එකොළොස් වන භාවනා පදය.
ස්කන්ධයෝ උපද්‍රවයෝ ය.
කලින් කිසි ලකුණකුදු නො තිබී සිටි සැටියේ ම හදිසියේ එළඹෙන්නා වූ විපත්තීහු උපද්‍රවයෝ ය. අකුණු වැදීම, විදුලිය සැර වැදීම, ගංවතුර ගැලීම, මුහුද ගොඩ ගැලීම, පොළොව සැලීම, ගිනිකඳු පිපිරීම, තද සුළං හැමීම, නැව් ගිලීම, අහස්යානා බිඳ වැටීම, ගසින් වැටීම, ගස් කඩා වැටීම, රිය ගැටීම, රිය පෙරළීම, සොර සතුරන් පැමිණ පහර දීම, ගෙවල් ගිනි ගැනීම, දියේ වැටීම, අමනුෂ්‍යයන් පීඩා කිරීම, බෝම්බ වැටීම, සර්පයන් දෂ්ට කිරීම, නපුරු සතුන් අනතුරු කිරීම යනාදීහු උපද්‍රවයෝ ය. මේ උවදුරු ඇත්තේ පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධයක් නැති නම් ජලය ගැලුව ද ගිනි ඇවිළුණ ද අකුණු පහත් වුව ද ඒවා උපද්‍රව නො වේ. උපද්‍රවයන් පඤ්චස්කන්ධය නිසා ම ඇතියක් බැවින් පඤ්චස්කන්ධය ම උපද්‍රවයන් සේ සැලකිය යුතු ය.
“පඤ්චක්ඛන්ධෙ උපද්දවතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අනුපද්දවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
පඤ්චස්කන්ධයන් උපද්‍රවයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල වූ විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ නිරෝධය උපද්‍රව නැති නිවන යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.