දොළොස්වන භාවනා පදය
ස්කන්ධයෝ භයයෝ ය.
භය යනු ඇතැම් කරුණුවලින් හටගන්නා වූ චිත්ත පීඩාවෙකි. එය ඉමහත් දුකෙකි. එය ගින්නක් වැනි ය. භය ඇති වූ කල්හි ගින්නකින් දැවෙන්නාක් මෙන් ශරීරයේ ඇතුළ දැවෙයි. උගුර කට වියළෙයි. ඇඟ වෙවුලයි. ඩහදිය ගලයි. මහත් භයක් ඇති වූ කල්හි මලමුත්‍ර පහ වෙයි. සිහි නැති වෙයි. රෝගාතුර වෙයි. සමහර විට මරණය ද වේ. මේ භය සාමාන්‍ය ජනයාට තබා රාජාදි මහ බලවතුන්ට ද නොයෙක් විට ඇති වේ. චූළනී බ්‍රහ්මදත්ත රජුගේ සේනාව පැමිණ වට කර ගත් කල්හි වේදේහ රජු ඔහුගේ බිය මහෞෂධ පඬිතුමා ඉදිරියේ මෙසේ පවසා ඇත්තේ ය.
“උබ්බේධතේ මේ හදයං මුඛඤ්ච පරිසුස්සති,
නිබ්බුතිං නාධිගච්ඡාමි අග්ගිද්ඩ්ඪෝව ආතපේ
කම්මාරානං යථා උක්කා අන්තෝ ඣායති නො බහි,
එවම්පි හදයං මය්හං අන්තෝ ඣායති නො බහි.”
“මහ සුළඟකට අසු වූ ගසක කොළයක් මෙන් මාගේ හෘදය වෙවුලන්නේ ය. මාගේ මුඛය ද වියළෙයි. ගින්නේ දැවී අව්වට පැමිණියකු මෙන් මම නිවීමක් නො ලබමි. කඹුරන් ගේ කෝවක ඇතුළ දැවෙන්නාක් මෙන් මාගේ හෘදයේ ඇතුළ දැවේය” යනු එහි තේරුම ය.
සසර සැරිසරන සත්ත්වයනට බිය දනවන කරුණු බොහෝ ඇත්තේ ය. රජුන්ගෙන් ද මහත් භය ඇති වේ. සොරුන්ගෙන් සතුරන්ගෙන් ද අලි කොටි වලස් ආදි නපුරු සතුන්ගෙන් ද සර්පයන්ගෙන් ද චණ්ඩ අමනුෂ්‍යයන්ගෙන් ද යුඬවලින් ද ගින්නෙන් ද දියෙන් ද සුළඟින් ද වසංගත රෝගවලින් ද නොයෙක් විට මහත් භය ඇති වේ. තමාට මැරෙන්නට වේය යි සිතුණු විට මහා භයක් ඇති වේ. තව ද අඹුදරුවන් සහෝදර සහෝදරියන් මැරෙතැයි කියා ද, කෙත්වතු පාලු වෙතියි කියා ද, රස්සාව නැති වී යතැයි කියා ද, රහස් හෙළි වෙතැයි කියා ද, රෝගයන් හටගැනෙතැයි කියා ද, අනුන් විසින් චෝදනා ඉදිරිපත් කිරීම නිසා ද, මා විසින් මෙනම් වරද කර ඇත කියා තමා විසින් ම තමාට චෝදනා කර ගැනීම නිසා ද, මරණින් මතු අපායෙහි වැටෙන්නට වෙතියි කියා ද, තවත් නොයෙක් කරුණු නිසා ද සත්ත්වයනට නොයෙක් විට බිය ඇති වේ. මෙහි කී නො කී සියලු බිය ඇත්තේ පඤ්චස්කන්ධය ඇති නිසා ය. පඤ්චස්කන්ධය නො මැති නම් භය කියා දෙයක් නැත. එබැවින් ස්කන්ධයෝ ම භයයයි යෝගාවචරයන් විසින් සැලකිය යුතු ය.
“පඤ්චක්ඛන්ධෙ භයතො පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අභයං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
පඤ්චස්කන්ධය බියක් ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය බිය රහිත නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.