පැමිණෙන්නාහ. මධ්‍යම වයසේදී පැවති සංස්කාරයෝ මධ්‍යම වයසේදී ම නිරුද්ධ වන්නාහ. පශ්චිම වයසට නො පැමිණෙන්නාහ. පශ්චිම වයසේ සංස්කාරයෝ එහි ම නිරුද්ධ වන්නාහ. එයින් එක සංස්කාරයකුදු අනාගත භවයට නො යන්නේ ය. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය.

සියවසක් ජීවත් වන්නකුගේ ජීවිත කාලය මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්‍ණදශකය, බලදශකය, ප්‍ර‍ඥාදශකය, හානිදශකය, ප්‍රාග්භාරදශකය, ප්‍ර‍වඞ්කදශකය, මෝමූහ දශකය, ශයනදශකය යන දශකයන්ගේ වශයෙන් ද අනිස බව මෙනෙහි කරනු. සියවසක් ජීවත් වන්නහුගේ පළමු වන දසවස මන්දදශක නම් වේ. ඔහු සෙල්ලමෙන් ගත කරන දෙවන දසවස ක්‍රීඩාදශක නමි. ශරීරය ලස්සනට පවතින තුන්වන දසවස වර්ණදශක නමි. ශරීර ශක්තිය බොහෝ ඇති සතරවන දසවස බලදශක නමි. හොඳට නුවණ ඇති පස්වන දසවස ප්‍ර‍ඥාදශක නමි. ශරීර ශක්තිය පිරිහෙන අතට හැරෙන සවන දසවස හානිදශක නමි. ඉන්පසු ශරීරය ඉදිරියට බරවන බැවින් සත්වන දසවස ප්‍රාග්භාරදශක නමි. අටවන දසවස ශරීරය ඉදිරියට නැමෙන බැවින් ප්‍ර‍වඞ්ක දශක නමි. සිහිය අඩු වන බැවින් නවවන දසවස මෝමූහ දශක නමි. ගමනාගමනය හා වැඩ කළ නො හැකි ව බෙහෙවින් ශයනයක වැතිර සිටින බැවින් දසවන දසවස ශයන දශක නමි.

පළමුවන දසවස වූ මන්දදශකයේ සංස්කාරයෝ එහි ම නිරුද්ධ වන්නාහ, ක්‍රීඩාදශකයට නො පැමිණෙන්නාහ. දෙවන දසවස වූ ක්‍රීඩාදශකයේ සංස්කාරයෝ එහි ම නිරුද්ධ වන්නාහ. වර්ණදශකයට නො පැමිණෙන්නාහ. තුන්වන වර්ණදශකයේ සංස්කාරයෝ එහි ම නිරුද්ධ වන්නාහ. බලදශකයට නො පැමිණෙන්නාහ. සතරවන බලදශකයේ සංස්කාරයෝ එහි ම නිරුද්ධ වන්නාහ. ප්‍ර‍ඥා දශකයට නො පැමිණෙන්නාහ. පස්වන ප්‍ර‍ඥාදශකයේ සංස්කාරයෝ සවන හානිදශකයට නො පැමිණෙන්නාහ. එහි ම නිරුද්ධ වන්නාහ. සවන හානිදශකයේ සංස්කාරයෝ සත්වන ප්‍රාග්භාරදශකයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. ප්‍රාග්භාරදශකයේ සංස්කාරයෝ අටවන ප්‍ර‍වඞ්කදශකයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. ප්‍ර‍වඞ්කදශකයේ සංස්කාරයෝ නවවන මෝමූහදශකයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. මෝමූහදශකයේ සංස්කාරයෝ දසවන ශයනදශකයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. ශයනදශකයේ සංස්කාරයෝ භවාන්තරයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය.

සියවසක් වූ ජීවිත කාලය පස්වස බැගින් විසිකොටසකට බෙදා අනිත්‍යභාවය බලනු. පළමුවන පස්වසෙහි සංස්කාරයෝ දෙවන පස්වසට නො පැමිණ එහිම නිරුද්ධ වන්නාහ. දෙවන පස්වසෙහි සංස්කාරයෝ තෙවන පස් වසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. -පෙ- එකුන් විසිවස පස්වසෙහි සංස්කාරයෝ විසිවන පස්වසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. විසිවන පස්වසෙහි සංස්කාරයෝ දෙවන භවයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය.

සියවසක් වූ ජීවනකාලය ක්‍ර‍මයෙන් කෙටි කරමින් බෙදා අනිත්‍යතාව බලනු. සියවස සිවුවස බැගින් බෙදූ කල්හි කොටස් පස්විස්සකි. එයින් පළමුවන සිවුවසෙහි සංස්කාරයෝ දෙවන සිවුවසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. දෙවන සිවුවසෙහි සංස්කාරයෝ තෙවන සිවුවසට නො පැමිණ එහිම නිරුද්ධ වන්නාහ. -පෙ- සූවිසි වන සිවු වසෙහි සංස්කාරයෝ පස්විසි වන සිවුවසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. පස්විසි වන සිවුවසෙහි සංස්කාරයෝ අනන්තර භවයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය. නැවත ආයුකාලය තෙවස බැගින් තිස්තුන් කොටසකට බෙදා අනිත්‍යතාව බලනු. පළමුවන තෙවසෙහි සංස්කාරයෝ දෙවන තෙවසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. දෙවන තෙවසෙහි සංස්කාරයෝ තෙවන තෙවසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. -පෙ- දෙතිස්වන තෙවසෙහි සංස්කාරයෝ තෙතිස්වන තෙවසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. තෙතිස් වන කොටසෙහි සංස්කාරයෝ භවාන්තරයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය. මෙසේ ආයුකාලය දෙවස බැගින් ද, එක්වස බැගින් ද බෙදා අනිත්‍යතාව බලනු. ඉක්බිති එක්වසරක් වස්සාන හේමන්ත ගිම්හාන යන තුන් සෘතුවට බෙදා ද, දෙමස බැගින් බෙදා ද, එක්මස බැගින් බෙදා ද, නැවත සති වශයෙන් බෙදා ද, සති දවස් වශයෙන් බෙදා ද අනිත්‍යතාව සිහි කරනු.

ඉක්බිති දිනය රෑ දවල් වශයෙන් දෙකට බෙදා ද, රාත්‍රි ප්‍ර‍ථමයාම මධ්‍යමයාම පශ්චිමයාම වශයෙන් තුනට බෙදා ද, දවාල පූර්වාහ්න මධ්‍යාහ්න සායාහ්න වශයෙන් තුනට බෙදා ද අනිත්‍යතාව බලනු. රාත්‍රියෙහි පැවති සංස්කාරයෝ රාත්‍රියෙහි ම නිරුද්ධ වන්නාහ. දවල් කාලයට නො පැමිණෙන්නාහ. දවාලෙහි පවත්නා සංස්කාරයෝ දවාලෙහි ම නිරුද්ධ වන්නාහ. රාත්‍රිය පැමිණෙන තෙක් නො පවත්නාහ. රාත්‍රියේ ප්‍ර‍ථමයාමයේ සංස්කාරයෝ ප්‍ර‍ථමයාමයේ ම නිරුද්ධ වන්නාහ. මධ්‍යම යාමයට නො පැමිණෙන්නාහ. මධ්‍යම යාමයේ සංස්කාරයෝ එහි ම නිරුද්ධ වන්නාහ. පශ්චිම යාමයට නො පැමිණෙන්නාහ. දවාලෙහි, පූර්වාහ්නයේ සංස්කාරයෝ පූර්වාහ්නයෙහි ම නිරුද්ධ වන්නාහ. මධ්‍යාහ්නයට නො පැමිණෙන්නාහ. මධ්‍යාහ්නයෙහි සංස්කාරයෝ මධ්‍යාහ්නයෙහි ම නිරුද්ධ වන්නාහ. සායාහ්නයට නො පැමිණෙන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය.

තව ද ඉදිරියට යාම, පස්සට ඊම, ඉදිරිය බැලීම, දෙපස බැලීම අත්පා නැමීම, දිග හැරීම යනාදි කායික ක්‍රියාවන් අනුව ද අනිත්‍යතාව බැලිය යුතු ය. ශරීරය ඉදිරියට යාමේදී පැවති රූපයෝ පස්සට ඊමේදී නැත. ඒවා ඉදිරියට යාමේදී ම නිරුද්ධ විය. පස්සට ඊමෙහි පැවති රූප නැවතුණු පසු නැත. ඒවා පස්සට ඊමෙහිදී ම නිරුද්ධ විය. නැවතී සිටීමෙහිදී පවත්නා රූප එහි ම නිරුද්ධ වේ. ගමන් කරන කල්හි ඒවා නැත. ඉදිරිය බැලීමෙහිදී පවත්නා රූප එහි ම නිරුද්ධ වෙයි. දෙපස බැලීමෙහිදී ඒවා නැත. පහත හෙළා තුබූ අතෙහි රූප එසවීමෙහි දී නැත. ඔසවා තුබූ අතෙහි රූප පහත හෙළීමේදී නැත. දිග හැර තුබූ අතේ හෝ පයේ රූප හකුළන කල්හි නැත, හකුළා තුබූ අතේ හෝ පයේ රූප දිග හළ අතේ හෝ පයේ නැත. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය.

තවත් සියුම් ලෙස අනිත්‍යතාව වැටහීම පිණිස ගමනෙහි එක් එක් පියවරක් එසවීමය, ඉදිරියට යැවීමය, එහා මෙහා යැවීමය, පහත හෙළීමය, බිම තැබීමය, බිමට තද කිරීමය කියා සකොටසකට බෙදා අනිත්‍යතාව බැලිය යුතු ය. එය පොළොවෙන් එසවීමෙහිදී ඇති වන්නේ පඨවි ආපෝ ධාතු මඳ, තේජෝ වායෝ ධාතු උත්සන්න රූප කලාපයෝ ය. පය ඉදිරියට යැවීම එහා මෙහා යැවීම කරන කල්හි ඇති වන්නේ ද එබඳු ම රූප කලාපයෝ ය. පය පහත හෙළීමේදී, තේජෝ වායෝ ධාතු මඳ වූ පඨවි ආපෝ ධාතු උත්සන්න වූ රූපකලාපයෝ ඇති වෙති. බිම තැබීම් බිමට තද කිරීම් දෙක්හි ද එබඳු ම රූප කලාප ඇති වේ. පය එසවීමේදී පැවති රූපයෝ එහිදී ම නිරුද්ධ වෙති. ඉදිරියට ගෙන යාමේදී ඒවා නැත. ඉදිරියට ගෙන යාමේදී පැවති රූප එහිදී ම නිරුද්ධ වේ. පය එහා මෙහා ගෙන යාමේදී ඒවා නැත. එහා මෙහා ගෙන යාමේදී පැවති රූප පහත හෙළීමේ දී නැත. පහත හෙළීමේ දී පැවති රූප පය බිම තැබීමේ දී නැත. බිම තැබීමේ දී පැවති රූප එහිදී ම නිරුද්ධ වේ. බිමට පය තද කිරීමේ දී ඒවා නැත. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය. මේ කරුණු එසේ ම බව තේරුම් ගත් යෝගාවචරයා උසස් විදර්ශනා ඥානය ඇතියකු බව කිය යුතු ය.

මෙතෙකින් සාමාන්‍යයෙන් පඤ්චස්කන්ධයේ ම අනිත්‍යතාව ප්‍ර‍කාශ කර ඇත ද මෙය කියවන කියන ලද කරුණු සිතන පින්වතුන්ට ඒ කරුණුවලින් වඩා ප්‍ර‍කට වන්නේ රූපස්කන්ධයාගේ අනිත්‍යතාව පමණෙකි. එබැවින් වේදනා සඤ්ඤා සඞ්ඛාර විඤ්ඤාණ යන සතර නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව විශේෂයෙන් කිය යුතු ව ඇත්තේ ය. යෝගාවචරයන් විසින් ද සතර නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව වෙන වෙන ම තේරුම් ගත යුතු ය. ජාතියෙන් ජාතියට යෙමින් සුවදුක් විඳින ආත්මයක් නැතැයි යන හැඟීම ඇති වන්නේ නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව නො වැටහීම නිසා ය. ඒ ආත්ම සංඥාව අනිත්‍යසංඥාවට විරුද්ධ වූවකි. නිත්‍ය කිසියම් සංස්කාරයක් ඇතය යන සංඥාව ඇත්තහුගේ විදර්ශනාව අසම්පූර්ණය. ඒ හැඟීම ඇති තෙක් ඔහුට මඟ පල නො ලැබිය හැකිය. එබැවින්-

“සෝ වත භික්ඛවේ, භික්ඛු කිඤ්චි සඞ්ඛාරං නිච්චතෝ සමනුපස්සන්තෝ අනුලෝමිකාය ඛන්තියා සමන්නාගතෝ භවිස්සතීති නේතං ඨානං විජ්ජති. අනුලෝමිකාය ඛන්තියා අසමන්නාගතෝ සම්මත්තනියාමං ඔක්කමිස්සතීති නේතං ඨානං විජ්ජති. සම්මත්තනියාමං අනොක්කමමානෝ සෝතාපත්තිඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමිඵලං වා අරහත්තඵලං වා සච්ඡිකරිස්සතීති නේතං ඨානං විජ්ජති.”

(අ. නි. ඡක්කනිපාත)

යනු වදාළ සේක. එහි තේරුම:- “යම් භික්ෂුවක් කිසි සංස්කාරයක් නිත්‍ය දෙයක් ලෙස දක්නේ නම් අනුලෝමිකඛන්ති නම් වූ මඟපල ලැබීමට අනුරූප උසස් විදර්ශනාඥානයෙන් යුක්ත වන්නේ නො වේ. අනුලෝමික ඛන්ති නම් වූ උසස් විදර්ශනාඥානයෙන් යුක්ත නො වූයේ සම්මත්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගය නො ලබන්නේ ය. එය නො ලබන්නා වූ යෝගාවචර තෙමේ සෝවාන් ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත් ඵලය හෝ නො ලබන්නේ ය” යනු යි.

නාමස්කන්ධයන් ම විශේෂයෙන් ආත්මසංඥාවට හේතු වන බැවින් හා ඒවා සම්බන්ධයෙන් ඇති වූ ආත්මසංඥාව දුරලීම දුෂ්කර බැවිනුත් නාමස්කන්ධන්ගේ අනිත්‍යතාව විශේෂයෙන් බැලිය යුතු ය. මතු දැක්වෙන කරුණු අනුව නාමස්කන්ධයන් ගේ අනිත්‍යතාව නැවත නැවත නුවණින් බැලීමෙන් කල්පනා කිරීමෙන් සාකච්ඡා පැවැත්වීමෙන් ඒවායේ අනිත්‍යතාවය තේරුම් ගැනීමට උත්සාහ කරත්වා!

සුඛවේදනාවය, සෝමනස්ස වේදනාවය, දුක්ඛ වේදනාවය, දෝමනස්ස වේදනාවය, උපේක්ෂා වේදනාවය යන වේදනා පස වේදනාස්කන්ධය ය. මටසිලුටු මෘදු ශරීරයන් හා වස්තූන් ද සැපදායක සුළං ආදිය ද ශරීරයේ සැපීමෙන් ඇති වන සනීපය මිහිර සුඛවේදනා නම් වේ. හොඳ ආහාර පාන වස්ත්‍ර‍ යාන වාහනාදිය ලැබීමෙන් ද, නෑ මිතුරන් මුණ ගැසීමෙන් ද, දැකීමට ප්‍රිය දෑ දක්නට ලැබීමෙන් ද, මිහිරි හඬ අසනු ලැබීමෙන් ද, මිහිරි සුවඳ ලැබීමෙන් ද, ගරු බුහුමන් ස්තුති ලැබීමෙන් ද, තත්ත්වය උසස් වීමෙන් ද, තවත් එබඳු කරුණුවලින් ද සිතට ඇති වන සැපය මිහිර සෝමනස්ස වේදනා නම් වේ. කළුගල් කැබෙලි වැනි තද රළු දේ හා තද ශීත තද උෂ්ණ ආදිය ශරීරයේ ගැටෙන කල්හි ඇති වන රිදුම දුක්ඛවේදනා නම් වේ. නෑයන්ගේ මිතුරන්ගේ මරණ, වස්තු විනාශ, බලාපොරොත්තු කඩවීම්, අවමන් ලැබීම් ආදියෙන් සිතෙහි ඇති වන රිදුම දෝමනස්ස වේදනා නමි. ඒ වේදනා සතරින් එකකුදු නැති අවස්ථාවන්හි සිතෙහි ඇති මධ්‍යස්ථ ස්වභාව උපේක්ෂා වේදනා නමි.

සිත් ඇති සත්ත්වයකුට වේදනාවකින් තොරව වෙසෙන අවස්ථාවක් නැත. එක් පුද්ගලයකුට එකවර වේදනා දෙකක් ද ඇති නො වේ. වේදනා පසෙන සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස වේදනා සතර ප්‍ර‍කට ය. උපේක්ෂා වේදනාව අප්‍ර‍කට ය. උපේක්ෂා වේදනාවව ඇති අවස්ථාව දැනෙන්නේ වේදනාවක් නැති අවස්ථාවක් සේ ය. එසේ දැනෙන සෑම අවස්ථාව ම උපේක්ෂා වේදනාව ඇති අවස්ථාව ලෙස සැලකිය යුතු ය. උපේක්ෂා වේදනාව ශාන්ත ය, සියුම් ය. එය අන් වේදනාවන් නැති බව අනුව තේරුම් ගත යුතු ය.

සුඛ ප්‍ර‍ත්‍යයන් ලත් කල්හි සුඛ සෝමනස්ස වේදනා පහළ වේ. ප්‍ර‍ත්‍යය නැති වූ කල්හි ද දුක්ඛ ප්‍ර‍ත්‍යයන් පහළ වූ කල්හි ද සුඛ සෝමනස්ස වේදනා නැති වේ. දුඃඛප්‍ර‍ත්‍යයන් පැමිණි කල්හි දුක්ඛදෝමනස්ස වේදනා පහළ වේ. සුඛ දුඃඛප්‍ර‍ත්‍යයන් නැති කල්හි උපේක්ෂා වේදනාව පහළ වේ. සුඛදුඃඛප්‍ර‍ත්‍යයන් පැමිණි කල්හි උපේක්ෂා වේදනාව නැති වේ. සුඛ දුක්ඛ වේදනා පහළ වේ. මෙසේ පහළ වී නැවත නැවත නැති වී යන බැවින් වේදනාස්කන්ධය අනිත්‍ය දෙයකි.

ලෝකයෙහි අනන්ත සත්ත්ව පුද්ගලයෝ ඇත්තාහ. ගස් ගල් ගෙවල් ආදි අනන්ත වස්තූහු ද ඇත්තාහ. සත්ත්වයන් පුද්ගලයන් විසින් සිදු කරන අනන්ත ක්‍රියා ඇත්තේ ය. ජලය ගැලීම් ගිනි ඇවිලීම් ගස් කඩා වැටීම් අතු කඩා වැටීම් ආදි ස්වභාව ධර්මයෙන් සිදු වන අනන්ත ක්‍රියා ද ඇත්තේ ය. ඒවා එකින් එක වෙන් වශයෙන් දැන ගන්නා වූ හැඳින ගන්නා වූ එක්තරා ස්වභාවයක් ඇත්තේ ය. එය එක්තරා චෛතසික ධර්මයෙකි. එයට ස්කන්ධ විභාගයේ දී කියන නම සංඥා යනුයි. එයට සාමාන්‍ය ලෝකයා ව්‍යවහාර කරන්නේ හැඟීම හැඳිනීම දැනීම සිතීම යන වචනයන් ය. හැඳින ගත යුතු, දැන ගත යුතු දේ අනුව සංඥා ද අනන්ත වේ. ඒ සංඥා රාශිය සංඥාස්කන්ධ නම් වේ.

මේ සංඥා රාශිය නැති නම් සත්ත්වයනට කිසිවක් කර කියා ගත නො හැකි ය. කිසිවක් හරියට දත නො හැකි ය. සත්ත්වයන් ඒ ඒ දේ කර ගනිමින් ලෝකයෙහි ජීවත් වන්නේ සංඥා ස්කන්ධයේ උපකාරයෙනි. මේ සංඥා රාශිය නො මැති නම් මවුපියන් සහෝදර සහෝදරියන් නෑයන් නො නෑයන් හැඳින ගත නො හැකි ය. සතුරන් මිතුරන් හැඳින ගත නො හැකි ය. ආහාරපාන වස්ත්‍ර‍ හැඳින ගත නො හැකි ය. ඒවා පිළියෙළ කර ගත නො හැකි ය. වාසස්ථාන පිළියෙළ කර ගත නො හැකි ය. තමාගේ අදහස සෙස්සන්ට නො කිය හැකි ය. එකකු කියන දෙය අනිකාට තේරුම් ගත නො හැකි ය. මෙකී සියල්ල ම සිදු වන්නේ සංඥාවන්ගේ උපකාරයෙනි. ඒ නිසා මේ සංඥාස්කන්ධය සත්ත්වයනට ඉතා ප්‍රයෝජනය. එ බැවින් ම ඒ සංඥා රාශිය ගැන ආත්ම සංඥාව ද ඇති වේ. අනේක සංඥා ඇත ද එක් පුද්ගලයකුට එක වරකට ඇති වන්නේ එක් සංඥාවකි. තවත් සංඥාවක් ඇති වන්නේ එය නිරුද්ධ වූ පසු ය. රූපයක් මුණ ගැසීමේ දී රූපසංඥාවක් ඇති වේ. ශබ්දයක් ඇසීමේ දී ශබ්දසංඥාවක් ඇති වේ. එකල්හි කලින් ඇති වූ රූපසංඥාව නැත. එසේ ඇති වී නැති වී යන බැවින් සකල සංඥාවෝ ම අනිත්‍යයෝ ය.

යාම් ඊම් කෑම් බීම් දීම් ගැනීම් ආදි ක්‍රියා සිදු කිරීමේ එක්තරා බලයක් සිත හා සම්බන්ධ ව ඇති වේ. එය චේතනා නම් වේ. එය ද එක්තරා චෛතසික ධර්මයෙකි. එය ප්‍ර‍ධාන සංස්කාරය ය. චේතනාවෙන් අන්‍ය වූ ලෝභ ද්වේෂ මෝහ මාන ඊර්ෂ්‍යා මාත්සර්ය මෛත්‍රී කරුණා ශ්‍ර‍ඬා ප්‍ර‍ඥාදි චෛතසික ධර්මයෝ ද සංස්කාරස්කන්ධයට අයත් වෙති. ඒවා ද වේදනා සංඥාවන් මෙන් ඇති වෙමින් ඒ ඒ වෙලාවේදී නැති වී යන බැවින් අනිත්‍යයෝ ය.

වේදනා සඤ්ඤා සඞ්ඛාර යන ස්කන්ධ තුන චෛතසිකයෝ ය. ශුඬ වූ සිත විඥානස්කන්ධය ය. එය චක්ඛුවිඤ්ඤාණ සෝතවිඤ්ඤාණ ඝානවිඤ්ඤාණ ජිව්හාවිඤ්ඤාණ කායවිඤ්ඤාණ මනෝවිඤ්ඤාණය යි සවැදෑරුම් වේ. ඇසට රූපයක් මුණ ගැසුණු කල්හි චක්ඛුවිඤ්ඤාණය ඇති වේ. කනට ශබ්දයක් පැමිණි කල්හි සෝතවිඤ්ඤාණය උපදී. සෝතවිඤ්ඤාණය ඇති කල්හි චක්ඛුවිඤ්ඤාණය නැත. මෙසේ ලැබෙන මුන ගැසෙන අරමුණු අනුව විඤ්ඤාණයන් ඉපද ඉපද නිරුද්ධ වී යන බැවින් විඥානස්කන්ධය අනිත්‍ය වන්නේ ය.

ඉතා වේගයෙන් ඉපද ඉපද බිඳි බිඳී යන රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන පඤ්චස්කන්ධයට අයත් නාම රූප ධර්ම රාශිය හැර මේ සත්ත්ව සන්තානයෙහි ස්ථිර වූ නිත්‍ය වූ අන් කිසිවක් නැත්තේ ය. මේ සංස්කාර ධර්ම රාශිය හැර ස්ත්‍රියක පුරුෂයෙක ළමයෙක තරුණයෙක මහල්ලෙක ගවයෙක අශ්වයෙක බල්ලෙක බළලෙක කියා සත්‍ය වශයෙන් ලැබෙන කිසිවක් නැත්තේ ය. ස්ත්‍රිය ය පුරුෂයා ය යනාදිය සංස්කාර සමූහයන්ට කියන නම් පමණෙකි.

ඉපද ඉපද බිඳි බිඳී යන මේ නාමරූප ධර්මයන් ගේ සැටි පොල්තෙල් පහනක දැල්වෙන ගිනි සිළුව අනුව තේරුම් ගත යුතු ය. පහනේ ගිනිසිළුව නිවෙන තුරු එක් දෙයක් සේ පෙනෙන නමුත් එය එක් දෙයක් නොව ගිනිසිළු පරම්පරාවෙකි. පහනෙහි ගින්න හටගන්නේ තෙල්වලිනි. ගිනිගත් තෙල ගින්න සමඟ ම අවසන් වන්නේ ය. එක් තෙල් බින්‍දුවකින් හටගන්නා ගින්න එකෙණෙහි ම ඒ තෙල් බින්‍දුව සමග ම අභාවයට යන්නේ ය. පහන් වැටියේ ගිනි දැල්වෙන තැනට මුලින් පැමිණ තුබූ තෙල සැණෙකින් දැල්වී ගිනිසිළුවත් සමඟ අභාවප්‍රාප්ත වේ. ඉන් පසු එතැනට නැවත පහනේ තුබූ තෙල් පැමිණෙන්නේ ය. පළමු ගින්න නිවී යනු සමඟ ම අලුතෙන් පැමිණි තෙලට ගිනි ගන්නේ ය. ඒ ගින්න එකෙණෙහි ම නිවෙයි. නැවත තෙල් එ තැනට පැමිණ අලුත් ගින්නක් හටගනී. පහනේ තෙල් ඇති තාක් මේ සිදුවීම නො නැවතී පවතී. මෙය අතරක් සලකා ගත නො හෙන පරිදි ඉතා වේගයෙන් සිදුවන නිසා පහන නිවෙන තුරු පවත්නා ගිනිසිළුව එකක් සේ පෙනේ. ජනයෝ ද එය එකක් සේ ම සලකති. රැයක් දැල්වෙන පහනක දෙවන පැයේ ඇත්තේ පළමුවන පැයේ තුබූ ගිනිසිළුව නො වේ. දෙවන විනාඩියේ ඇත්තේ පළමුවන විනාඩියේ තුබූ ගිනිසිළ නො වේ. දෙවන තත්පරයෙහි ඇත්තේ පළමුවන තත්පරයේ පැවති ගිනි සිළ නොවේ. ඇති වන ඇති වන අලුත් අලුත් ගිනි තත්පරයකුදු නො සිට නිවී යයි. මනුෂ්‍යයාගේ පඤ්චස්කන්ධය ද මේ ගිනි සිළුව බඳු වූ සංස්කාර පරම්පරාවෙකි.

ගිනිකූර ගිනිපෙට්ටියෙහි ගැසූ කල්හි ගින්නක් හටගනී. ඒ ගින්න ඊට කලින් ගිනිපෙට්ටියේ තුබුණේ ද නො වේ. ගිනිකූරෙහි තුබුණේ ද නො වේ. නිවුණු පසු අන් තැනකට යන්නේ ද නො වේ. ඒ ගින්න ගිනිපෙට්ටියෙහි ගිනිකූර ගැටීම හේතු කොට එතැන ම හට ගෙන එතැන ම නැති වන්නකි. එමෙන් සත්ත්ව ශරීරයේ පෙර නො තුබූ අලුත් අලුත් නාමරූප ධර්මයෝ ඒ ඒ ධර්මය ඉපදීමට අනුරූප ප්‍ර‍ත්‍යය ලද කල්හි ඉපිද එතැන ම බිඳී අතුරුදහන් වෙති. පළමු තුබූ සංස්කාරයන් බිඳී අතුරුදහන් වනු සමඟ ම අඩුවක් නො පෙනෙන පරිදි අලුත් සංස්කාරයෝ උපදිති. රූපයන් ගේ ඇතිවීම් නැතිවීම්වල අතරක් නො පෙනෙන බැවින් මේ ශරීරය එක් දෙයක් වශයෙන් වර්ෂ ගණනක් පවතින්නකැයි වරදවා තේරුම් ගනිති. ගස් වැල් කොළ මල් ගෙඩි පස් ගල් ආදි බාහිර වස්තූන්හි ද ඇති රූපයන්ගේ ඉපදීම බිඳීම සත්ත්වශරීරවල මෙන් ම සිදුවන බව තේරුම් ගත යුතු ය. බාහ්‍යාභ්‍යන්තරික සකල සංස්කාරයන්ගේ ම අනිත්‍යභාවය දැක ගත්, තේරුම් ගත් යෝගාවචර තෙමේ මඟපල ලැබීමට නිසි උසස් විදර්ශනාඥානය ඇත්තේ වේ. මෙසේ වූ උසස් විදර්ශනාඥානය අනුලෝමිකඛන්ති නම් වේ. උසස් විදර්ශනාඥානය ඇති කර ගත් යෝගාවචරයා විසින් තමා අනිත්‍ය වශයෙන් දක්නා පඤ්චස්කන්ධයා ගේ අනුත්පාද නිරෝධය ලෝකෝත්තර නිර්වාණධාතුව ය යි තමාගේ සිත නිවනට යොමු කළ යුතු ය. එසේ කිරීමෙන් ඔහුට ලෝකෝත්තර මාර්ගඥානය ලබා ආර්‍ය්‍ය පුද්ගලයකු විය හැකි වන්නේ ය.

“පඤ්චස්ඛන්ධෙ අනිච්චතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති. පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ නිච්චං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

(පටිසම්භිදාමග්ග)

“පඤ්චස්කන්ධය, අනිත්‍ය වශයෙන් දක්නේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප වූ විදර්ශනාඥානය ලබයි. පඤ්චස්කන්ධයාගේ අනුත්පාදනිරෝධය නිත්‍ය වූ නිර්වාණය යි දක්නා යෝගාවචර තෙමේ සම්මත්තනියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණේය” යනු එහි තේරුම ය.

උත්පන්න නිරෝධය අනුත්පාද නිරෝධය කියා නිරෝධ දෙකකි. උපදින උපදින සියලු ම සංස්කාරයෝ එකෙණෙහි දිරා අභාවයට පැමිණෙති. එය උත්පන්න නිරෝධය ය. අඹගසක් ඇති කල්හි එහි වර්ෂයක් පාසා බොහෝ මල්පල හටගනී. ඒවායින් තවත් අඹගස් හා අඹපල ඇති වේ. මෙසේ දීර්ඝකාලයක් අඹ පරම්පරාව පවතී. මුල් අඹගස විනාශ කළහොත් ඒ අඹ රුක නිසා මතු හටගන්නට ඇත්තා වූ මල්පල හා අඹගස් මතු කිසි කලෙක ඇති නො වන්නේ ය. එය එතෙක් ඇති නොවූ මතු ඇති විය හැකි අඹපලවල නැති වී යාමකි. ඇති නො වූ දේවල නැතිවීමක් බැවින් එය අනුත්පාද නිරෝධ නම් වේ. ගස විනාශ වීමෙන් නැති වී ගිය ඒ අනාගත අඹගස්වල අඹ පලවල අභාවප්‍රාප්තිය ස්ථිර වූවකි. එමෙන් නැවත නැවත සසර ඉපදීමට හේතු වන තණ්හාව මතු ඇති නො වන පරිදි ප්‍ර‍හාණය කළ හොත් එය හේතු කොට අනාගත සංසාරයෙහි ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ඇති විය හැකි සකල සංස්කාරයෝ ඇති නොවී ම නැති වෙති. එය ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ය. ඒ අනුත්පාද නිරෝධය වූ ශාන්ත ස්වභාවය ලෝකෝත්තර නිර්වාණය ය. ස්කන්ධ පරම්පරා නැතිවන්නාක් මෙන් එය කිසි කලෙක නැති නො වේ. ලෝකෝත්තර මාර්ගඵල ඇති වන්නේ අනුත්පාද නිරෝධ සඞ්ඛ්‍යාත ඒ අසඞ්ඛත ධාතුව අරමුණු කර ගෙනය.