සූවිසිවන භාවනා පදය.
ස්කන්ධයෝ ආදීනවයෝ ය, හෙවත් දෝෂයෝ ය.
ආදීනවය යනු අධික දිළිඳුකම ය. එය ඉතා ලාමක ය. මහත් දෝෂයෙකි, දුඃඛදායක ය. කොතෙක් වෙහෙසී වැඩ කළ ද දුප්පතාට ලැබෙන්නේ එදින ගත කිරීමට තරම් දෙයකි. ඔහුට හෙට පිණිස දෙයක් නැත. හෙට යැපීම සඳහා හෙටත් මහන්සි වී යමක් සෙවිය යුතු ය. එය ඉමහත් කරදරයෙකි, දුකෙකි. සත්ත්වයා වශයෙන් සලකන මේ ස්කන්ධ රාශිය ද දුප්පත් ය. ආහාර පානයෙන් අද ශරීරයේ ඇති කරන ගන්නා රූප කොට්ඨාසය හෙට නැත. හෙටත් ඒවා වුවමනා නම් හෙටත් ආහාර පාන ගත යුතු ය. මේ ඉවරයක් නැති කරදරයෙකි. දුකෙකි. ලස්සන දේ බැලීමෙන්, මිහිරි හඬ ඇසීමෙන්, මිහිරි සුවඳ සිඹීමෙන්, රස බොජුන් වැළඳීමෙන්, සුව පහස් ඇති දෑ වැළඳ ගැනීමෙන් ලබන්නා වූ යම් සුවයක් සොම්නසක් අද ලබා නම් ඒවා අදට පමණ ය. හෙට ඒවායින් ඉතිරි වන කිසිවක් නැත. හෙටත් ඒ සුව සොම්නස් වුවමනා නම් හෙට ශෝභන රූපාදිය සෙවිය යුතු ය. ඒවා ඇති තැන්වලට හෝ යා යුතු ය. දුප්පතකුට සේ අදට මිස හෙටට ඉතිරි වන දෙයක් මේ පඤ්චස්කන්ධයට නැති බැවින් පඤ්චස්කන්ධය ඉමහත් ආදීනවයෙකි. දෝෂයෙකි.
දුප්පතා දුබල ය. ඔහුට කිසිවකු බිය නැත. ළදරුවකු අත ඇති ආහාරය බල්ලන් කපුටන් උදුරා ගන්නාක් මෙන් දුප්පතාට ඇති සුළු දෙයත් සෙස්සෝ පැහැර ගනිති. දුබල වූ සතාට කපුටන් කොටන්නාක් මෙන් වල් කොල්ලෝ බේබද්දෝ දුප්පතාට ගල් මුල් ගසති. විහිළු කරති. ඔවුනට යටත් නුවුව හොත්, කීකරු නොවුවහොත් පහර දෙති. ධනවත්හු දුප්පතාට ඔවුන් ගේ තේජස, වික්‍රමය පෙන්වති. දුප්පතාට කොතැනකවත් ගැළවීමක් නැත. දුප්පතාට නිදහසක් නැතිවාක් මෙන් ම, මේ රූපස්කන්ධ සංඛ්‍යාත ශරීරයට ද නිදහසක් නැත. උකුණෝ, මකුණෝ, මදුරුවෝ ශරීරය විදිති. අව්ව, වැස්ස, පින්න, සුළඟ ශරීරයට පීඩා කරයි. එබැවින් මේ රූපස්කන්ධ සංඛ්‍යාත ශරීරය දුප්පතකු වැනි ය. ඉමහත් ආදීනවයෙකි.
“පඤ්චක්ඛන්ධෙ ආදීනවතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අනාදීනවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
පඤ්චස්කන්ධයන් ආදිනවයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය ආදීනව නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.