දෙවන භාවනා පදය
දුක් ඇතිවීමට හේතු වන බැවින් ද, දුක් ඇති වන ස්ථානය වන බැවින් ද සංස්කාරයෝ දුක්ඛයෝ ය.
දඬු මුගුරු ගල් ආයුධ ආදියෙන් පහර ලැබීම, ගල්මුල් ආදියෙහි සැපීම, තදශීත තදඋෂ්ණ ශරීරයෙහි සැපීම, සර්පාදීන් ගේ විෂ ශරීරයට කාවැදීම, වාතාදි දෝෂයන් කිපීම, ආහාරපාන නොලැබීම, අපථ්‍ය ආහාර ගැනීම යනාදියෙන් ශරීරයේ හටගන්නා රිදුම වූ දුඃඛ වේදනාවය: ධනහානිය, බලාපොරොත්තු සුන්වීම, නෑමිතුරන් මරණයට පත්වීම, වරද කෙළේය යි චෝදනා ලැබීම, නින්දා ලැබීම, අඹුදරුවන් අකීකරුවීම යනාදි කරුණුවලින් වන සිත රිදුම වූ දෞර්මනස්‍ය වේදනාවය යන මේ දෙක නියම දුක ය. ඇතැම් වේදනාවක් වඩා නපුරු නො වතුදු ඇතැම් දුඃඛ දෞර්මනස්‍ය වේදනා ඉතා නපුරු ය. ඒවාට පත් වූ පුද්ගලයෝ ඉවසිය නො හී කඳුළු වගුරුවමින් මහහඬ නඟමින් විලාප කියමින් හිසට ළයට තළා ගනිමින් හිස බිම ඇණ ගනිමින් බිම පෙරළෙමින් හඬති. බලවත් දොම්නස් නිසා ඇතැම්හු දිවි නසා ගැනීම පවා කරති. ඒ දුඃඛ දෞර්මනස්‍ය දෙක පඤ්චස්කන්ධයෙන් වේදනා ස්කන්ධයට අයත් වේ. සුඛ සෝමනස්ස උපේක්ඛා වේදනා දුක් වන්නේ කියන ලද දුඃඛ දෞර්මනස්‍ය වේදනා දෙක ඇති කරන බැවින් හා ඒවාට ස්ථාන වන බැවින් ය.
නාමරූප සඞ්ඛ්‍යාත සංස්කාරයන්ගේ අනිත්‍යතාව ම මහත් දුකෙකි. මිනිස්ලොව රජසම්පත් සිටුසම්පත් සේනාපති සම්පත් ආදිය ලබා පස්කම් සුව විඳිමින් වෙසෙන පුද්ගලයා ඒ අනිත්‍යතාව නිසා සම්පත්තියෙන් පිරිහේ. පරම රමණීය දෙව්විමන්වල දෙවඟනන් පිරිවරා දිවසැප විඳින පුද්ගලයා ඒ සම්පත්තියෙන් පිරිහේ. සම්පත්තියෙන් පිරිහීම දොම්නසට කරුණෙකි. මහත් සම්පත්තියෙන් පිරිහීම ඉමහත් දොම්නසකට හෙවත් මානසික දුඃඛයකට කරුණෙකි. මනුෂ්‍ය දේව ස්කන්ධ නො වී නම් ඒ දුක නො වන බැවින් එය ඇති වන්නේ ස්කන්ධයන් නිසා ම බව දත යුතු ය.
ඉපදීම බිඳීම යන දෙකින් ම සංස්කාරයෝ සත්ත්වයන් පෙළති. ශරීරයෙහි අහිත වූ රූප ඉපදීමෙන් හා පමණට වඩා රූප ඉපදීමෙන් වන්නේ ඉමහත් පීඩාවෙකි. ගෙඩි පිළිකා කුෂ්ඨ හටගැනීම, මොළයේ පෙණහල්ලේ කුසයේ වතුර පිරීම, නරක ලේ සෙම් පිත් ආදිය ඇති වීම, නො මනා රූපකලාප ඉපදීම ය. නොයෙක් රෝග හට ගන්නේ නො මනා රූපකලාප ඉපදීමෙනි. ශරීරයේ ලේ මස් ආදිය ක්ෂයවීම රූපයන්ගේ නිරෝධයෙකි. මෙසේ සංස්කාරයෝ ඉපදීම් නැසීම් දෙකින් ම පීඩා කෙරෙති. එබැවින් සංස්කාරයෝ දුක්ඛයෝ ය.
ශරීරයේ බිඳී යන රූප වෙනුවට අලුත් රූප කලාපයන් ඇති කර ගනු පිණිස දිනකට කීප වරක් ආහාරපාන ගැනීමට සිදුවේ. වරක් ගත් ආහාරයෙන් ඇති වන රූප පැය ගණනකදී බිඳී අතුරුදහන් වෙයි. ඒ නිසා නැවත නැවත ආහාර ගන්නට සිදුවේ. මෙය සත්ත්වයනට ඉවරයක් නො වන වැඩකි. ඉමහත් කරදරයෙකි. සංස්කාරයන්ගෙන් ඇති පීඩනය තේරුම් ගැනීමට තරම් නුවණ නැතියෝ අවිද්‍යාවෙන් අන්ධ ව වෙසෙන බැවින් ආහාරපාන වැළඳීම ලොකු සුවයකැයි සිතති. ආහාරපාන ගැනීම නිසා පරම අපවිත්‍ර වූ මලමුත්‍රවලින් ශරීරය පිරෙයි. එද ඉමහත් දුකෙකි. ඒවා පිටකර ශරීරය හිස් කර ගැනීමත් මහ දුකෙකි. ඒවා ශරීරයෙන් බැහැර කරගන්නට නො පිළිවන් වුවහොත් එයත් මහා දුකෙකි. ආහාර ගැනීම දුකෙකැයි කියා නො ගෙන සිටියහොත් වන්නේ ගැනීමෙන් වන දුකට වඩා සිය ගුණයෙන් මහත් වූ දුකෙකි. පඤ්චස්කන්ධය දරන්නහුට කවරාකාරයකින් වත් නිදහසක් නැත.
ආහාරපාන ගත යුතු නිසා ඒවා සැපයීම සඳහා ගොවිතැන් කළ යුතු ය. අන් රැකියාවක් හෝ කළ යුතු ය. ඒවාට බොහෝ වෙහෙසිය යුතු ය. එය මහත් දුකෙකි. අමාරුවෙන් කරන ගොවිතැන සමහර විටෙක වැස්සෙන් පාළු වෙයි. විටෙක වැසි නො ලැබීමෙන් පාළු වෙයි. සමහර විටෙක සතුන් නිසා පාළු වෙයි. සමහර විටෙක අස්වැන්න සොරු කපා ගනිති. ඒවායින් වන්නේ ද ඉමහත් මානසික දුඃඛයෙකි. ආහාරපාන ලබා ගැනීම සඳහා ධනය නැතිවීමෙන් සමහර විට සතුන් මරන්නට, සොරකම් කරන්නට, බොරු කියන්නට සිදුවේ. ඒවායින් මෙලොව පරලොව දෙක්හි ම අපමණ දුක් ඇති වේ.
වස්ත්‍ර සැපයීම, වාසස්ථාන සැපයීම, යානවාහන සැපයීම, බෙහෙත් සැපයීම, අඹුදරුවන් පෝෂණය කිරීම, නෑමිතුරන්ට සඞ්ග්‍රහ කිරීම, රජයට වැඩ කිරීම, වරින් වර ඇතිවන නොයෙක් ආසාවල් සපුරා ගැනීම ආදි තවත් කරදර රාශියක් පඤ්චස්කන්ධය නිසා ඇත්තේ ය. අවසානයක් නැති ව කරන්නට සිදුවන ඒ වැඩ කිරීමත් මහත් දුකෙකි. අවිද්‍යාවෙන් අන්ධ ජනයා ඒවාත් සැප සැටියට සලකති.
සැම විපතක් ම ඇත්තේ ඒවාට ඔරොත්තු නො දෙන දුබල පඤ්චස්කන්ධය ඇති නිසා ය. ජලය ගලා ගස්කොළන් නො පෙනෙන තරමට පොළොව වැසී යත හොත් මහ විපතෙකි. එය විපතක් වන්නේ ජලයට ඔරොත්තු නො දෙන දුබල පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධයක් නැති නම් කොතෙක් ජලය ගැලුව ද එය විපතක් නො වේ. බිඳකුදු ඉතිරි නො වී මුළු පොළොවේ ම ජලය නැති වී ගිය ද, මහපොළොව ගිනි ගත ද, ගස් ගල් පෙරළී යන සැඩ සුළං හැමුව ද, පොළොව සුනුවිසුනු වී ගිය ද, පරමාණු බෝම්බ ජලකර බෝම්බ පතිත වුව ද පඤ්චස්කන්ධයක් නැති නම් ඒවායින් ඇති විපතක් නැත. සැම විපතක් ම සැම දුකක් ම ඇත්තේ පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. දුක් ඇති වන ස්ථානයත් පඤ්චස්කන්ධය ය. ගස් ගල් ආදියෙහි හෝ අහෙසෙහි දුක්ය කියා දෙයක් ඇති නො වේ. දුකය කියා යමක් ඇති නම් ඒ සියල්ල ඇති වන්නේ පඤ්චස්කන්ධයෙහි ය. පඤ්චස්කන්ධයක් නැති නම් දුක් ඇති වන්නට තැනක් නැත. දුක් ඇති වන ස්ථානය වූ පඤ්චස්කන්ධය තිබීම ම දුකෙකි. නුවණැතියන් පඤ්චස්කන්ධයෙන් මිදී පඤ්චස්කන්ධයක් නැති නිවනට පැමිණෙන්නේ පඤ්චස්කන්ධය ම දුකක් වන බැවිනි.
ආකාශයෙහි ශීතවාත උෂ්ණවාත චණ්ඩවාත මන්දවාතාදි අනේකප්‍රකාර වාතයන් ඇති වන්නාක් මෙන් මේ ශරීරයෙහි ද සුඛවේදනා සෝමනස්සවේදනා දුක්ඛවේදනා දෝමනස්සවේදනා උපේක්ඛාවේදනා යි අනේකප්‍රකාර වේදනාවෝ උපදිති. ඒ වේදනාවන් අතුරෙන් දුක්ඛ දෝමනස්ස වේදනා දෙක්හි නපුර කවුරුත් දනිති. තිරිසන් සත්ත්වයෝ ද දනිති. සුඛ සෝමනස්ස වේදනා දෙක දුකක් බව, නපුරක් බව තේරුම් ගැනීම අපහසු ය. සත්ත්වයන් ඇලුම් කරන ප්‍රධාන දෙය සුඛ සෝමනස්ස වේදනා දෙක ය. ධනයට ඇලුම් කරන්නේ සුඛ සෝමනස්ස වේදනාවන් ඒවායින් ඇති කර ගත හැකි නිසා ය. අඹුදරු ආදීන්ට ඇලුම් කරන්නේ ද ඔවුන් නිසා ඒ සුඛ සෝමනස්සයන් ලැබෙන නිසා ය. දුඃඛස්කන්ධයක් වන තමාගේ පඤ්චස්කන්ධයට ඇලුම් කරන්නේ ද සුඛ සෝමනස්ස වේදනා සඳහා ම ය. කිසිදු සුවයක් නැතිව ම දුක් විඳිමින් වෙසෙන පුද්ගලයා පඤ්චස්කන්ධයට ඇලුම් කරන්නේ ද අනාගතයේ සුඛ සෝමනස්සයන් ගැන බලාපොරොත්තුවෙනි. කොතෙක් දුක් වින්දේ වී නුමුත් සුඛ සෝමනස්සයන් ගැන ඇති බලාපොරොත්තුව නිසා සත්ත්වයාට පඤ්චස්කන්ධය නපුරක් සේ නො වැටහේ. සත්ත්වයන්ගේ සම්මෝහය ඉතා අධික ව පවත්නේ සුඛ සෝමනස්සයන් ගැන ය. යෝගීන්ට ආශාව අත්හැරීමට දුෂ්කර වන්නේ සුඛ සෝමනස්සයන් ගැන ම ය. අවිද්‍යාවෙන් අන්ධ ව ධනයට හා දූ දරුවන්ටත් තවත් නොයෙක් දෙයටත් ආලය කරන පුද්ගලයෝ තමන් ආලය කරන්නේ ධනාදියට නො ව, තමන් කෙරෙහි ඇති වන සුඛ සෝමනස්සයන්ට ම බව නො දනිති. ඒ මුළාවත් තණ්හාව දුරු කිරීම දුෂ්කරවීමේ බලවත් හේතුවකි. තණ්හාව දුරු කිරීම දුෂ්කර වූ සුඛ සෝමනස්සයන්ගේ නපුර සෙවීමට යෝගාවචරයන් විශේෂයෙන් උත්සාහ කළ යුතු ය. සුඛ සෝමනස්සයන්ගේ තතු මතු දැක්වෙන පරිදි කල්පනා කරනු.
දුක්ඛ දෝමනස්සයන් ඇති කර ගැනීමට උත්සාහයක් නුවුමනා ය. ඒවා නිකම් ම ඇති වේ. ඒවා සම්බන්ධයෙන් ඇත්තේ ඒවායේ ඇති වීම නවත්වා ගැනීම සඳහා උත්සාහ කිරීම ය. සුඛ සෝමනස්ස වේදනා එසේ නිරුත්සාහයෙන් උපදින්නේ නො වේ. ලෝකයේ සැප යයි කියනුයේ ඒ වේදනා දෙකට ය. අවිද්‍යාව නිසා උසස් කොට සලකන ඒ සැපයට දෙපැත්තේ ඇත්තේ සංස්කාර දුඃඛ විපරිණාම දුක්ඛ යන දුක් දෙක ය. මිනිසාට ඔහු බලාපොරොත්තු වන සැපය ලැබියි හැකි වීමට බාලකාලයේ දී අවුරුදු ගණනාවක් සිප්සතර උගත යුතුය. එය මහත් දුකෙකි. රැකියාවක් සඳහා ඉගෙනගත් පසු බලාපොරොත්තු රැකියාව නො ලැබී යන්නේ ය. එද මහ දුකෙකි. රැකියාවක් ලද ද එය කිරීමත් මහ දුකෙකි. උගත්කම් නැතහොත් කරන්නට සිදුවන්නේ ගොවිකම් ආදී බර වැඩය. ගස් යාම, පතල් වැඩ, යුඬ භූමිවල වැඩ ආදී අන්තරාදායක වැඩ කරන්නට ද සිදු වේ. වැසිකිළි ශුද්ධකිරීම් ආදී පිළිකුල් වැඩ ද කරන්නට සිදුවේ. ඇතුන්ගෙන් වැඩ කරවීම් ආදී භයානක වැඩ ද කරන්නට සිදු වේ. ගොවිකම් ආදී ඇතැම් වැඩ කරන්නවුන්ට වෙහෙසීම පමණක් නොව, අව්වෙන් වැස්සෙන් පින්නෙන් සුළඟින් මැසි මදුරු ආදී සතුන්ගෙන් ද බොහෝ දුක් විඳින්නට සිදු වේ. ඇතැම් සැප ලැබීම සඳහා දුකින් සපයා ගත් බොහෝ ධනය වියදම් කරන්නට සිදුවේ. සමහර විට බලාපොරොත්තු ඉටු නො වීමෙන් කළ වියදමත් ගත් වෙහෙසත් නිෂ්ඵල වී පශ්චත්තාප වන්නට සිදු වේ. මේ සුඛ සෝමනස්ස වේදනාවන්ට පූර්වභාගයෙහි ඇති සංස්කාර දුඃඛය ය. ඉමහත් පරිශ්‍රමයෙන් මහත් දුකින් ලබන්නා වූ ඒ සැපය දිගු කලක් පවත්නක් නො ව, සැණෙකින් නැති වන්නකි. අද වින්ද සුවයෙන් හෙට ඉතිරි වන කිසිවක් නැත. හෙටත් ඒ සැපය වුවමනා නම් ඒ සඳහා හෙටත් වියදම් කළ යුතු ය. හෙටත් වෙහෙසිය යුතු ය. කවරාකාරයකින් ලැබූ සැපයක් වුව ද නවත්වා ගත නො හැකි ය. සත්ත්වයන් උසස් කොට සලකන මේ සැපය ගන්නට යෑම, අතේ සැපි සැපී යන කිසිකලෙක ගත නො හෙන මැණිකක් ගන්නට උත්සාහ කිරීම බඳුය. එබඳු මැණිකක් ඇති නම් එයට ඇලුම් කොට එය ලුහුබැඳ මහත් වෙහෙසට හෝ මරණයට පත්වෙනවා මිස මැණික කිසිකලෙක නො ලැබේ. එමෙන් මේ සුඛයත් කිසිකලෙක කවරකුට වත් ලබා නවත්වා ගත හැකි නො වේ. සෑහීමකට පත්විය හැකි නො වේ. සැපය වුවමනා නම් සැමදාම වෙහෙසිය යුතු ය. ලැබු ලැබූ සැපය නැති වී යාමත් ලබන්නට නැවත නැවත වෙහෙසෙන්නට සිදුවීමත් සුඛයේ විපරිණාම දුඃඛය ය. මෙසේ අනේකාකාරයෙන් සත්ත්වයනට පීඩා කරන බැවින් සුඛ වේදනාවත් දුකකැයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ශාන්ත වූ උපේක්ෂා වේදනාව ද ලැබූවත් නො පවත්නා බැවින් දුකෙකි.
“සුඛා භික්ඛවේ, වේදනා දුක්ඛතෝ දට්ඨබ්බා. දුක්ඛ වේදනා සල්ලතෝ දට්ඨබ්බා. අදුක්ඛමසුඛා වේදනා අනිච්චතෝ දට්ඨබ්බා.”
(වේදනා සංයුක්ත)
යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇති පරිදි සුඛවේදනාව දුකක් වශයෙන් දත යුතු ය. දුඃඛ වේදනාව ශරීරයෙහි ඇණෙන හුලක් වශයෙන් දත යුතු ය. උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දත යුතු ය. එසේ දන්නා යෝගාවචරයා ධර්මය දක්නා පුද්ගලයෙක් වන්නේ ය.
වෘක්ෂලතාදි බාහිර සංස්කාරයන්හි දුඃඛවේදනාවක් ඇති නො වන නුමුත් යමකු ඒවාට ඇලුම් කරනවා නම් ඒවා නිසා ඔහුට දුක් ඇති වන බැවින් ද, සත්ත්වයන් පෙළන උදයව්‍යය දෙක වෙනසක් නැති ව බාහිර සංස්කාරයන්හිත් ඇති බැවින් ඒවා ද දුක් වශයෙන් සැලකිය යුතු ය. යම් යෝගාවචරයකුට ආභ්‍යන්තරික බාහ්‍ය සංස්කාරයන් අතර සුඛයක් වන, දුක නො වන එක සංස්කාරයකුදු ඇති සේ පෙනේ නම්, එතෙක් ඔහුගේ විදර්ශනාව සම්පූර්ණ වූයේ නො වේ. විදර්ශනාව සම්පූර්ණ වන්නේ සකල සංස්කාරයන් ම දුක් වශයෙන් පෙනෙන්නට වන් කල්හි ය. සකල සංස්කාරයන් ම දුක් ලෙස නැවත නැවත නුවණින් බලන යෝගාවචරයාට ඒ බැලීමෙන් ම සංස්කාර නිරෝධය වූ නිවන ම ඒකාන්ත සුඛය වශයෙන් පෙනී හෙතෙමේ ලෝකෝත්තර මාර්ග ඥානය ලබන්නේ ය.
“පඤ්චස්ඛන්ධෙ දුක්ඛතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ සුඛං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
(පටිසම්භිදාමග්ග)
“පඤ්චස්කන්ධය දුක් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට යෝග්‍ය වූ විදර්ශනා ඥානය ලබයි. ඒ පඤ්චස්කන්ධයාගේ නිරෝධය සුඛය වූ නිවන ය යි දක්නා යෝගාවචර තෙමේ සම්මත්තනියාම නම් වූ ලෝකෝත්තර මාර්ගය ලබාය” යනු එහි තේරුමය.