පස්විසිවන භාවනා පදය.
සංස්කාරයෝ පෙරළෙන ස්වභාව ඇත්තෝ ය.
ස්ථිර පැවැත්මක් නැති ස්කන්ධයෝ ජරා, ව්‍යාධි, මරණාදියෙන් නරක අතට පෙරළෙන්නෝ ය. ශෝභන ශරීරය කුෂ්ඨාදි රෝගාවලින් විරූප වන්නේ ය. තුවාල වලින් විරූප වන්නේ ය. ශක්තිමත් ශරීරය ව්‍යාධියෙන් දුබල වන්නේ ය. තරුණ ශරීරය කලකදී දිරා, හිසකේ රැවුල් පැසී, ඇට නහර ඉල්පී, සම රැළි වැටී, කුදු ගැසී විකෘතියට පත් වන්නේ ය. ක්‍රියා කරමින් තුබූ ශරීරය මරණින් දරකඩක් බඳු වන්නේ ය. මළ සිරුර එසේ ම තිබෙන්නට හැරිය හොත් දින කීපයකින් ඉදිමෙන්නේ ය. නිල් පැහැ වන්නේ ය. නවදොරින් ඕජාව ගලන්නට වන්නේ ය. කුණු වී වැගිරෙන්නට පටන් ගන්නේ ය. ලේ මස් දිය වී ගොස් ඇට සැකිල්ලක් වන්නේ ය. කලකදී ඇට ද විසිරී යන්නේ ය. මේ රූපස්කන්ධයේ විපරිණාමය ය.
නාමස්කන්ධයන් ගේ විපරිණාමයක් ද ඇත්තේ ය. එය සිදුවන්නේ අසත්පුරුෂ සේවනාදියෙනි. නාමස්කන්ධ විපරිණාමයෙන් සම්‍යග්දෘෂ්ටිකයා මිථ්‍යාදෘෂ්ටිකයෙක් වේ. අහිංසකයා වධකයෙක් වේ. නො සොරා සොරෙක් වේ. යහපත් චරිත ඇතියා සල්ලාලයෙක් වේ. සත්‍යවාදියා බොරුකාරයෙක් වේ. අබේබද්දා බේබද්දෙක් වේ. ලජ්ජා ඇතියා ලජ්ජා නැතියෙක් වේ. මෛත්‍රිය ඇත්තා නපුරෙක් වේ. ත්යාගවන්තා මසුරෙක් වේ. සමාධි ඇත්තා වික්ෂිප්තයෙක් වේ. සිහි ඇත්තා උම්මත්තකයෙක් වේ. තවුසා කාමභෝගියෙක් වේ. පැවිද්දා ගිහි වේ. මේ නාමස්කන්ධයන් ගේ විපරිණාමය ය.
“පඤ්චක්ඛන්ධෙ විපරිණාමධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අවිපරිණාමධම්මං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
පඤ්චස්කන්ධයන් පෙරළෙන ස්වභාව ඇතියන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය නො පෙරළෙන ස්වභාවය ඇති නිවන ය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.